lakbima.lk

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ සීදුව ලියනගෙමුල්ල පිහිටි පැය විසිහතර පුරාම විවෘත බවට ඩිජිටල් දැන්වීම් පුවරුවක රතු පැහැයෙන් දැක්වෙන ආයුර්වේද ස්පා මධ්‍යස්ථානයක් ඉදිරිපිට හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි කඩවසම් තරුණයකු බැස ගත්තේය.

මෝටර් රථයේ යතුරු කැරැල්ල අතැඟිල්ලක කරකවමින් වටපිට නෙත් හෙලූ ඔහු මහල් හතරකින් යුත් ගොඩනැගිල්‍ලේ මහල් දෙකක පවත්වාගෙන ගිය ආයුර්වේද ස්පා මධ්‍යස්ථානය තුළට ඇතුළු විය. එහි සෑම තැනම සීසීටීවී කැමරා සවිකර තිබුණි.

මෙම ස්පා මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ මෙහි ටෙලි හා චිත්‍රපට නිළියක් මෙම මධ්‍යස්ථානය බාරව කටයුතු කිරීමය. මෙම ස්ථානයට බොහෝ ගනුදෙනුකරුවන් සම්බන්ධ වන්නේ ඇය හරහාය. එසේම සෙසු ස්පා මධ්‍යස්ථානවලට වඩා මෙය තරමක් සුඛෝපභෝගි එකක්ද විය.

කාන්තාවන් පමණක් සිටින මෙම මධ්‍යස්ථානයට ඇතුළු වූ තරුණයා උණුසුම් ලෙස පිළිගත් එහි සිටින තරුණියන් මෙම තරුණයා සමග කතාබහ කර ඔහු සමග මිතුරු වූහ. තවත් ස්වල්ප වේලාවකින් එහි පැමිණි කාන්තාවක් එකී මධ්‍යස්ථානයේ පවතින ස්පා පැකේජයන් ගැන විස්තර කරන්නට වූවාය.

එම පැකේජ අනුව අවම පැකේජය රුපියල් හාරදහසකි. ගනුදෙනුකරුගේ රුචිකත්වය මත කාන්තාවක් ලබාගන්නේ නම් ඊට අමතරව ගාස්තුවක් අය කෙරේ.

වරක් තරුණියක් සර් ‍පොලීසියේ කෙනෙක්දැයි තරුණයාගෙන් විමසා සිටියාය.

අ‍පෝ නෑ. ඒත් මම ‍පොලිස් කරනවා. යැයි ඔහු සැහැල්ලු ලෙස ප්‍රකාශ කරමින් කියා සිටියේ තමන් මොරටුවෙන් ලී භාණ්ඩ රැගෙන ‍පොලිස් කර ඒවා වෙළෙඳ‍පොළට දමන බවය..

මෙහිදී ඔහු රුපියල් හාරදහසේ පැකේජයක් තෝරාගෙන සම්බාහනයක් කර ගත්තේය. එහිදී සම්බාහනය කළ තරුණිය සමග හිතවත් වූ ඔහු ඇගේ විශ්වාසය දිනාගෙන එදින ඉන් පිටව ගියේ තවත් දිනෙක අනිවාර්යෙන් එන බව පවසමිනි. කියූ ලෙසම ඔහු ඉකුත් 8දා පස්වරු 4.00ට පමණ නැවත වරක් එකී ස්පා මධ්‍යස්ථානය වෙත ගියේය. පළමු දිනට වඩා වෙනස්ම ආකාරයෙන් මෙදින තරුණියන් ඔහුව පිළිගත් අතර කැමැති තරුණියක් තෝරාගෙන කාමරයකට යන ලෙස දන්වා සිටියහ. ඒ සඳහා ගෙවිය යුත්තේ රුපියල් දසදහසක් පමණි.

ඔහු එම මුදල ගෙවා තරුණියක් සමග කාමරයට යාමට සූදානම් වූවා පමණි. එකවරම ‍පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි කඩා වැදුණහ. එසේ පැමිණියේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකි.

තරුණියක් සමග කාමරයට යාමට සූදානමින් සිටි තරුණයාද එක්වරම මම ‍පොලීසියෙන් යැයි පවසා ‍පොලිස් නිලධාරීන් කණ්ඩායම සමග ගණිකා සේවයේ යෙදීමේ වරදට ඒ මොහොතේ එහි සිටි ටෙලි නිළිය ඇතුළු කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගත්තේය.

මෙම මධ්‍යස්ථානය ආයුර්වේද ස්පා මධ්‍යස්ථානයක් වුවද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොතිබුණු අතර ආයුර්වේද වෛද්‍යවරියක්ද එහි නොසිටියාය. එමෙන්ම මෙහි කිසිදු වගකීම් සහතිකයක්ද නොතිබුණු අතර මෙය හුදෙක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන් මුදලට අලෙවි කිරීම සඳහා පමණක් බවත් ‍පොලීසියට හෙළි විය.

මෙහිදී අත්අඩංගුවට පත්වූයේ මෙරට ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය ‍පොලිස් කාන්තාවගේ චරිතය නිරූපණ කරන ටෙලි නිළියක් හා අනුරාධපුර, පුත්තලම, ගාල්ල ආදී ප්‍රදේශවල පදිංචි තරුණියන් පිරිසකි.

මොවුන් සියලු දෙනාම වයස අවුරුදු විසිපහට අඩු වූ අතර ජීවිතය යෞවන වියේදීම විනාශ කර ගත් පිරිසකි.

ටෙලි නිළියද පුංචි තිරයේ රඟපානු ලබන්නේ බොහෝ විට ‍පොලිස් නිලධාරිනියන්ගේ චරිත බවත් ඇයගේ සේවය ලබාගන්නා පුද්ගලයන්ට මෙකී ස්ථානයේදී රුපියල් විසිදහසෙන් ඉහළ මිලක් ලබාදී තිබූ බවද ‍පොලීසිය පවසයි.

මෙම ස්ථානයේ හිමිකරු වූයේ හලාවත පදිංචි පුද්ගලයකු වූ අතර ඔහු විසින් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ, කඳාන, ජා ඇල, මීගමුව ආදි ප්‍රදේශවල මෙවැනි ස්පා මධ්‍යස්ථාන පහළොවක් පමණ විවෘත කර ඇති බවත් ‍පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර ‍පොලිස් අධිකාරි මහේෂ් බණ්ඩාරගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ජයන්ත දහනකගේ උපදෙස් මත ‍පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායකගේ මෙහෙයවීමෙන් ‍පොලිස් සැරයන් (18934) ගුණරත්න, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (73380) අමිල, (82574) අජිත්, (82086) ප්‍රදීප්, කාන්තා ‍පොලිස් කොස්තාපල් (2741) මහේෂි හා (3495) උදේනි යන නිලධාරී කණ්ඩායම මෙම වැටලීම සිදුකර තිබූ අතර මෙකී ස්පා මධ්‍යස්ථානයේ හිමිකරු සොයා ඔවුන් වැඩිදුර විමර්ශන පවත්වයි.

අත්අඩංගුවට ගත් සියලුදෙනාම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.