lakbima.lk

කෙටි කලකින්ම ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් වූ ජනප්‍රිය රංගන  ශිල්පිනියක  වන සෙනාලි ෆොන්සේකා ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශයවන දූවිලි අහස ටෙලි නාට්‍යයේ ඇය රඟපාන චරිතය නිසාය. . ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ භූමිකාවට පණ පෙවීමටද සෙනාලි  මේ දිනවල සූදානමින් සිටියි.

'දූවිලි අහස' ටෙලි නාට්‍යය නිසා මේ දවස්වල සෙනාලිට විශාල ප්‍රේක්ෂක අවධානයක්  හිමිවෙලා තිබෙනවා. ඒ නිසා ඒ ටෙලිනාට්‍ය සහ එහි ඔබ රඟපාන චරිතය  ගැන අපි මුලින්ම කතා කරමුද?

මම නර්තනයට ගොඩක් ආස කෙනෙක්. මම දුකටත් නටනවා, සතුටටත් නටනවා කියලා තමයි මගේ දෙමාපියෝ මට කියන්නේ. ඉතින් 'දූවිලි අහස'   ටෙලි නාට්‍යයේදී  මට ලැබෙන්නෙත් නර්තනයට දක්ෂ යුවතියකගේ   චරිතයක්.   'දූවිලි අහස' ටෙලි නාට්‍යයේ  'පවනි' කියන්නේ හරිම අහිංසක  බොළඳ  ගැහැනු ළමයෙක්. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන   නළුවාගේ චරිතය රඟපාන්නේ  අකිල දනුද්ධර. සිරිපැරකුම්' චිත්‍රපටයේදී වගේ මේ ටෙලි නාට්‍යයෙත්  අකිලගෙයි මගෙයි ආදර කතාවක් දිගහැරෙන්නේ නැහැ. හැබැයි අකිල රඟපාන චරිතය  වන භාතිය හින්දා  පවනිගේ ජීවිතය වෙනස් වෙනවා.

පවනිගේ චරිතයට  ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

 සිරි පැරකුම් චිත්‍රපටයේ  අකිලයි මමයි කරපු රඟපෑමට  ඇලුම් කළ බොහෝ දෙනෙක් හිටියා. ඒ නිසා අපි දෙන්නාගේ  රැඟපෑම එකට දකින්න  කැමති පිරිසක් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයන්ගෙන් මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.  සිරිපැරකුම් චිත්‍රපටයට පස්සේ අයියන්ඩියි නගයි එකට රඟපානවා කියලා ගොඩක් අය විහිළුත් කරනවා.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන  නිළියගේ භූමිකාවත් ලැබි තිබෙන්නෙත් ඔබටයි. ඒ චරිතය සඳහා මේ වෙනකොට ඔබේ තිබෙන සූදානම මොන වගේද?

මේ දවස්වල මම  ආසාවෙන් බලාගෙන ඉන්නවා 'විජයබා කොල්ලය' චිත්‍රපටයේ  රූගත කිරීම් ආරම්භ වෙනතුරු. ඒ චිත්‍රපටයේ මම  රඟපාන්නේ  නීලමනී කියන චරිතය. මේ  දවස්වල මම  විජයබා කොල්ලය   චිත්‍රපටය වෙනුවෙන්  අශ්වයෝ පදින්නත් පුරුදු වෙනවා.  ඇත්තටම  විජයබා කොල්ලය චිත්‍රපටයට  මට ආරාධනාව ලැබුණෙත් අහම්බෙන්. දවසක් කැමරා අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය මහතා මුලින්ම මට දුරකථන ඇමැතුමක් ලබා දීලා  ආගිය තොරතුරු ඇහුවා. ඊට දවස් කීපයකට පස්සේ ඔහු මට කතා කරලා කිව්වා ඔහුගේ යාළුවෙක්   චිත්‍රපටයක් හදනවා එහි  රගපාන්න කැමතිද කියලා. පස්සේ තමයි මම දැනගත්තේ ඒ යාළුවා සුනිල් ආරියරත්න සර් කියලා. ඒ විදිහට තමයි මම  විජයබා කොල්ලයට සම්බන්ධ වුණේ. ඒ වගේම මෑතකදී  ජැක්සන් ඇන්තනී මහතාගේ 'එක ගෙයි' කියන චිත්‍රපටයකත් රඟපෑමෙන් දායක වුණා.  පාද යාත්‍රා කියන චිත්‍රපටයේත් ළඟදි රඟපෑවා.  ඒ චිත්‍රපට දෙකම ඉදිරි කාලයේදී තිරගත වේවි.

සෙනාලි  මීට කලින්  හාරකෝටිය ටෙලි නාට්‍යයේ දිලීි කියන චරිතය  හරහාත් පුංචි  තිරයේ ප්‍රේක්ෂකයන්ට  හුඟාක් සමීප වුණා. නමුත් අදටත් වැඩි ඇල්ම තිබෙන්නේ  සිනමාවට නිසාද  පුංචි තිරයෙන් ඔබව නිතරම දකින්නට නොලැබෙන්නේ.?

මම කලාවට එන්නේ චිත්‍රපට හරහා. ඒ වගේම මම ගොඩාක් ආසා කරන්නෙත් චිත්‍රපටවල රඟපාන්නයි.   ඉස්සර රඟපෑමේ කටයුතුවල නියැලුණේ  එංගලන්තේ ඉඳලා ආපු අවස්ථාවලදී නිසා  ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය  වලට සම්බන්ධ වෙන්න  මට කාලයක්  තිබුණේ නැහැ. දීර්ඝ ටෙලි නාට්‍යයක් විදිහට මම සම්බන්ධ  වුණේ් හාරකෝටියට විතරයි. එහි මම රඟපෑ දිලී කියන චරිතය ප්‍රේක්ෂකයෝ අතර හුඟාක් ජනප්‍රිය වුණා. බොහෝ දෙනා අදටත් මගෙන් අහනවා   හාරකෝටිය  දෙවැනි කොටස වන   'කෝටිපතිගේ' ටෙලි නාට්‍යයේ මම  නැත්තේ ඇයි කියලා. අධ්‍යාපන වැඩකටයුතු එක්ක කලා කටයුතුත් සමබර   කරගෙන වැඩ කරන්න ඕන නිසයි දීර්ඝ ටෙලි නාට්‍යවලට මම විරාමයක් ලබාදීලා තියෙන්නේ.

කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යෑම අභියෝගයක් ‍නෙවෙයිද?

මම ඉගෙනුම ලැබුවේ ජීව විද්‍යා වෛද්‍ය අංශයෙන් විද්‍යාඥවරියක් වෙන්නයි. ඒ අංශයෙන් මට ප්‍රථම සමාර්ථ උපාධියක් ලබා ගන්න පුළුවන් වුණා.   උපාධිය කරනකොට මම  ලංකාව සහ එංගලන්තය කියන රටවල් දෙකේම  ජීවත් වුණා. මොකද කලා කටයුතු  නිසා මට  ලංකාවට නිතර නිතර  එන්න සිද්ධ වුණා. එහෙම වෙලත් මට  ඉහළ සමාර්ථයක් ලබාගන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.  ඒත් ඒ අතරේ මට'සරිගම' නෙලා  වගේ හුඟාක් හොඳ චිත්‍රපටවලට  ආරාධනා ලැබුණත් මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක  මට  එ්වාට සම්බන්ධ වෙන්න බැරිවුණා. දැන් මම වැඩි කාලයක් කලාව වෙනුවෙන්  යොදවලා ඉදිරියේදී තවත් උපාධියක් සම්පූර්ණ කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

සෙනාලි දැන් ආදරවන්තියක්ද?

මම ආදාරයට ආදරේ කරන කෙනෙක්. මට මගේ දෙමව්පියන්ගෙන් සහ යහළුවන්ගෙන්  ඕනෑතරම් ආදරය ලැබෙනවා. විශේෂයෙන්ම මගේ ප්‍රේක්ෂකයන්ගෙනුත් ආදරය ලැබෙනවා. මේ විදිහට හැමෝගෙන්ම ආදරේ ලැබෙනකොට  තව විශේෂ පුද්ගලයන්ගේ ආදරේ ලැබුණේ නැහැ කියලා ඒක මට ලොකු අඩුපාඩුවක් වගේ දැනෙන්නේ නැහැ. කවදහරි ඒ කෙනා මාව හොයාගෙන එනතුරු මම බලාගෙන ඉන්නවා.

සමන්මලී නැලිගම

Page 5 of 101

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.