lakbima.lk

තෙරක් නොපෙනෙන මහ සයුර මැද යාත්‍රා කරමින් තිබූ දැවැන්ත සහ අති සුඛෝපභෝගී මගී නෞකාවකින් මහ රැයෙහි මුහුදට වැටුණු කාන්තාවක් පැය 10 ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිට අවසානයේ දිවි බේරා ගැනීමට සමත් වීම ගැන අසාමාන්‍ය පුවතක් සඳුදා (20 දා) ජාත්‍යන්තර මාධ්‍ය තුළ සංසරණය විය.  බ්‍රිතාන්‍ය ජාතික, 46 හැවිරිදි කාන්තාවක වන ඇගේ නම කේ ලෝන්ග්ස්ටාෆ් ය. පසුගිය ඉරිදා (19 දා) මැදියම් රැය ආසන්නයේ ඇය මේ ආකාරයෙන් ඇද වැටුණේ ('නෝවේජියානු තරුව යන අරුත ඇති)  ව්ධපඹඥඨඪචද ඉබචප නැමැති නෞකාවෙනි. තට්ටු 15 කින් සහ කාමර 1200 කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත මෙම සුපිරි මගී නෞකාව ඒ වනවිට තිබුණේ වැනිසිය දක්වා ගමන් කරමිනි. සිද්ධිය සිදු වෙද්දී එය කේ‍රාඒෂියානු මුහුදු කලාපය පසුකර ගමන් කරමින් තිබූ බව ද සඳහන් විය. කාන්තාව මුහුදට වැටී ඇත්තේ නැවෙහි සත් වෙනි තට්ටුවේ සිට බව ද පැවැසේ.
සිද්ධියෙන් පැය 10කට පමණ පසු කේ බේරා ගැනීමෙන් අනතුරුව ඇය පවසා තිබුණේ නෞකාවේ පිටුපස වූ වැටට උඩින් තමා මුහුදට වැටුණු බවයි. නමුත් ඇය කියන මේ කතාව ඇත්තක් ද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට සැක මතු වී තිබේ. නෞකාවේ ගමන් කරමින් සිටින ඇතැමුන්ගේ අදහස බව පෙනෙන්නේ ඇය මුහුදට පනින්නට ඇති බවයි. එදින සවස් වරුව පුරාම කේ ඇයගේ මිතුරු මිතුරියන් සමග රණ්ඩු කරමින් සිට ඇති බව ද ඔවුන් පවසා තිබිණි. ඇය තරමක කරදර සහිත අතීතයක් තිබූ කෙනෙකු ලෙසද ඇයගේ මිතුරියක සඳහන් කර තිබූ බව වාර්තා වේ.  ඇයගේ පෙම්වතෙකු ලෙස සැලකෙන පිරිමියෙකු  ඇය සමග සිට ඇති බවට ද, බොහෝ වේලාවක් තිස්සේ ඇය මත්පැන් බොමින් සිට ඇති බවට ද මේ  වනවිට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම පිරිමි පුද්ගලයා සමග  ඇය බහින්බස් වෙමින් සිටි බව ද සඳහන් වෙයි. නැවේ පිටුපස වැට අඩි 6 ක් පමණ උස බව ද සඳහන් විය. එතරම් උස් වැටකින් නිකම්ම වැටුණා යයි සිතීම අපහසු බව ද ඇතැමුන්ගේ අදහස බව පෙනිණි.


 කෙසේ නමුත් කේ ලෝන්ග්ස්ටාෆ් ගමන් කරමින් සිට ඇත්තේ ඇයගේ පවු‍ලේ උදවිය ද සමග ය. නමුත් බොහෝ වේලාවක් තිස්සේ ඇය වෙනම කුටියක සිට ඇති බවද වාර්තා වෙයි. කේ මුහුදට වැටී ටික වේලාවකට පසු, ඇය නැවෙහි නැති බව දැනගත් ඇගේ පවු‍ලේ අය වහාම ඒ ගැන නැවේ නිලධාරීන්ට දැනුම් දී ඇත. මේ ගැන සොයා බැලීමෙන් පසු නෞකාව ඒ මොහොතේම  ආපසු හරවාගෙන කාන්තාව වැටෙන්නට ඇතැයි සැක කළ ඉසව්ව කරා පැමිණ තිබේ. නමුත් ඒ වනවිට ඇය අතුරුදහන් වී පැය දෙකකට ආසන්න කාලයක් ගත වී තිබි ඇත. බොහෝ වේලාවක් ඇය සෙවීමෙන් පසු නෞකාව ආපසු පිටත්ව ඇත්තේ ඒ වනවිට තවත් විවිධ ජාතීන්ට අයත් මගීන් විශාල පිරිසක් එහි ගමන් කරමින් සිටි හෙයිනි. කෙසේ නමුත් තම නැවෙහි ගමන් කරමින් සිටි මගියෙකු මේ ආකාරයෙන් අතුරුදන් වීම ගැන එහි නිලධාරීන් විශාල කම්පනයකට සහ නොසන්සුන්තාවකට පත්ව ඇති බවද පෙනේ. නෝවේජියන් ස්ටාර් නෞකාව එම ස්ථානයෙන් නැවත පිටත්වී ඇත්තේ මේ පිළිබඳව වෙරළාරක්ෂක කණ්ඩායම්වලට දැනුම් දීමෙන් පසුව ය. කෙසේ හෝ වේවා මෙම ගලවා ගැනීමේ කණ්ඩායම් පැමිණ එම සාගර ප්‍රදේශය පුරා සෝදිසි කිරීමෙන් පසු අවසානයේ කාන්තාව සොයා ගැනීමට හැකි වී තිබේ. ඒ වනවිට ඇය මහ අන්ධකාරයේ තෙරක් නොපෙනෙන මහ සයුර මැද පැය 10 කට ආසන්න කාලයක් හුදෙකලාව ගත කර තිබිණි. ලෝන්ග්ස්ටාෆ් මේ ආකාරයෙන්  සොයාගන්නා විට ඇය මුහුදට වැටුණු තැන සිට කි.මී. 2 ක පමණ දුරක් ඈතට ගසාගෙන ගොස් තිබූ බවද සඳහන් වේ.
මෙතරම් කාලයක් ඇය නිරුපද්‍රිතව ගත කළේ කෙසේද යන්න බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් සහ විමතියක් ඇති කළ කාරණයක් විය. කාන්තාව මෙහිදී පවසා තිබුණේ ඇය යෝග ව්‍යායාම කරන කෙනෙකු නිසා තිබෙන කායික මානසික ශක්තිය හේතුවෙන් මේ ආකාරයෙන් නොමැරී බේරුනු බවයි. මේ පිළිබඳව අදහස් දක්වා ඇති නිරීක්ෂකයින් සඳහන් කර ඇත්තේ මුහුදෙහි දැඩි ශීතලක් නොතිබිම සහ රැල්ලෙන් තොර සන්සුන් ගතියක් පැවතීම ද ඇයට වාසියක් වන්නට ඇතැයි කියාය. එමෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන්ගේ සිරුරු වල මේදය පැවතීම නිසා ඔවුන් ජලයෙහි පාවෙන ගතිය වැඩි බව ද ඔවුන් පෙන්වා දී තිබිණි. සිරුර උණුසුම්ව තබා ගැනීම සඳහා තමා දිගටම ගීත ගායනා කළ බවද කාන්තාව තමුන් බේරා ගත් අය සමග පවසා තිබේ. ඇය බේරාගෙන ගොඩ බිම වෙත රැගෙන ඒමෙන් පසු වහා රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබූ අතර මේ වනවිට ඇය හොඳ සුවයෙන් පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.
කාන්තාව ගමන් කළ නෞකාව වැනිසිය වෙත සේන්දු වූ පසු ‍පොලිසිය එහි සිටි මගීන්ගෙන් මෙන්ම කාර්ය මණ්ඩලයේ අයගෙන් ද ප්‍රශ්න කර තිබිණි. විශේෂයෙන් ඇය සමග සිටි බව පැවසුණු පිරිමි  පුද්ගලයාගෙන් ද මේ ආකාරයෙන් ප්‍රශ්න කර තිබිණි. ඔහු විසින් ඇය මුහුදට තල්ලු කරනු ලැබුවාද යන සැකයක් ද විමර්ශකයින් තුළ තිබූ බැව් පෙනේ. නමුත් නැවේ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමෙන් පසු මෙම සැකය දුරු වී තිබූ අතර ඇය මුහුදට වැටෙන අවස්ථාවේ වෙනත් කිසිවෙකු එහි නොසිටි බවත්, ඇය එහි සිටියේ තනිවම බවත් තහවුරු වී තිබිණි. කෙසේ නමුත් මෙම සටහන ලියන අවස්ථාව වනවිට දැනගන්නට තිබුණේ ඇය සිය කැමැත්තෙන්ම මුහුදට පැන ඇති බවක් බොහෝ දුරට විශ්වාස කළ හැකි බවයි. විමර්ශකයින් ද මේ ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටින බව සඳහන් වෙයි. ඇය මෙම සිද්ධිය වූ අවස්ථාවේ උඩ ඇඳුම් ඉවත් කර යට ඇඳුම්වලින් පමණක් සැරසී සිටීම ද මෙම සැකය තහවුරු කිරීමට හේතු වී තිබේ.

කිත්සිරි මල්වත්ත
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.