lakbima.lk

මහියංගන පූජා භූමිය පෙනෙන නොපෙනෙන මානයේ බදුල්ල පාර අයිනේ බස් රථයක් දුවනගිරි කඩයක් බවට හරවාගෙන බත් පැකට් විකුණන දෙහිඅත්තකණ්ඩියේ ලිහිණියාගම විමල් විජේරත්න නම් කිසි දිනෙකත් දවසේ වැඩ නිමකර ගෙදර යන්නේ නැත. ඒ ඔහු සිය පවුලම කැටිව පදිංචිව සිටිනුයේ බත් පැකට් විකුණන බස් රථයේ වීම නිසාය.

දෙහිඅත්තකණ්ඩියේ පදිංචි වෘත්තීය රියැදුරෙකු වූ විමල් විජේරත්න සිය ඇඹේනිය සොයා ගත්තේ රජරට, වැව් බැඳි රාජ්‍යයේ අනුරාධපුරයෙනි. ඕ නමින් ගයානි කාංචනමාලාය. විමල් හා කාංචනමාලාගේ ජීවත අගහිඟකමින් පිරීගිය ඒවා විය. ඊට ප්‍රධාන හේතුව විමල්ට ස්ථිර රැකියාවක් නොමැති වීමය. අනුන්ගේ බස්වල 'ටෙම්පරි කවර්' කරනා ඔහුට දින දෙක තුන වැඩ නැති වූ අවස්ථා ඕනෑතරම්ය. 

එක් දිනෙක කාංචනමාලා විමල්ට රහසක් කියුවාය. විමල්ගේ මුහුණේ සිනාමල් පීදුන ඒ ආරංචිය දෙදෙනා තුන් දෙනෙකු වන්නට යන බවය. මෙම තරුණ යුවළේ සතුට ප්‍රීතිය තවදුරටත් වර්ධනය වන්නේ හෂේන් පුංචි පුතුගේ ආගමනයෙනි. එහෙත් නැති බැරිකම ඉදිරි දොරට තට්ටු කරද්දී විමල් හා කාංචනමාලාගේ යුග දිවියේ සතුටද පෑල දොරින් පලා ගියේය.

එහෙයින් තමුන්ටම කියලා බස් රථයක් අරගන්නට විමල් තීරණය කරන්නේ එහෙයිනි.

විමල්ගේ මේ සිහිනය සැබෑ කරගන්නට උදව් කරනුයේ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකි. එම ආයතනයෙන් රුපියල් තුන්ලක්ෂහැටපන්දහසක ණයක් ලබාගෙන පරණ  බස් රථයක් මිලදී ගන්නට විමල් සමත් වන්නේය. අනාගත බලා‍පොරොත්තු ගොන්නක් කර පින්නාගෙන මිලදී ගත් බස් රථය මාර්ගයට දමා ධාවනය කරන්නට ආවාට ගියාට බැරිය. ඒ සඳහා මාර්ග බලපත්‍රයක් ලබාගත යුතුම වේ. එයට රුපියල් ලක්ෂ 6-7ක පමණ මුදලක් වැයවෙන බව නිලධාරීන් පැවැසූ නිසා විමල් සහ කාංචනමාලා තැනූ සිහින මාලිගාව ඔවුන්ගේ දෙපා අබිමුවේ කඩා වැටුණි.

බස්රථය මාර්ගයට දමා ධාවනය කිරීමට ක්‍රමවේදයක් නොමැති නිසා විමල්ගේ ණය ඉහළ ගියේය. අතමිට මුදලක් නොමැති නිසාත් ඔවුන් පදිංචිව සිටි නිවසට කුලිය ගෙවීම පවා අතපසු විය. බස්එක පාරට දාගන්න බැරිවුණා. මේ නිසා අපිට ආදායම් මාර්ග නැති වුණා. අපි හිටියෙ කුලී නිවාසෙට කුලිය ගෙවන්නත් බැරි වුණා. බැරිම තැන අපි පාරට වැටෙන නිසා පුතාගේ තාත්තා එයා ගත්තු බස් රථයේ සීට් ටික ගලවලා අයින් කරලා බස් එක නිවසක් විදිහට සකස් කර ගත්තා. එදා ඉඳලා බස් එක අපේ නිවස වුණා. අපි හිතාගත්තා කොහොම හරි ජීවිතෙන් ගොඩ යනවා කියලා. කාගේවත් පිහිට පතන්න නොගිහින් අපි දෙන්නා එකතු වෙලා කෑම හදලා විකුණන්නට තීරණය කළා. බස් එක ඇතුළේම ඒකට සුදුසු ඉඩකඩ හදාගෙන අපි සුළුවෙන් වැඩේ කරන්න පටන් ගත්තා. දැන් අපි කාර්යාලවල වැඩ කරන අයට ආහාර පැකට් හදලා විකුණනවා. පුළුවන්තරම් හොඳට පිරිසිදුවට කෑම හදන නිසාත් අන්තිම සාධාරණ ගණනට විකුණන නිසාත් අපෙන් කෑම කන්න ගොඩක් දෙනා කැමතියි. කාංචනමාලා පවසන්නීය.

අපි මේ බස්එක ඇතුළේ කූඩුවෙලා මාස හත අටක කාලයක් වෙනවා. අපි කොහොම හරි දරුවන්ගේ ඇස් පාදනවා. මගේ ලොකු පුතා හෂේන් ගයනෙත්. එයා මහියංගනය මැදයාය කනිෂ්ඨ විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබනවා. සෙසු පාසල් යන දරුවන්ට තියෙන සුවපහසුකම් මුකුක් මගේ දරුවන්ට නෑ. පන්තියේ යාළුවෝ නිවසේ සිට පාසල් ගියාට මගේ පුතාට පාසල් යන්නට සිදුවෙලා තියෙන්නේ පාරේ නතර කරපු බස් එකක ඉඳලයි. මගේ පුතාට අනිත් දරුවන් වගේ පාඩම් කරන්න පහසුකම් නැහැ. රාත්‍රියට ලයිට් නැහැ. ‍පොත්පත් තියාගන්න විශේෂ තැනක් නැහැ. මේ අවට ජල පහසුකම් වැසිකිළි පහසුකම් නැහැ. අපි ඒ සඳහා ප්‍රයෝජන ගන්නේ පන්ස‍ලේ ‍පොදු වැසිකිළියයි. මගේ පුතා ඉගෙන ගන්න හරිම දක්ෂයි. නමුත් බස් එකේ ජීවිතය පටන් ගත්තුදා ඉඳලා එයාගේ අධ්‍යාපනයේත් පසුබෑමක් පෙනෙනවා කාංචනමාලා සුසුම්ලන්නීය. මේ පවු‍ලේ බඩපිස්සිය මින්දි අමායාය. ඇයට වයස අවුරුද්දයි මාස නමයකි. දුවව තියා ගන්නත් හරි හමන් තැනක් බස් එක ඇතුළේ නැහැ. රාත්‍රියට මදුරු විමානයක්. මේ පළාතේ උන්ගෙන් බේරෙන්න හරිම අමාරුයි. ඒ විමල්ගේ හඬය.

අපිට තියෙන ලොකුම ගැටලුව තමයි බස් එකේ ණය ගෙවා ගන්න ක්‍රමයක් නැතිවීම. මොකද එකතැන තිබුණත් ෆිනෑන්ස් ගෙවන්න ඕන. කෑම පැකට් විකුණලා ගන්න මුදලින් අපි කාලා බිලා ළමයින්ට උගන්වලා කොහේ ෆිනෑන්ස් ගෙවන්නද බස් එකේ වාරික 5-6ක් හිරවෙලා තියෙනවා. තව ටික දවසකින් බස් එකත් උස්සයි. එතකොට මහ පාරේ තමයි ඉන්න වෙන්නේ. ඇය කියන්නීය.

එම්.බණ්ඩාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.