lakbima.lk

''මගේ වයස දැන් අවුරුදු 103යි. මගේ ජීවිත කාලයට මට හැකි උපරිමයෙන් ශාසනයට, රටට, ජාතියට යුතුකම් ඉටු කර තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මගේ සේවාව මේ අවුරුද්දෙන් අවසන් වෙනවා.''

''ඒ ඇයි නායක හාමුදුරුවනේ?''

''මම මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අපවත් වෙනවා.''

''එහෙම කොහොමද කියන්නේ ඔබ වහන්සේ නිරෝගීව වැඩ ඉන්නවනේ?'' 

''නැහැ. මේ මාසේ අග හෝ ලබන මාසේ මුලදී මම අපවත් වෙනවා කියලා මගේ හිත කියනවා. ගිය ආත්මෙත් මම හාමුදුරුනමක්. ඒ ආත්මෙත් දීර්ඝායුෂ විඳලා මේ වයසේදීම තමයි මම අපවත් වෙලා තියෙන්නේ.'' 

ඒ 01 දා රාත්‍රියෙහි අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අලුත්ගම ශ්‍රී ධම්මානන්ද නාහිමි සැප්තැම්බර් මස මුලදී අප සමග කළ කතාබහකි.

නාහිමියන් අනුමාන කළ දින වකවානුවේදීම උන්වහන්සේ අපවත් වූයේ ජාතියට තවත් එඩිතර මහතෙරනමකගේ පුරප්පාඩුවක් ඇති කරමිනි.

අලුත්ගම ධම්මානන්ද නාහිමියන් උපන්නේ 1915 නොවැම්බර් 22 වැනි දිනය. තව මාසයක් ජීවත්ව සිටියේ නම් උන් වහන්සේගේ වයස අවුරුදු 104කි.

අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ චරිතය මල්වතු මහා විහාර ඉතිහාසය තුළ පමණක් නොව ශාසන ඉතිහාසය තුළ ද රන් අකුරෙන් ලියැවෙන්නෙකි. උන්වහන්සේගේ ජීවන චරිත කතාව හරියාකාරව සමාජගත වූයේ නැත. ඒ ගැන උන්වහන්සේට ද කනගාටුවක් තිබිණි.

''මගේ චරිත කතාව මම හිතන්නේ අනාගත භික්ෂු පරපුරට යම් හෝ ප්‍රයෝජනයක් වේවි. ඒ නිසා මගේ කතාව. මම විවේක වෙලාවල්වල ටයිප් කළා. කවුරු හරි ඒ ‍පොත ගහන්නම් කියලා අරන් ගියා. ඒත් ‍පොත ගැහැව්වෙත් නැහැ. අරන් ගිය කෙනා මට දැන් මතකත් නැහැ.''

අලුත්ගම නාහිමියෝ හමුවන බොහෝවිට උන්වහන්සේ පවසන වදන් පෙළකි ඒ.

අලුත්ගම නාහිමියන් හා බෝගම්බර සිරගෙදර අතර සුවිශේෂී සබඳතාවක් තිබිණි. එහි සිරකරුවන් උදෙසා දහම් පාසලක් ආරම්භ කළේද උන්වහන්සේය. 1950 සිට උන්වහන්සේගේ ආගමික සේවාව බෝගම්බර සිරගෙදරට ලබා දුනි.

එපමණක් නොවේ. මරණ දණ්ඩනයට නියම වූවන් එල්ලා මරණ දිනයේ ඔවුන්ට සුදුසු බණක් දේශනා කළේ ද ධම්මානන්ද නාහිමියෝය. බෝගම්බරදී අවසන්වරට එල්ලා මැරූ මරු සිරාට බණ දෙසන්නට ද උන්වහන්සේ වැඩම කළහ.

''මම බණ කියන්න ගියාම මරු සිරා කිව්වා 'මේ තව ටිකකින් මැරෙන්න ඉන්න මට මොන බණක්ද? ගිහින් ජීවත් වෙන කෙනෙකුට හාමුදුරුවෝ බණ කියාගන්න' කියලා. ඒත් බණ පදයක් අහලම අවසන් ගමන යන්න කියලා බණ ටික කියලා මම ආවා.''

එදා මරු සිරාට අවසන් බණ කියූ ආකාරය අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ වරෙක අප සමග විස්තර කළේ එසේය.

මහනුවර නගරයේ මංමාවත්වලට නම් දැමූ ආකාරය පිළිබඳව ධම්මානන්ද නාහිමියන්ට තිබුණේ අපූරු මතකයකි. අතීතයේ තිබූ නම් හා යටත් විජිත සමයේ දැමූ නම් ආදිය ගැන උන්වහන්සේ විටින් විට ප්‍රකාශ කළහ.

''මේ නගරයේ පාරවල් නම් කරපු හැටි වගේම කවුරුත් නොදන්නා විස්තර ගොඩක් මට මතකයි. මේ ඔක්කෝම මම මගේ ජීවිත කතාවේ ලිව්වා. ඒත් අවාසනාවකට ඒ කතා‍පොත අතුරුදන් වුණා. පත්තරේ කෙනෙක් වුණත් කමක් නැහැ. හොඳට ලියන්න පුළුවන් කෙනෙක් එවන්න. මම විස්තර කියන්නම්. දැන් මට ලියන්න තරම් අතවාරු නැහැ.''

අලුත්ගම නාහිමියන් ගිය මාසයේදී හමු වූ විට අවසන්වරට කළ ඒ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන හිතට දැනෙන්නේ බලවත් කනගාටුවකි.

'රැජින' හෝටලය ඉදිරිපිට සිට වැව රවුම ශ්‍රී දළදා මාලිගාව තෙක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නම් කර තිබුණේ 'වික්ටෝරියා ඩ්‍රයිව්' වශයෙනි. එය 'සංඝරාජ මාවත' ලෙසත්, මල්වතු මහ විහාරය අයිනෙන් විහිදී ගිය 'ග්ලෑන්ඩේල් රෝඩ්' යන්න 'සරණංකර පාර' ලෙසත් නම් කිරීමට මුල් වූයේ අලුත්ගම නාහිමියෝය.

ශ්‍රී ලංකාවේ වත්මන් බෞද්ධ ප්‍රබෝධයටත්, පැවිදි සමාජයේ උන්නතියටත්, සංස්කෘතික දියුණුවටත් පුරෝගාමී වූ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශ්‍රී නාමය ජීවමාන කිරීමටත්, සංඝරාජ මාහිමි චරිතය අනාගත පරපුරට දැනගැනීමට සැලැස්වීමටත් අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ පෙරමුණ ගත්හ. සංඝරාජ පිරිවෙණේදී 1951 දී සංඝරාජ දහම් පාසල බිහි කළේ ද අප නාහිමියෝමය. 1947 දී ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතිය මෙන්ම 1951 දී ශ්‍රී සංඝරාජ කාන්තා සමිතිය ද අරඹා මල්වතු මහ විහාරයේ කඨින පූජෝත්සවය ද වාර්ෂික සංඝරාජ පෙරහර ද ඇරඹුණේ අලුත්ගම ධම්මානන්ද නාහිමියන් නිසාය. සංඝරාජ මා හිමි වෙනුවෙන් වාර්ෂිකව කරන පෙරහර වීථි සංචාරය කරන විට කෙතරම් වයෝවෘද්ධව සිටියත් උන්වහන්සේ පෙරහරේ අනිවාර්යෙන්ම ගමන් ගත්හ.

අලුත්ගම නාහිමියෝ විශාල ගිහි පිරිසකට ගුරුවරයකු වූහ. උන් වහන්සේ පරම විඥානාර්ථ සමාගමෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු ලෙස පත්වීම් ලැබුවේ වැටුප් රහිතව සේවය කිරීමටය. එම විද්‍යාලයේ දහම්පාසල ආරම්භ කළේ ද නාහිමියෝය.

අලුත්ගම නාහිමියන් ජාතික හා ආගමික කටයුතුවලදී පෙරමුණ ගත්හ. එය මහනුවරට පමණක් සීමා නොවිණ. රටේ ජාතික ප්‍රශ්නයක් හෝ වෙනත් සමාජයීය ප්‍රශ්නයක් තිබුණේ නම් ඒ වෙනුවෙන් මුලින්ම හඬ නැගුවේ අලුත්ගම නාහිමියෝය. ජනමාධ්‍යය ද උත්සුක වූයේ නාහිමියන්ගේ අදහස  ඉස්මතු කිරීමටය. නාහිමියන් තුන්කල් දක්නා නුවණින් සිය අදහස් කියාපෑම ඊට ප්‍රධාන හේතුව විය.

ජාතික ප්‍රශ්න පිළිබඳ රටේ කොතැනක හෝ සමුළුවක් සම්මන්ත්‍රණයක් තිබුණේ නම් එහි මුලසුන හිමිවූයේ අලුත්ගම නාහිමියන්ටය. මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් වැනි යතිවරුන් සමග ද නාහිමියෝ සිය ජාතික මෙහෙවරෙහි නිරත වූහ.

සංඝ සමගිය නිතරම උන්වහන්සේ අපේක්ෂා කළහ. 1981 දින කඳුරට ෙතේ‍රනිකායික භික්ෂු සංගමය අරඹා එහි සභාපති ධුරය ද හෙබවූයේ උන්වහන්සේය. නිකාය භේදයකින් තොර නාහිමියන් මහ සඟරුවනේ ගෞරවයට පාත්‍ර වූහ.

මහනුවර මල්වතු විහාරයේ උ‍පෝසථාගාරය ඉදිරිපිට ඇති කුඩා ආවාස කුටියට යන ගිහි පැවිදි ඕනෑම අයකුට සිය අතින්ම සංග්‍රහ කිරීම නාහිමියන්ගේ සිරිත විය. හිමිදිරියේම අවදිව බොහෝ විට උපැස් යුවළක් නොමැතිව දවසේ පුවත්පත් කියවන උන්වහන්සේ පුවත්පත්වල ඇති විවිධ තොරතුරුවලට සිය අදහස් ඒ මොහොතේම ලියා පුවත්පත්වලට යැවීමට ද මෑතක් වන තුරු ක්‍රියා කළහ. අප දිනපතා 'ලක්බිම' පුවත්පත ආරම්භයේ සිටම අපවත් වන තුරුම දිනපතාම හිමිදිරියේම පුවත්පත කියවන උන්වහන්සේ විටින් විට එවන ලිපි ආදිය ද අප නිරතුරුවම පළ කළේ උන්වහන්සේට ගෞරවයක් වශයෙනි.

වීර කැප්පෙටි‍පොළගේ හිස්කබල දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ යට කර ස්මාරකයක් තනා තිබේ. සෑම වසරකම කැප්පෙටි‍පොළ ගුණසමරුවට සහභාගි වන අලුත්ගම නාහිමියන් සිය අනුශාසනාවේදී දේශනා කරන්නේ හිස් කබල ගොඩගෙන අනාගත පරපුරට දැක බලා ගැනීමට ඉඩ සලසන ලෙසය. එහෙත් අවුරුදු ගාණක් තිස්සේ ඒ ඉල්ලීම කිසිවකුට නෑසිණි.

''අපේ මේ දැන් ඉන්න මන්ත්‍රීවරුන් කරන සේවය ගැන නම් සතුටු වෙන්න බැහැ. ඒ අය ගන්න වැටුපට මහජනයාට සේවයක් කරන බවත් පෙනෙන්න නැහැ. හරි නම් වැඩ නොකරන මන්ත්‍රීලාගේ පඩි අඩු කරන්න ඕනෑ.''

වර්තමාන මහජන නියෝජිතයන් ගැන අලුත්ගම නාහිමියන් මෑතකදී දැරූ අදහසකි ඒ.

රට, ජාතිය හා ශාසනය වෙනුවෙන් නාහිමියන් කරන මෙහෙවර දුටුවේ පිටරට ගිහිපැවිදි අයය. ඒ නිසා ඒ මෙහෙයට මෙරට වැසියන්ට වඩා පිටරැටියන් උපහාර දැක්වූහ. සිංගප්පූරු-මැ‍ලේසියා බෞද්ධයෝ නාහිමියන්ට සැලකුවේ සංඝරාජයන් වහන්සේ නමකට හා සමානවය.

මියැන්මාර් රජයෙන් නාහිමියන්ට අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමුවේ ඒ නිසාවෙනි. අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට ඉහළ ශාසනික පදවි පිරිනැමුවේනම් උන්වහන්සේගේ සේවාවට ඒ කිසිවක් ප්‍රමාණවත් නොවේ යැයි සිතමි. ජනතාව උන්වහන්සේට සැළකුවේ මහනාහිමි නමකට මෙන් ගෞරවයෙනි.

නාහිමියන්ට උතුම් වූ නිවන් සුව ලැබේවා

ධර්ම ශ්‍රී තිලකවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.