lakbima.lk

කලක් ඔහු වැලි ව්‍යාපාරිකයෙකි. වැලි ව්‍යාපාරයට රජයෙන් පනවා තිබූ නීති රීති දැඩි වීමත් සමග ඔහුට වැලි ව්‍යාපාරය ඉදිරියට කර ගෙන යන්නට අපහසු වූවේය. ඉඳහිට හොරෙන් වැලි ටිපරයක් දෙකක් පටවා තම දෛනික වෙළෙඳාම කර ගන්නට  උත්සාහ කළද නිරන්තරයෙන් පොලීසියෙන් එල්ල වන බාධා කිරීම් හමුවේ වැලි ව්‍යාපාරය නවතා දැමූ ඔහු සිමෙන්ති ආශ‍්‍රිත ගොඩනැගිලි උපකරණ නිෂ්පාදනයට යොමු විය.
මෙම ව්‍යාපාරිකයාට අතමිට ඇති අයෙකු වන්නට වැඩි කල් ගියේ නැත. දියණියක ගේ හා පුතෙකුගේ පියෙකු වූ ඔහු කෙමෙන් හම්බන්තොට ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් අතරට එක්වෙමින් සිටියේය.
මීට සති දෙකතුනකට පෙර සවස් කාලයේ ව්‍යාපාරිකයා ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඇමැතුම ගත් අය තරුණයෙකු බවට කට හඩින් අවබෝධ කර ගන්නට ව්‍යාපාරිකයාට හැකි  විය. ”මට අසවල් පුද්ගලයා කොන්ත‍්‍රාත්තුවක් බාර දීල තියෙනවා. ඇමැතුම ගත් පුද්ගලයා දකුණේ ප‍්‍රදේශ රැසක නම රැන්දු අපරාධ කරුවෙකු ගේ නමක් පැවැසීය.
නම සඳහන් කළ දකුණේ අපරාධකරුවා එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ව්‍යාපාරිකයා දනී. ඔහු කොන්ත‍්‍රාත්තුවක් බාර දෙන්නේ නම් එම කොන්ත‍්‍රාත්තුව භයානක කොන්ත‍්‍රාත්තුවක් බව ව්‍යාපාරිකයාට අවබෝධ විය. ‘‘මට ඔයාගෙ දරුවෙක් උත්සන්න කියල කොන්ත‍්‍රාත්තුවක් එයා බාර දීල තියෙනවා. එයාට ඔයත් එක්ක මොකක් හරි ගනුදෙනුවක් ඇති. ඒක ඔයා එයත් එක්ක බේරගන්න. මම කතා කළේ ඒකට නෙමෙයි. අපි මේ දේවල් කළත් ඉඳල හිටල පපුව උණුවෙන අය. මටත් කොල්ලෙක් ඉන්නවා. ඒ නිසා ඔයා ගැන අනුකම්පා කරල තමයි මම මේ ඔයාට කතා කරන්නෙ. ඔයාගෙ දරුව උත්සන්න එයා මට රුපියල් ලක්ෂ පහළොවක් දෙන්න පොරොන්දු වුණා. මට ඒකෙන් ඇඞ්වාන්ස් එකකුත් හම්බ වුණා. මට දැන් ඔයාගෙ දරුවෙක් උස්සන්න වෙනවා.ව්‍යාපාරිකයා ගේ දෙපා පණ නැති වූයේය.ඔයා බය වෙන්න එපා . මට ඔයා ගෙ දරුව  ඕනේ නෑ.මම දරුව උත්සන්නෙ නැතිව ඉන්නම් ඒකට මට ඔයා උදව්වක් කරන්න  ඕන.
ව්‍යාපාරිකයාට තම දරුවන් බේරා ගැනීමට කළ නොහැක්කක්  නැත. කියන්න අයියෙ මොනවාද මං කරන්න  ඕන. ව්‍යාපාරිකයා කප්පන් කරුගෙන් ඇසීය. මම එහෙම කියන්නේ නෑ. මට කරන්න පුළුවන් උදව්ව ඔයා කියන්න කප්පම්කරු කීය. මට තේරුම් ගන්න අමාරුයි අයියේ ඔයා කියන්න. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න. ඒ දේ මං කරන්නම්. ව්‍යාපාරිකයා පිළිතුරු දුන්නේය. හරි මං පස්සෙ කතා කරන්නම්. කප්පම්කරු  දුරකථන ඇමතුම විසන්ධි කළේය.
ව්‍යාපාරිකයාගේ සිරුර සලිත වී ගියේය. මං දැන් මොනවද කරන්නෙ? කුමක් හෝ අනතුරක් තම පවුලට ඇති බව ව්‍යාපාරිකයාට වැටහිණි. කවුරුන් හෝ තමන්ගෙන් පළිගන්නට මාන බලන බව ව්‍යාපාරිකයාට අවබෝධ වෙමින් තිබිණි. තම පවුලට අත් වෙන්නට යන ඉරණම සිය බිරි`දගෙන්ද වසන් කළ ව්‍යාපාරිකයා නිවසින් බැහැර වී ගියේ කුමක් කළ යුතු දැයි සිතමින්ය.
හමබන්තොට නගරයට ගිය ව්‍යාපාරිකයා තමන් පාවිච්චි කළ කුඩා දුරකථනය වෙනුවට තරුණ පරපුර මේ දිනවල පාවචිචි කරනු ලබන දුරකථනයක් මිලට ගත්තේය.මේකෙන් එන ටෙලිෆෝන් කෝල් රෙකෝඞ් කරන්න පුළුවන්ද මල්ලි. ව්‍යාපාරිකයා දුරකථන වෙළෙඳ සළේ  සිටි අලෙවිකරුගෙන් ඇසීය. ඔව් පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නෙ. වෙළෙඳසලේ අලෙවිකරුවා දුරකථනයෙන් හ`ඩ පටිගත කරන අයුරු ව්‍යාපාරිකයාට කියා දුන්නේය. ස්මාර්ට් දුරකථනය අතට ගත් ව්‍යාපාරිකයා නිවසට පැමිණියේ සිදු කළ යුත්තේ කුමක්දැයි තව දුරටත් කල්පනා කරමින්ය.
ව්‍යාපාරිකයාගේ දුරකථනය නාද වෙන විට පසුදා උදේ හත පසු වී තිබුණේ නැත. ඊයේ ? නින්ද ගියේ නැද්ද?. දුරකථනයේ එහා කොනෙන් ප‍්‍රශ්නයක් ආවේය. දැන් ස්මාර්ට් දුරකථනයේ සියලූම සංවාද පටිගත වෙයි. මම මේක නොකර ඉන්නම්. මට රුපියල් ලක්ෂ පහළොවක්  ඕන. කප්පම්කරු පැවසීය. මං ළඟ ඒ තරම් සල්ලි නෑ අයියේ. ව්‍යාපාරිකයා පැවැසීය. ඇයි සල්ලි නැත්තේ? මට බොරු කියන්න එපා. ඔයා නිදන් කැඩුව නේද? කප්පම්කරු ඇසුවෙය. නිදන් හොයන්න ගිය එක ඇත්ත තමයි. නමුත් නිදන් හම්බු වුණේ නෑ. ව්‍යාපාරිකයා පැවැසීය.
මට මේ ගනුදෙනුව බේරගන්න  ඕන. මම තමුන්ට තව දවසක් දෙකක් දෙනවා. නැවතත් දුරකථනය විසන්ධි විය.
දවත් දින දෙකක් ගෙවී ගියේය. ව්‍යාපාරිකයා ගේ බිරි`ද හා වැඩිමල් දරුවා කිසියම් ගමනක් ගියහ. එදින පෙරවරු නමයට පමණ කප්පම් කරු දුරකථනයෙන් නැවත ව්‍යාපාරිකයා ඇමතීය. මොකද කියන්නේ අපි ඉන්නෙ ඔයාගෙ ගේ ළඟ. දැන් ඔයාගේ දරුවයි නෝනයි ගෙදරින් ගියා නේද.  තමන් වටකොට ඇති බව ව්‍යාපාරිකයාට තේරුම් ගියේය.
ව්‍යාපාරිකයා කුමක් කළ යුතුදැයි කල්පනා කළේය. පොලීසියට සිද්ධිය දන්වන්නට ඔහුට සිතුනේය. අවසානයේදී ඔහු හම්බන්තොට ”පන්වැව” ප‍්‍රදේශයේ පිහිටුවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි සාගර කුලසේකරට සිද්ධිය පැමිණිලි කළේය.
කප්පම්කරුගේ ඊළ`ග ඇමතුමේදී පොලිස් පරීක්ෂක කුලසේකරගේ උපදෙස් මත  ව්‍යාපරිකයා කප්පම්කරුට මුදල දෙන්නට දිනයක් වේලාවක් හා ස්ථානයක් ගැන කතා කොට තීරණයක් ගනු ලැබීය.
පසුගිය 10 දින කුට්ටිගල පොලිස් වසමේ පදලංගල රෝහල හන්දියට රුපියල් ලක්ෂ 15 ගෙනත් දෙන ලෙසටත් ඒ සඳහා කිසිවෙකු පැමිණිය යුතු නැති බවත් ව්‍යාපාරිකයා පමණක් පැමිණ මුදල් දී යා යුතු බවත් රොහල් හන්දියට පැමිණුනායින් පසුව තමන් නැවත දුරකථන ඇමතුමක් දී මුදල් ගන්නා බවත් කප්පම්කරු ව්‍යාපාරිකයට පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නියෝග  මත කලාප අණදෙන නිලධාරී කේ.එන්.එන්. ප‍්‍රනාන්දු, ප‍්‍රාදේශීය අණදෙන නිලධාරී චන්ද්‍රසිරි යන අයගේ අධීක්ෂණය යටතේ ප‍්‍ර.පො.ප. කුලසේකර, පො.ප. මධුරංග, උ.පො.ප කුමාර යන නිලධාරීන්ගේ මෙහෙයවීම මත මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුමක් සකස් කෙරිණි.
අවසානයේදී කප්පම්කරු ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ බරවකුඹුකරපොළ අසලට පැමිණනෙ ලෙසයි. එහෙත් විශේෂ කාර්ය බළකායේ උපදෙස් පරිදි ව්‍යාපාරිකයා එතැනට ගියේ නැත. අවසානයේදී ව්‍යාපාරිකයා රෝහල් හන්දියේ සූරියවැව දෙසට යන මාර්ගයේ නතර වූයේය. කප්පම්කරු දුරකථන කණුවකට මුවා වී ව්‍යාපාරිකයා සමග සංවාදයේ යෙදෙනෙ අයුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු දුටුවෝය. අවසානයේ මෙතැනදීම කප්පම් මුදල ගැනීමට කප්පම්කරු එකඟ විය. එසේ එකඟ වී ව්‍යාපාරිකයා අසලට පැමිණි කප්පම්කරු මුදල් පාර්සලය අතට ගන්නවාත් සමග තැන තැන ස්ථාන ගත වී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ඔහු අත් අඩංගුවට ගත්හ. ගම්මුද ඒ සඳහා උදවු දුන්හ. මාර්ගය ආසන්නයේ ඇති විදුලි කණුවක කප්පම්කරු ගැට ගසන්නට  ගම්මුද අත් උදව් දුන්හ. අත්අඩඅංගුවට පත් කප්පම්කරුගෙන්  ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු හිටපු යුද හමුදා සෙබළෙක් බවයි. ඔහු පදලංගල ප‍්‍රදේශයේ පදිංචි 29 වියේ පසුවන අයෙකි. අත්අඩංගුවට පත් සැකකරුගෙන්  ලද තොරතුරකට අනුව මෙම කප්පම් සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් තිස්සමහාරාම සාමගුලිය ප‍්‍රදේශයේ රූස්ස වනයක් මැද පැල් කොටයක සිටියදී ඉකුත් 11 දින අලූයම  පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත්තේය.

චන්ද්‍රසේන ගමගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.