lakbima.lk

සිංහල අලුත් අවුරුදු උදාවට තිබුණේ තව දෙදිනකි. ඉකුත් 11දා ද කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැතියේද වෙනදාට වඩා දැඩි කාර්ය බහුල බවකි. ඇතැම්හු අවුරුදු නිවාඩුවට විදේශගත වන්නට ගුවන් තොටුපළට පැමිණ සිටියහ. 
 
තවත් සමහරු විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙමින් සිටියේ අලුත් අවුරුද්ද ලංකාවේ දෙමාපිය නෑ හිතවතුන් සමග ගත කිරීමටය. මේ අධික මගී ප්‍රමාණය හැසිරවීමට සිදුවීම නිසා ගුවන්තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහුද වඩාත් කාර්යබහුලව සිටියහ. 
 
ගුවන් තොටේ රේගු නිලධාරීහු කොහොමටත් උකුසු ඇස් ඇත්තෝ වෙති. උදෑසන 9.30ට පමණ ඔවුන්ගේ තියුණු දෑසට එක් පුද්ගලයකු නිරීක්ෂණය විය. ඒ ඔහුගේ අසාමාන්‍ය ගමන් විලාසය හා මුහුණේ තිබූ සැකමුසු පෙනුම නිසාය. ගුවන්තොටුපළ සහායක කාර්ය මණ්ඩල සේවකයකු වූ නමුදු ඔහුගේ දෑස්වල පැවැතියේ කිසියම් නොසන්සුන්කාරී බවකි. කාගෙන් හෝ ගැලවෙන්නට හදන බවක් ඔහු කෙරෙන් විද්‍යමාන විය. ගුවන් තොටුපළේ මගී පර්යන්තයේ සිට පිටවීමේ දොරටුව දෙසට ගමන් කරමින් සිටි මේ පුද්ගලයා නතර කළ රේගු නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වන්නේය.
 
“තමුන් කොහේද යන්නේ?”
කොතරම් ගුවන් තොටුපළ පරිශ්‍රය පුරුදු අයෙකු වුවද නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු නිරුත්තර විය. ඔහු ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ සහායකයකු බව ඔහුගේ කාර්ය මණ්ඩල හැඳුනුම්පත පරීක්ෂා කළ නිලධාරීන්ට අවසානයේ තහවුරු කරගත හැකි වූයේය.
 
ඔහුගේ ගමන් විලාශය, හැසිරීම යන සියලු කරුණුවල වූ සැක සහිත බව නිසා රේගු නිලධාරීන් ඔහු පරීක්ෂා කිරීමට රේගු අංශය වෙත රැගෙන ගියේය. එහිදී නිලධාරීන්ට ඔහුගේ දෙපාවල සඟවාගෙන තිබූ රන් බිස්කට් ගණනාවක් සොයා ගත හැකි වූයේ නිලධාරීන් තුළ පැවැති සැකය තහවුරු කරමිනි.
 
ග්‍රෑම් 100 බර වූ රන් බිස්කට් 10 බැගින් වූ දිගටි තීරු විස්සක් එක් කකුලක බැගින් මෙම තැනැත්තා කකුල් දෙකේ රන් බිස්කට් 40ක් කිසියම් ද්‍රවාණයකින් අලවාගෙන තිබුණි. මෙකී රන් බිස්කට් එකක වෙළෙඳ‍පොළ වටිනාකම රුපියල් ලක්ෂ අටකි. ඒ අනුව මොහු සන්තකයේ තිබූ රත්‍රන්වල වටිනාකම මිලියන 32කි. සපත්තු මේස් දමා සිටි මොහු මේස් වලට ඉහළින් මෙම රන් බිස්කට්  අලවාගෙන තිබේ. ඔහු අසීරුවෙන් ඇවිද ගියේ මෙම රන් බිස්කට්වල බර නිසා බව රේගු නිලධාරීන්ට වටහා ගත හැකිවිය.
 
අනතුරුව මේ පුද්ගලයාගේ වගතුග සොයා බලන්නට රේගු නිලධාරීහු කටයුතු කළහ.
වත්තල ප්‍රදේශයේ පදිංචි විසි තුන් හැවිරිදි තරුණයකු වූ මොහු ගුවන් සමාගමේ රැකියාවට පැමිණ ගතව තිබුණේ මාස 13කි. අනතුරුව රන් බිස්කට් තොගය ඔහුට ලැබුණ ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන්නට වූ හෙයින් ඔහුට සියල්ල හෙළි කරන්නට  සිදුවිය. ඔහු පවසන අන්දමට ඔහුට මෙම රන් බිස්කට් ලබා දී ඇත්තේ ඉන්දියානු ගුවන් මගියෙකි. නිතරම ගුවන් ගමනේ යෙදෙන මෙම ඉන්දියානුවා ඔහු සමග ගුවන්තොටේදී  හිතවත්ව ඇත. 
 
මෙම ඉන්දියානුවා ඉකුත් 11 දා ද කටුනායක ගුවන්තොටුපළේ රැඳී සිට ඇති අතර එහිදී මෙම සේවකයාව ගුවන්තොටුපළ වැසිකිළියක් තුළට රැගෙන ගොස් මෙම රන් බිස්කට් ටික දී ඒවා ගුවන්තොටෙන් එළියට රැගෙන යන ලෙස උපදෙස් දී ඇත. එමෙන්ම තමන් පසුව පැමිණ මේවා ලබා ගන්නා බවද ඉන්දියානුවා පවසා ඇත.
පියාගේ අසනීප තත්ත්වය හා නැගණියන්ගේ ප්‍රශ්න හමුවේ දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටි මොහු විදේශිකයාගේ එම ඉල්ලීම භාර ගෙන ඇත්තේ ඔහු තමන්ට මේ සඳහා විශාල මුදලක් ගෙවාවි යන බලා‍පොරොත්තුවෙන් බවද ඔහු රේගු නිලධාරීන්ට පවසා තිබේ.
 
වහාම රේගු නිලධාරීන් විසින් අදාළ ඉන්දීය මගියා සොයා සීසීටීවී දර්ශන පරීක්ෂා කළද ඉන් තොරතුරක් ලැබි නොමැත. එහෙයින් මෙම සැකකරු සන්තකයේ තිබූ සියලුම රත්තරං රාජසන්තක කර ඔහුට රුපියල් මිලියනයක දඩයක් පැනවීමට මෙහිදී රේගුව නියෝග කළේය.
 
හරියටම මීට මසකට ඉහතදීද එනම් මාර්තු 11 දාද රේගුව රත්තරං වළලු සඟවාගෙන ගුවන්තොටෙන් පිටව යාමට උත්සහ කළ බලංගොඩ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය. ඔහු විදේශීය  ගුවන් සමාගමක සේවය කළ 
ශ්‍රී ලාංකිකයකු විය. රුපියල් දෙකෝටි පහළොස් ලක්ෂයක් වටිනා රත්තරං වළලු කිලෝ 04 ග්‍රෑම් 230ක් ඔහු සන්තකයේ තිබි අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මෙරට රජයට අයවිය යුතු බදු මුදල් වංචාකරමින් නීති විරෝධී ආකාරයට විදේශයේ සිට රත්තරං මෙරටට ගෙන්වීම දැන් ඉහළ යමින් පවතින ජාවාරමකි. මේ සඳහා ඔවුන් ගුවන්තොටුපළේ සේවය කරන නිලධාරීන් යොදා ගන්නා ප්‍රවණතාවක් දැක ගත හැක. ආගමන විගමන නිලධාරියකු, රේගු නිලධාරියකු, ‍පොලිස් නිලධාරියකු, ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරියකු, ගුවන් සමාගම් නිලධාරියකු හෝ ගුවන්තොටේ සේවය කරන්නකු යොදා ගෙන මෙම වංචනික ක්‍රියාව කරනා බව මේ වන විටත් තහවුරු වෙමින් ඇත. 
 
මෙලෙස ගුවන් තොටුපළ පරිශ්‍රය හොඳින් හුරු පුරුදු සේවකයන් මේ සඳහා යොදා ගන්නේ ඔවුන් පිළිබඳ සැක ඇතිවීම වැළකීමටය. එමෙන්ම ඔවුනට විශාල මුදලක් දෙන බවට ‍පොරොන්දු වී මෙම අකටයුත්තට ‍පොළඹවා ගැනීමද මෑතක සිට ඉහළ යමින් පවතින බව පසුගිය කාලයේ සිදු කළ අත්අඩංගුවට ගැනීම් වලින් තහවුරු වෙයි.
එහෙත් ජාවාරම්කරුවන්ගේ මුදලට වහ වැටී එසේ රත්තරං ගෙනත් හසු වූ ගුවන්තොටේ සේවය කළ බොහෝ පුද්ගලයන් දැන් සිටින්නේ ඔවුන්ගේ රැකියාවද අහිමි කර ගනිමිනි.
 
මෙකී රත්තරං ජාවාරම පිටුපස සිටින්නේ එක්තරා ජනවර්ගයක කණ්ඩායමක් වන අතර මේ සඳහා ඔවුන්ට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේද සහාය ලැබෙන බව පැවැසේ.
 
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් (අතිරේක) සමන් රණවනගේ උපදෙස් මත ගුවන්තොටුපළ රේගු අධ්‍යක්ෂ 
එම්. ඒ. කරුණාරත්නගේ අධීක්ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන කේ. එච්. පී. කුමාරසිරි, විපුල මිනුවන්පිටිය, රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රේගු අධිකාරි එච්.ඩී.ජී. සුමතිපාල, නියෝජ්‍ය රේගු අධිකාරී නුවන් අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන, එච්. ගුරුගේ, ඒ. කේ. ආර්. සමන්ජිත්, සහකාර රේගු අධිකාරි කේ.එච්.ඩී.ඩී. වැලිගම්පිටිය හා ජේ. එච්.එච්.පී. ගුණසිරි යන නිලධාරීන් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
මේ අතර ඉකුත් 18දා පෙරවරුවේද ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රන් බිස්කට් 40ක් පාවහන් තුළ සඟවාගෙන ගුවන් තොටෙන් එළියට පැමිණීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබුණි.
 
ශානිකා මාධවී පීරිස් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.