lakbima.lk

ඒ, කොළඹ නගරය අධිරාජ්‍යවාදයේ බල පරාක්‍රමය ගිලගත් සමයයි. ඔවුන්ගේ හස්තයෙන් මෙහෙය වුණු පාසල්වලින් අධ්‍යාපනය ලබන්නට සිදුවූ බොදු සිසුන්ගේ සිත් සැකසුණේද ඒ පරාධීන ස්වභාවයට  ගැතිවන පරිද්දෙනි. බොදුනුවන් වුවත් පාසල්වලදී ඔවුන් ලැබුවේ මිෂනාරි අධ්‍යාපනයය. ඒ තත්ත්වය වෙනස් වූයේ ඕල්කට්තුමා ඇරැඹි බෞද්ධ පාසල්වලිනි. ඒ සමග ඔහු පන්සල් කේන්ද්‍ර කරගෙන දහම් පාසල්ද ඇරඹීය. මුල්ම දහම් පාසල වූයේ ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම් පාසලය. ලංකාවට ගොඩබට ඕල්කට්තුමා පන්සිල් ගෙන බෞද්ධයකු වූවේද එම පින්බිමේදීය. එදා බෞද්ධ පුනරුදයෙන් ඇරඹි දහම් පාසල් අද රට වටා සිය දහස් ගණනක් ඇත්තේය. එහෙත් විධායක ජනපතිවරුන් තිදෙනෙකුට අගමැතිවරුන් දෙදෙනෙකුට දහම් අධ්‍යාපනය කියා දුන් දහම් පාසලක් වේ නම් ඒ බම්බලපිටිය වජිරාරාම දහම් පාසලම පමණි. කොළඹ බම්බලපිටියේ නිසංසල බිම්කඩෙක පිහිටි වජිරාරාමයේ, සිරි වජිරාරාම දහම් පාසල ඇරඹෙන්නේ හරියටම අදින් සියවසකට පෙරාතුවය. එනම් 1918 නිකිණි මස 18 වනදාය. ඒ,  අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහානායකව වැඩ සිටි පැලෑනේ සිරි වජිරඥාන මහා හිමියන්ගේ මූලිකත්වයෙනි.
බම්බලපිටිය වජිරාරාමය ඇරඹෙන්නේ ඊට වසර දහඅටකට පමණ පෙරාතුවය. එකල බම්බලපිටිය  පාරම්පරික ප්‍රභූ පිරිස් වැලි පාරේ  ඉඩම් කොටසක ඉදිකරන ලද ධර්ම ශාලාවක “ධර්ම සමාගමයක්” පිහිටුවා ගන්නේ, සිය ධර්ම ඥානය  වැඩිදියුණු කර ගැනීමේ අරමුණිනි. ඒ, එක්දහස් අටසිය අනූ එකේදී පමණය. අද වජිර පාර එකල හැඳින්වූයේ වැලිපාර නමිනි. ඒ වන විට මාතර, පැලෑනෙන් කොළඹට වැඩම කර මාලිගාකන්දේ විදේ‍යා්දය පිරිවෙන් අධ්‍යාපනය අවසන් කළ වජිරඥාන  හිමියන්  වැඩ හුන්නේ, වැල්ලවත්ත සුවිසුද්ධාරාමයේය. ඒ බව දැනගන්නා මේ ප්‍රභූ පිරිස උන්වහන්සේ මෙම ස්ථානයට වැඩමවා ගත්හ. ඉක්බිතිව ඔවුහු ධර්ම සමාගමේ ගොඩනැගිල්ල එක්දහස් නවසියයේදී වජිරඥාන හාමුදුරුවන්ගේ නමට කැප කර වජිරාරාමය යනුවෙන් නම් කළෝය. ඒ කාලය රට තුළ බෞද්ධ පුනරුදය ඇති වෙමින් තිබූ කාල සමයයි. ඕල්කට්තුමාගේ දහම් අධ්‍යාපන සංකල්පය, පානදුරාවාදය, ධර්මපාලතුමන්ගේ ජාතික ව්‍යාපාරය ආදී බොහෝ දෑ සමග අගනුවර සියලු බෞද්ධයන් තුළද ඉහළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවෙමින් පැවැතිණි. වජිරඥාන හිමියන් තුළ වූ බහුශ්‍රැත බව, දේශන චාතූර්යය, ආදිය ඒ තත්ත්වය වඩාත් ඔප් නංවන්නටද සමත් විය. ඒ කෙරෙහි වඩාත් ආකර්ෂණය වූ කොළඹ හතේ පදිංචිව සිටි ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, වැන්නන්ට වුවමනා වූයේ, තම දරුවන්ටද ඒ බොදු ඇසුරෙහි වැඩෙන්නට අවැසි පරිසරය සාදා දෙන්නටය. වජිරාරාම දහම් පාසල ඇරඹීමේ මූලික වටපිටාව සැකසෙන්නේ එතැනිනි. වජිරාරාමයට පිවිසෙන දොරටුව ආසන්නයේම පිහිටි කුඩා ධර්ම ශාලාවක ඇරඹෙන “ධර්ම පන්තිය” එහි මූලාරම්භය වන්නේය.
අපේ රටේ ප්‍රථම ගුවන්විදුලි කතාව ලෙසින් ඉතිහාසගත වූ, ධර්මානුශාසනාව පවත්වන ලද්දේද, පැලෑනේ ශ්‍රී වජිරඥාන මහනාහිමියන් වහන්සේය. ඒ, හරියටම මීට වසර අනූවකට පමණ ඉහතදීය. එනම්, එක්දහස් නවසිය විසිඅටෙහි අප්‍රේල් මස විසිඑක්වනදාය. බුදුදහමේ ගැඹුරු දේශනාවන්, ඉතා සරලව සමාන්‍ය ජනයාට අවබෝධ වන ආකාරයට ඉදිරිපත් කිරීම නිසා උන්වහන්සේගේ ගුවන්විදුලි වැඩසටහන් සකල බෞද්ධයන් අතර පමණක් නොව බෞද්ධ නොවන අය අතරත් එකසේ ප්‍රචලිත විය. එපමණක් නොවේ, එතෙක් රැයක් එළිවන තුරා දේශනා කරන ලද ධර්ම දේශනාව වර්තමානයේ පවතින පැයක ධර්ම දේශනාවක් බවට පරිවර්තනය වූයේද, වජිරඥාන හිමියන් නිසාය. වජිරඥාන හිමියන් විසින් ඇති කරන ලද ධර්ම දේශනා පුනරුදය උන්වහන්සේගේ ඇවෑමෙන් ඉදිරියට ගෙන ගියෝ, උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂු පරපුරය. එහිලා මුලින්ම වැදගත් වන්නේ, නාරද හිමියන්ය. සිය පැවිදි නමෙහි මුලට තම ග්‍රාමයේ නම භාවිත නොකළ නාරද හිමියන්  වජිරඥාන හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුවයි. උන්වහන්සේ පැවිදි බිමට පත්වෙන්නේ එක්දහස් නවසිය දහසයේදීය.
වජිරඥාන හිමියන්ගේ කටයුතු වඩාත් ප්‍රබෝධවත්ව ඉදිරියට ගෙන යන්නට නාරද හිමියන්ගෙන් ලැබුණේ නොමද සහයකි. විශේෂයෙන්ම නාරද හිමියන් තුළ වූ වාග් චාතූර්යය, ඉංග්‍රීසි දැනුම, ආමන්ත්‍රණ ස්වභාවය ආදී සියල්ල වජිරාරාම දහම් පාස‍ලේ වර්ධනයට බෙහෙවින් ඉවහල් විය. අධිරාජ්‍යවාදී මානසිකත්වයට නතු වී සිටි පවුල්වල දරුවෝ දහම් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වූයේද ඒ නිසාමය. එබැවින් එකල බොහෝ දරුවෝ මව්පියන්ට වඩා දැහැමි වූහ. ඒ බව වඩාත් පැහැදිලි කෙරෙන්නේ ඩී.එස්. සේනානායකයන් ප්‍රකාශකර ඇති වදනකිනි. දිනක්, ඔහු පන්සලට පැමිණි අවස්ථාවක, රෙබට් සේනානායක සහ ඩඩ්ලි සේනානායක දෙසොහොයුරෝ සිය පියාට පසඟ පිහිටුවා වැඳ ආචාර කළෝය. එතෙක් දරුවන්ගේ එවැනි වැඳීම්, නුහුරු වූ ඩී.එස්. සේනානායකයන් පසුව, නාරද හිමියන් සමග පවසා ඇත්තේ, “මට දරුවෝ මේ විදිහට වැන්දේ පළමු වතාවට” යනුවෙනි.
වජිරාරාම දහම් පාස‍ලේ වර්තමාන අනුශාසකත්වය දරන්නේ, වජිරාරාමාධිපති, අමරපුර සිරි ධර්මරක්ෂිත නිකායේ මහානායක, ශාස්ත්‍රපති තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්ය. ශ්‍රී වජිරඥාන හිමියන්ගේ ගෝල පරපුරෙහි කීර්තිමත් ගෝල හිමිනමක් වූ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්, තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමියන්ගේ ගුරු හාමුදුරුවන් වහන්සේය. ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ, ධර්ම ඥානය මෙන්ම ශික්ෂාවද හුරු කරවීම වජිරාරාම දහම් පාස‍ලේ මූලික අරමුණක් බවය. එබැවින් එහි සියලු කටයුතු සිදුකෙරෙන්නේ එකී අරමුණු පෙරදැරි කරගනිමිනි.
විධායක ජනාධිපතිවරුන් වන ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෙන්ම ඩඩ්ලි සේනානායක හා රනිල් වික්‍රමසිංහ යන අගමැතිවරුද වජිරාරාම දහම් පාස‍ලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෝය. එපමණක් නොවේ, බර්නාඩ් සොයිසා, රොබට් සේනානායක, සුනේත්‍රා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි, ලෝ පතළ ශල්‍ය වෛද්‍ය පී.ආර්. ඇත්තනීස් වැන්නන්ටද දහම් අධ්‍යාපනයේ පාර පෙන්වූයේ වජිරාරාම දහම් සෙවණය. ජේ.ආර්, ඩඩ්ලි, ප්‍රේමදාස ඇතුළු මේ පිරිස අතරින් ජේ.ආර්. ජයවර්ධන උපතින්ම ක්‍රිස්තු භක්තිකයකු විය. ඇංග්ලිකානු උරුමයෙන් සත්ප්‍රසාද ලබා සිටි ඔහු රාජකීය විදුහ‍ලේ විෂයන් හැටියට ක්‍රිස්තු ධර්මයද හැදෑරුවේය. එහෙත් කැලණිය රාජමහා විහාරයේ බස්නායක ධුරය දැරූ සිය මාමා වූ දොන් වෝල්ටර් විජයවර්ධනගේ (ප්‍රකට ව්‍යාපාරික උපාලි විජයවර්ධනගේ පියා) ආභාසය ලද ජේ.ආර්. ක්‍රම ක්‍රමයෙන් බුදු දහමට සිත යොමු කළේය. ඒ බව දත් දොන් වෝල්ටර් ජේ.ආර්. කැටුව බම්බලපිටිය වජිරාරාමයට ගොස් සිය බෑනණුවන් පැලෑනේ වජිරඥාන හා නාරද යන හිමිවරුන්ට හඳුන්වා දුන්නේය. වජිරාරාමයේ ඇසුර ලද ජේ.ආර්. සහ ඔහුගේ සොයුරෙකු වන කෝබට් එහිදී ක්‍රිස්තියානි ආගම හැරපියා බුදු දහම වැලඳ ගත්තෝය. වැඩි කල් නොගොස් ජයවර්ධන පවු‍ලේ එක සොයුරියක හැරුණුකොට සියල්ලෝම බුදු දහම වැලඳ ගත්හ. කෝබට් ජයවර්ධන දිවි ගමනේ අවසාන කාලයේදී ගිහිගෙදරින් නික්මී පැවිදි බිමට පත් වූයේ සේදවත්තේ ධමරුචි නමිනි. ජේ.ආර්., ඩඩ්ලි ප්‍රේමදාසලා ඇතුළු සිසුන් පමණක් නොව වජිරාරාම දහම් පාස‍ලේ පරිපාලනයට සම්බන්ධ වූවෝද රට සුපතළ භික්ෂූන් වහන්සේය. දරණාගම කුසලධම්ම, ගංගොඩවිල සෝම යන හිමිවරුද ඒ අතර වෙති. සෝම හාමුදුරුවෝ ගිහි කල වජිරාරාම දහම් පාස‍ලේ ඉගෙන ගෙන ඉක්බිතිව පැවිදි වී ආචාර්යවරයකු ලෙසද කටයුතු කළහ. පසුකලක පැවිදි වූ උන්වහන්සේ වජිරාරාම දහම් පාස‍ලේ අධ්‍යක්ෂ ධුරයට පත් වූහ.
නාරද හිමියන්ගෙන් පසුව, වජිරාරාම දහම් පාසලට නව පණක් ලැබෙන්නේ, මඩිහේ පඤ්ඥාසීහ නාහිමියන්ගේ සමයේදීය. “මිනිසා හදා රට හැදීම” යනු, මහනාහිමියන් තුළ වූ මූලික සංකල්පයයි. දහම් පාසල සම්බන්ධයෙන් උන්වහන්සේට වෙනම දර්ශනයක් පැවැති බව, වජිරාරාම දහම් පාස‍ලේ වත්මන් ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමියෝ පවසන්නෝය. මඩිහේ මහ නාහිමියන් දහම් පාසල සංවර්ධනය කරන ලද්දේද තමන් සතු සංකල්පයම උපයෝගී කර ගනිමිනි.  'මිනිසා හදන්නට  නම් දරුවන් හැදිය යුතුය' යන්න මූලික කරගනිමින් මඩිහේ නායක හිමියෝ දහම් පාසල් දරුවන් කෙරෙහි අලුත් ඇසකින් බලන්නට වූහ. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරුණේ, දරුවන් සතු ආකල්ප, හැදියාව, සංවර බව මතුකිරීමටය. ඒ නිසාම උන්වහන්සේ දහම් පාසල් පද්ධතියට ප්‍රතිපත්ති පහක්ද හඳුන්වා දී ඇත. “නිති පන්සිල් හා ‍පොහොය අටසිල් රැකීමට උත්සාහවත් කිරීම, කුලදෙවි-මාපිය-ගුරුවර-වැඩිහිටියන් පිදීමට යොමු කිරීම, චාම් ජීවිතයකට සහ සුහද වාසයට හුරු කිරීම, සංවර බව හා විනයගරුක බව හා ධර්ම ඥානය දියුණු කිරීම, ආගමාලයෙන්  පිබිදුණු,  ස්වදේශ වාත්සල්‍යයෙන් ඔදවැඩුණු, ජාතිකාභිමානයෙන් මෙහෙය වුණු ස්වභාෂානුරාගයෙන් පණවත් වුණු දරු පරපුරක් බිහි කිරීම,” යනු එම ප්‍රතිපත්ති පහයි. තිරිකුණාමලයේ  ආනන්ද මහනාහිමියන් පෙන්වා දෙන්නේ අදටත් වජිරාරාම දහම් පාස‍ලේ කටයුතු කෙරෙන්නේ එම ප්‍රතිපත්ති මාලාවට අනුකූලව බවය.
එමෙන්ම “එක් අයෙක් දිනන - තවත් අයෙක් පරදින” තරග මානසිකත්වයකින් දරුවන් මුදා හළ යුතු බවද මඩිහේ මහනාහිමියෝ තරයේ ඇදහූහ. සියලු දෙනා එක සමාන යැයි හැඟවෙන්නට නම්, දහම් පාසල තුළ දහම් අධ්‍යාපනය ලැබිය යුත්තේ, තරගකාරීත්වයකින් තොරව බව උන්වහන්සේ පෙන්වා දී ඇත. ඒ නිසාම අදටත්, වජිරාරාම දහම් පාසල සෙවණේ වැඩෙන කිසිදු සිසුවෙකු, දහම් පාසල් තරග සඳහා ඉදිරිපත් කෙරෙන්නේ නැතැයි, ආනන්ද මහානාහිමියෝ පවසති.
වර්තමානයේදී සිසු සිසුවියෝ දෙදහසක් පමණ වජිරාරාම දහම් සෙවණේ අධ්‍යාපනය ලබති. තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමියන්ගේ  අනුශාසකත්වයෙන් හා මීගොඩ සුඛිත හිමියන්ගේ විදුහල්පතීත්වයෙන්, යුතුව, ගුරුවරු එකසිය විසිදෙනෙක් පමණ ඔවුන්ට දහම් දැනුම බෙදා දෙති. පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා, ගැහැනු සහ පිරිමි වශයෙන් වෙන් කෙරුණු පන්ති හය බැගින් පවතින අතර ඊට අමතරව අවසාන ශේ්‍රණියේ 1 හා 2 වශයෙනුත්, ධර්මාචාර්ය 1 හා 2 වශයෙනුත් ඇති සමස්ත පන්ති සංඛ්‍යාව දහහතරක් පමණ වේ. දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවනු වස්, දහම් පාසල මගින් “විදුරු පහන” නමින් සඟරාවක්ද එළිදැක්වෙයි.
දහම් අධ්‍යාපනය මෙන්ම ආධ්‍යාත්මික චින්තනයද වර්ධනය කරනු වස්, ආරම්භ කරන ලද, වජිරාරාම දහම් පාසල සිය, සියවස් ජයන්තිය සමරන ලද්දේ, ඊයේ (18)ය. සියවස් ජයන්ති සැමරුම්  උළෙල, “සදහම් සවිමත් පරම්පරාවක් - මිනිසි දහම් සරු සිරිලංකාවක්” මැයෙන්, අද (19)  සැන්දෑවේ,  කොළඹ  බණ්ඩාරනායක අනුස්මරණ  සම්මන්ත්‍රණ ශාලාවේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඡායාරූප - ප්‍රියන්ත ගමගේ

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.