lakbima.lk

මගේ රංගනය සහ නර්තන හැකියාව ගැන හැමෝම වගේ දන්නවා. ඒ වගේම මම ගුවන් සේවිකාවක් බවත් දන්නවා. හැබැයි මා ගැන කවුරුත් දන්නා දේ වෙනුවට කාටවත් කියලා නැති හුඟ දෙනෙක්, නොදන්න දෙයක් තමයි මේ කියන්නට සූදානම් වෙන්නේ. ‘රිද්ම’ ගෙන එන “රස රහස” විශේෂාංගය තුළින් තමයි මම මේ රහස පළමු වතාවට රටට හෙළි කරන්නේ.

අපි කොයිකාටත් තමන් දකින්න කැමති සුබ දසුන් තියෙනවනේ. අපි වඩාත් ආදරය කරන අපේ හිත් පුදුමාකාර විදියට සතුටට පත්කරන දේවල් තියෙනවා. හිතේ වේදනාවක් තියෙන මොහොතක වුණත් තමන් ප්‍රිය කරන ඒ වගේ දෙයක් දැක්කාම ඕනෑම කෙනෙකුගේ හිතේ තිබෙන සියලු දුක් දොම්නස් මැකිලා සිත සතුටින් පිරිලා යනවා. මටත් ඒ වගේ සුබ දසුනක් තියෙනවා. ඒ සුබ දසුන තමයි පුංචි දරුවෙකුගේ මුහුණේ මැවෙන හිනාව. පුංචි ළමයෙකුගේ හිනාව හරිම අව්‍යාජයි. මොකද ඔවුන් හිනාවෙන්නේ හදවතින්මයි. පුංචිම පුංචි දරුවෙක් මහ හයියෙන් හිනා වෙනවා දකින එක තරම් දෙයක් මට නැහැ.

ඒ වගේම තමයි මම දකින්න අකමැතිම දෙයක් තියෙනවා. ඒ තමයි පුංචි දරුවෙකුගේ කඳුළු. පුංචි දරුවෝ අඬනවා දකිද්දී මට දරා ගන්න බැහැ.

මෙලොවට බිහිවෙලා පියවරින් පියවර වැඩිලා කාලයත් එක්ක ළමයි සමාජය වටහා ගන්නවා. ඊට පස්සේ ටිකක් කපටි වෙනවා. මම මේ සඳහන් කළේ ඒ වයසේ අය ගැන නොවෙයි. සිඟිති සන්දියේ ඉඳලා පාස‍ලේ දෙක තුන හතර වසර දක්වා වයසේ ළමයි ගැනයි. ඒ අය කපටි නැහැ. අවංකයි. හිනා වෙන්නෙත් අඬන්නෙත් හදවතින්මයි.

නාඳුනන ළමයෙක් අඬනවා දැක්කොත් මට දරාගන්න බැරිව යනවා. දන්න කියන ළමයෙක් අඬනවා දැක්කොත් නම් මම එයාට ළං වෙලා ළමයාගේ ඇඬුම නතර කරනවාමයි. සමහරු ඉන්නවානේ සැරවැර කරලා, එහෙම නැත්නම් විහිළු තහළු කරලා පුංචි ළමයි අඬවන අය. ඒ වගේ අය දැක්කාම නම් මට ඇතිවෙන්නේ පුදුමාකාර කේන්තියක්.

එක දවසක් මම “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ ෂූටිං ඉවරවෙලා ගෙදර එනවා. හවස මම ෆ්ලයිට් එකට යන්න ඕනෑ. කෑම කන්න වෙලා යන නිසා දවල් කෑම පාර්සලයක් අරගෙන මම ගෙදර එන්න ආවා. මගදී කලර් ලයිට් එකක් ළඟ වාහනේ නතර කරද්දී දරුවෙක් වඩාගත්තු යාචක කාන්තාවක් මගේ ළඟට ඇවිත් ආධාරයක් ඉල්ලුවේ බඩගින්න ඉවසන්න බැහැ කියලා. අර පුංචි දරුවා විලාප තියලා අඬනවා. මට දරා ගන්න බැරි වුණා. මම මගේ කෑම පැකට් එකක් ඇයට දුන්නා. ඒ කාන්තාව මම බලාගෙන ඉද්දී කෑම එක විසිකරලා යන්න ගියා. ඒ කපටි කාන්තාව ඇවිත් තියෙන්නේ මුදල් ලබා ගන්නයි. එදා මට දරාගන්න බැරි දුකකුයි කේන්තියකුයි ඇතිවුණා.

ඇය දරුවා වඩාගෙන යද්දී ඒ දරුව මා දිහා බලාගෙන අඬපු හැටි මට තවමත් මැවිලා පේනවා.

ෆ්ලයිට් එකේ යද්දීත් ළමයි අඬන කොටත් ඒ අය නළවන්න ඉදිරිපත් වෙන්නේ මමයි. දවසක් ඒ විදියට මහ හයියෙන් හඬා වැටෙන ළමයෙක් නළවන්න මම ඉදිරිපත් වුණා. එයාගේ අම්මාටවත් නළව ගන්න බැරි දරුවා මා ළඟදී ඇඬුම නැවැත්තුවා. එයා අවුරුදු තුනක විතර බබෙක්. ගමන නිමාවනතුරුම ඒ බබා මගේ ළඟමයි හිටියේ. ගමන නිමා වුණාට පස්සේ ඒ ළමය මාව දාලා යන්න බෑ කියලා ඇඬුවා.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.