lakbima.lk

ප්‍රවීණ නළුනිළි යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ අලුත්ම ඡායාරූප පෙළක් පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරු වුණා. එම ඡායාරූපවල ඔවුන් සැරසී සිටින්නේ මනාල යුවළක් ලෙස වීම හේතුවෙන් ඒවා කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. බොහෝ දෙනා විමතියට පත් කළ මෙම ඡායාරූප පෙළ පිළිබඳ ඇත්තම කතාව ප්‍රවීණ රංගන ශිල්පි ආනන්ද වික්‍රමගේ අපට හෙළි කළා.

විවාහ වන වයසේ දරුවන් ඉන්න ආනන්ද-මානෙල් යුවළට ආයෙමත් මනාල යුවළක් වෙන්න හිතුනේ ඇයි?

ඇත්තම කතාව මේකයි. මගෙයි මානෙල්ගෙයි 35 වැනි විවාහ සංවත්සරය යෙදිලා තිබුණේ ජනවාරි 07 වැනිදාට. ඒ නිමිත්තෙන් අපේ හිතවතුන් පිරිසක් තමයි අපිව මනාල යුවළක් විදිහට හැඩ කළ මේ අපූරු සැමරුම සංවිධානය කරලා තිබුණේ.

කාලෙකට පස්සෙ ආයෙමත් මංගල ඇඳුම් ඇන්දාම මොනවාද හිතුනේ?

එදා අපට හරි සතුටුදායක දවසක් වුණා. අවුරුදු 35කට පස්සේ ආයෙමත් මනාල යුවළක් විදිහට සැරසුනාම හිතට අමුතුම විදිහේ හැඟීමකුත් දැණුනා. ඒ විතරක් ‍නෙවෙයි ඡායාරූප දැකපු බොහෝ අයගෙන් අපට සුබ පැතුම් ගලාගෙන ආවා.

කෙටි කාලයකින් පවුල් ජීවිතය කඩාකප්පල් කර ගන්නා කලාකරුවන් අතරේ, ඔබ දෙදෙනාගේ විවාහ දිවිය සාර්ථක වීමේ රහස මොකක්ද?

විවාහ ජීවිතය සාර්ථක කරගන්න නම් දෙදෙනා අතර අනේ‍යාන්‍ය අවබෝධයත්  හුඟක් වැදගත් වෙනවා. මානෙලුයි මමයි එකම ක්ෂේත්‍රයක නියැළී සිටින දෙදෙනකු වීමත් අපේ අදහස් අතර පරස්පරතා අඩුවෙන්න හේතුවක් වෙන්න ඇති. අනික කිසිම ඉවසීමක් නැතුව ඉක්මන් තීරණ ගැනීමෙනුත් පවුල් ජීවිත අවුල් වෙනවා. මම හිතන්නේ දෙදෙනා අතර අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව ජීවත් වූ නිසා වෙන්න ඇති අපේ පවුල් ජීවිතය මේ තරම් සාර්ථක වුණේ.

දෙමව්පියන් විවාහ දිවියේ 35 වැනි සංවත්සරය සමරන අවුරුද්දේම වික්‍රමගේ පවු‍ලේ පුතෙකුත් යුග දිවියට ඇතුළත් වේවිද?

data-language="en"

පුතාලා කලා ක්ෂේත්‍රයට පිවිසුනෙත් අපි රඟපානවා දැකලා ඇතිවුණු ආසාවට මිස අපේ බලකිරීමකට ‍නෙවෙයි. විවාහයේදීත් අපි ඒ දෙදෙනාට  තමන් කැමති තීරණයක් ගැනීමේ නිදහස ලබා දීලයි තියෙන්නේ. හැබැයි තවම එහෙම දෙයක් ගැන පුතාලා අපට කියලා නැහැ. ඒ අයගේ එහෙම අදහසක් තියෙනවා නම් මේ අවුරුද්දේම වුණත් අපේ නිවසේ විවාහ උත්සවයක් පැවැත්වෙන්න බැරි කමකුත් නැහැ.

කිෂාන් කනංකෙ

ඡායාරූපය - නාමල් ප්‍රවීන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.