lakbima.lk

ජීවිතය හරියනවාට වඩා මග හැරෙන්න, වැරදෙන්න යන්නේ ඇස් පිල්ලමකටත් වඩා අඩු වේගයක්. නව යොවුන් අයෝමාත්, තවමත් තරුණ විය නොඉක්මුණු ඇගේ අම්මාත් කාත් කවුරුත් නොදන්නා ඉසව්වකට පැමිණෙන්නේ  මග හැරුණු ජීවිතය හොයාගෙන. ඒ ජීවිතය ඔවුන්ට හමුවේවිද? අයෝමාගේ බලාපොරොත්තු ඉටු වේවිද? ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තාගේ නවතම ටෙලි නිර්මාණය ”සුදු ඇඳගෙන කළු ඇවිදින්” මේ දිනවල ජාතික රූපවාහිනියේ සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා රාත‍්‍රී 9.00 ට විකාශය වෙනවා.  එහි අයෝමා නම් ප‍්‍රධාන චරිතයට පණ පොවන නවක රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා ඇගේ අත්දැකීම් අප සමග මෙසේ බෙදා හදා ගත්තා.

ඉතිං මිෂෙල් කොහොමද?

හොඳින් ඉන්නවා. ඒත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. වැඩිපුර ඉන්නේ කොළඹින් පිට රූගත කිරීම්වල.

ඒ සුදු ඇඳගෙන කළු ඇවිදින් නිසා වෙන්න ඇති?

ඇත්තටම ඔව්. ඒ නාට්‍යයේ රූගත කිරීම් තියෙන්නේ පොළොන්නරුව, බකමූණ, දඹුල්ල වගේ පළාත්වල. ඒ වගේම ස්වර්ණවාහිනියේ වීක් එන්ඞ් විනෝදේ වැඩසටහනටත් මම සහභාගි වෙනවා.

සුදු ඇඳගෙන කළු ඇවිත් තියෙන්නේ අයෝමාගේ ජීවිතයටද?

තවම ටෙලි නාට්‍යය  පටන් ගත්තා විතරයි. තවම පේ‍්‍රක්ෂකයෝ ඉන්නේ කුතුහලෙන්. ඔය ප‍්‍රශ්නයට මම උත්තරයක් දුන්නොත් ඒක කුතුහලෙන් ඉන්න පේ‍්‍රක්ෂකයාට කරන අසාධාරණයක් වෙනවා. මම කෙටියෙන්ම කියන්නම්කෝ, අයෝමා අම්මත් එක්ක නොදන්නා පළාතකට එන්නෙ තාත්තාව හොයාගෙන.  ඒ අම්මයි දුවයි හොයන්නේ මග ඇරුණු තාත්තාව.

අයෝමා හොයන්නේ තාත්තාව. එතකොට මි‍ෂෙල් හොයන්නේ මොනවද?

මගේ ජීවිතයේ මග හැරුණු තැන්, වැරදුණු තැන් නෑ. ඒත් මමත් යමක් හොයනවා. ඒ මම තුළ ඉන්න මිෂෙල් කියන රංගන ශිල්පිනියව.

අධ්‍යක්ෂ සුනිල් කොස්තා ඔබ හොයන, ඔබ තුළ ඉන්න රංගන ශිල්පිණියව හරියටම හඳුනගෙන තියෙනවාද?

සුදු ඇඳගෙන කළු ඇවිදින් නරඹපු මගේ ආදර පේ‍්‍රක්ෂකයොත් ඔය කතාව කිව්වා.

මිෂෙල් හිතනවාද අයෝමා මිෂෙල්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා?

ඔව්. මේ මම ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන පළවෙනි අවස්ථාව. සම්මානීය අධ්‍යක්ෂවරයෙක්, සම්මාන පිට සම්මාන දිනා ගත්තු රංගන ශිල්පීන් කණ්ඩායමක් එක්කයි මම අයෝමාට පණ දෙන්නේ. මට හිතෙන්නේ මම ඉන්නේ රංගන තක්සලාවක කියලා. සුනිල් කොස්තා අධ්‍යක්ෂතුමා තරමටම මට මගේ වටේ ඉන්න ප‍්‍රවීණයන්ගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් චාන්දනී අක්කයි, උමයංගනා අක්කයි   අම්මලා වගේ මාව රංගනයෙන් ශක්තිමත් කරනවා.

ඒ කියන්නේ ප‍්‍රවීණයෝ ආධුනිකයන්ට කුහකකම් කරනවා කියන්නෙ බොරුවක්?

මගේ වාසනාවට මට මුණගැහුණ ප‍්‍රවීණයෝ මට ශක්තියක් වුණා මිසක කකුලෙන් ඇද්දෙ නෑ. ඒ නිසා ඔය කියන චෝදනාව මට නම් කොහෙත්ම අදාළ නෑ. මම හිතන්නේ ආධුනික අපි නිහතමානී වෙන්න  ඕනෑ.  උඩඟු‍කම තමයි අපේ දියුණුවට බාධාවක් වෙන්නේ.

ආධුනිකයන් හරි බොළඳයි කියලයි හුඟක් අය කියන්නේ. ආව ගමන් ගිය අය වගේම, ආව ගමන් සමහරුන් මග වරද්දා ගත්තෙත් ඒ නිසාලූ‍. ඒත් මිෂෙල් වයසට, පෙනුමට වඩා ලොකුවට හිතනවා වගේ?

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියනවානේ. මම දැනගෙන මගේ ගමන යන්නයි උත්සාහ කරන්නේ.

මිෂෙල්ට මග කියාදෙන විශේෂ කෙනෙක් ඉන්නවාද?

එක්කෙනෙක් කියලා නෑ. හුඟක් ඉන්නවා. මගේ ගුරුවරු, නෑ හිතමිතුරෝ, දෙමව්පියෝ, ඒ හැමෝම මට හරි මග පෙන්නනවා.

ඔය අතරේ හිතට දැණුන විශේෂ කෙනෙකුත් ඇතිනේ?

නෑ. එහෙම විශේෂ කෙනෙක් තාම නෑ. හැම දේම සිද්ධ වෙන්නේ හොඳම කාලෙට. මම රංගන ශිල්පිනියක් වුණෙත් හොඳම කාලේ. මම මේ ගමන යන්නේ හරිම හෙමින්. මට හදිස්සියක් නෑ. ඒ වගේම තමයි විශේෂ කෙනෙක් හොයාගන්නත් මට හදිස්සියක් නෑ. හොඳම දේ හොඳම වෙලාවට වෙයි. තාම ඒ වෙලාව ඇවිත් නෑ.

කොහොමද මිෂෙල්ගේ සමාජ සේවා කටයුතු?

බොහොම නිහඬව ඒ වැඩ නොනවත්වා සිදු කරනවා. උදව් අවශ්‍ය  කෙනෙකුට උදව් කරලා මම ලබන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ.

23 වෙනි උපන් දිනයත් ළඟ ළඟම එනවා.  එදාට මොනවද කරන්නේ?

තාම මම ඒ ගැන හිතනවා. කාලා බීලා විනෝද වෙනවා වෙනුවට සුළු පිරිසකට හරි හිතට සතුටක් ගෙනත් දීලා එදාට මමත් සතුටු වෙනවා.

මිෂෙල් කවදා හරි දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියනවාද?

අපොයි නෑ.

පවතින ක‍්‍රමයට අවනත නොවී උඩුගම් බලා පීනන්නද කැමති?

කාටවත් වැරැුද්දක් වෙන්නේ නැත්තම්, පුංචි උත්සාහයක් කළාට කමක් නෑ නේද?

ගමන ලේසි නෑ?

මම දන්නවා. ඒත් මම උත්සාහය අතහරින්නේ නෑ.

හිමේෂා සවන්තී රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.