lakbima.lk

කාර්මීකරණය හා නාගරීකරණය නිසා අපේ ජීවන රටාවන් කෙතරම් වෙනස්ව ඇත්දැයි මොහොතක් සිතා බලන්න. ලෝකයේ දියුණුව හා ඇතිවුණු ඒ වෙනස්කම් අතර අපට ඉතාම හොඳ වාසිදායක දේ ලැබී ඇතුවා මෙන්ම ඉතා අහිතකර දේත් ලැබී ඇති අයුරු ඔබ දුටුවාද?
විශේෂ යමක් සිදුවූ සැණින් එය දැනගැනීමට අද විවිධ මාධ්‍ය හා උපාංග ඇත. ලොව ඈතම කෙළවරක සිටින අයෙකුට වුවත් සිතු විගසින් ඇමතීමට අපට හැකිය.  ඕනෑම රටක භාණ්ඩයක් හෝ ආහාරයක් හෝ වෙනත් රටකදී වුවත් ලබාගත හැකිය. නිවසේ සිටම ඒවා ඇණවුම් කර ගෙන්වා ගැනීමේ පහසුකම් ඇත. අතීතයේ දෙවියන් හෝ යකුන් හෝ ඇති කළැයි විශ්වාස කෙරුණු පැපොල වැනි බෝවන රෝගවලට අද අප බිය විය යුතු නැත. ඒ ලෙඩ සඳහා ප‍්‍රත්‍යක්ෂ එන්නත් ආදිය නිපදවනු ලැබ ඇති හෙයිනි.


දියුණුවේ නාමයෙන් ඇති වූ බොහෝ කරුණු මිනිසාගේ වාසියට සිදුව ඇතැයි අදහන සියලූදෙනා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ තට්ටම් හිරිවැටෙන තුරු එක් තැනක වාඩිවී සිටිමිනි. එනිසා සිරුරට අවැසි අවම තරමේ ව්‍යායාමයක් හෝ නොලැබෙන අතර කෑමට ලැබෙන්නේ ද වසවිස මුසු දෑය. එයද බටහිර පන්නයටය. සුපිරි සේ පෙනෙන මේ ජීවන රටාව හා අත් බැඳ පැමිණෙන්නේ පොහොසතුන්ගේ ලෙඩය. ‘ප්‍රෙෂර්’ ‘ඩයබිටික්’ ආදී නම් වලින් කියවෙන්නේ එවන් රෝග කිහිපයකි. මේ රෝග හා ඒවාට සබැඳි තවත් රෝග ගණනාවක් නිසා ලොව පුරා අකාලයේ මළවුන් අතරට යන්නන් මිලියන ගණනකි.


ඇතැම් රටවල වෛද්‍ය විද්‍යාව සෞඛ්‍ය සේවා ඉතා දියුණු බව පැවසුණත් ලොව නිරෝගීතම හදවත් හමුවන්නේ නම් ඒ කිසිදු රටකින් නොවේ. නවතම අධ්‍යයනයක ප‍්‍රතිඵල අනුව දැනට විශ්වාස කරනු ලබන්නේ නිරෝගීම හදවත් ඇත්තේ බොලීවියාවේ වැසිවනාන්තරවල දිවි ගෙවන සයිමේන් නමැති ගෝත‍්‍රික ජනයාට බවයි. ඔවුන්ගේ ජීවන රටාව හා ආහාර පුරුදු ශිෂ්ට යැයි සම්මත සමාජයට වඩා හාත්පසින් වෙනස්ය. එහෙත් මේ ජනයා අතර සිටින හැට පැන්න අයෙකුගේවත් රුධිර වාහිනියක ලේ කැටියක් ඇතිවන බවට සලකුණක්වත් නොතිබීම නම් දියුණු යැයි කියවෙන සමාජයට කියා දෙන්නේ වෙනමම පාඩමකි.


සයිමේන් ජනයාගේ ජීවන රටාව ඔවුන්ගේ ආදිතමයන්ගේ ජීවන රටාවට සමාන බවක් මේ අනාවරණයෙන් නොපැවසේ. ගණනින් 16,000ක් පමණ වන මේ ගෝත‍්‍රිකයෝ දඩයම් කරති. බිලී බාති. ඇමේසන් වනයේ මැනිකී ග`ගබඩ ඔවුන්ගේ වගා බිම් පවත්වාගෙන යති. තරබාරු බවක් වේ නම් ඒ අතෙහි ඇගිලි ගණනටත් වඩා අඩු පිරිසකි. ඔවුහු දුම්බීම නොකරති.
සයිමේන්වරුන්ගේ රුධිර පරීක්ෂණ සඳහා ගුවනින් හා ජලයෙන් දුෂ්කර ගමන්වාර කිහිපයක්ම යෑමට කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය මයිකල් ගුර්වෙන් ඇතුළු පිරිසට සිදුවී ඇත. එහෙත් තම අධ්‍යයනයට පාත‍්‍රවන පිරිසේ වූ
නිරෝගීකම දුටු පිරිස ඉතා සතුටින් එම කටයුතුවල නියැළි බව පැවසේ.
අවු. 40 හෝ ඊට වැඩි ගෝත‍්‍රිකයන් 705ක් පිරික්සද්දී ඔවුන්ගේ  නිරෝගීකමේ තරම පර්යේෂකයන්ට පැහැදිලිව ඇතැයි පැවැසේ. ගණනය කිරීම් කර ඇත්තේ රුධිරගත කැල්සියම් සාන්ද්‍රණය අනුවය. එහි අගය 100 සිට 400 අතර පරාසයේ වේ නම් ඉන් ඇ`ගවෙන්නේ නහරයක් අවහිරවීමේ යම් අවදානමක් ඇති බවයි. ගෝත‍්‍රිකයන්ගෙන් 85%ක්ම රුධිරයේ කැල්සියම් අගය 0 හෙවත් කිසිදු අවදානමක් නැති පිරිසයි. 89කගේ එම අගය 1-100 අතර වූ අතර ඔවුන් ද එම අවදානම නැත්තවුන්ය. 100 හෝ ඊට මඳක් ඉහළ අගයක් තිබී ඇත්තේ අටදෙනෙකුගේ පමණි. ඒ අනුව ලොව මෙතෙක් වාර්තාවී ඇති නිරෝගීම පිරිස සයිමේන් ජනයා බව මහාචාර්ය ගුර්වෙන් බි‍්‍රතාන්‍ය ගුවන්විදුලියට පවසා තිබුණි.

සයිමේන් ජනයාගේ නිරෝගීබවේ රහස් සොයන පර්යේෂකයන් අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ ආහාර හා කායික ක‍්‍රියාකාරකම් වෙතටයි. ගතානුගතික සයිමේන් කාන්තාවන් දිනකට පියවර 16,000ක් ඇවිදිද්දී පිරිමි පියවර 17,000ක් ඇවිදින බව ගණන් බලා ඇත. මේ අතර හැටවිය ඉක්මවූ සයිමේනුවන්ගේ ඇවිදීමේ සාමාන්‍යය පියවර 15,000ක් බව දැනගැනීමට ලැබීම නම් සිත් ගන්නා සුලූ කරුණකි. මීට ආසන්න ඇවිදීමක නිරත වන්නේ ජපන් කතුන් බවත් අමෙරිකානුවෙකු දිනකට පියවර 5,000කට වඩා නොඇවිදින බවත් පර්යේෂකයෝ සඳහන් කරති.
සයිමේනියානුවන්ගේ ආහාරයෙන් 17%ක්ම වල් ඌරා, මී පවුලේ විශාලතම සාමාජිකයා වන කැපිබරා යන සතුන්ගේ මස්වලින් සමන්විතය. 7%ක් පිරන්හා සහ කැට්ෆිෂ් යන මත්ස්‍යයන්ය. ආහාරයේ ඉතිරි ප‍්‍රමාණය සපිරෙන්නේ ඔවුන්ගේම ගොවිපොළ වලින් ලැබෙන සහල්, ඉරි`ගු, මඤ්ඤොක්කා සහ කෙසෙල් වලිනි. පලතුරු හා ඇට වර්ග ද ආහාරයට ඇතුලත්ය. වැඩි කැලරි ප‍්‍රමාණයක් ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට වලින් වන අතර මේද ප‍්‍රමාණය අඩුය. මේද රහිත මස් වැඩිපුර භාවිතය ඊට හේතු විය හැකිය.
මේ අනාවරණයන්ට අනුව සයිමේනියානු ගෝත‍්‍රිකයන්ගේ මෙන් නිරෝගී හදවතක් ඇති කර ගැනීමට නම් ව්‍යායාමය හා මේද අවම වූ නැවුම් ආහාර රටාවකට හුරුවීම වැදගත් බවත් සැකසූ ආහාරයෙන් ඉවත්වීම අවශ්‍ය බවත් යළිත් අවධාරණය වී ඇති බව කිව යුතුය.

ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.