lakbima.lk

පඬුවස්නුවර නාගොල්ලාගොඩ ගමේ ඊ. ඇම්. ජානක කුමාරසිංහට 2002 ඔක්තෝබර් 10වැනිදා දවස සතුටු දවසක් මෙන්ම හිතට තිගැස්මක් ගෙන දුන් දවසක්ද විය. ඒ ඔහුගේ බිරිඳ අචලානි දිසානායක කුළුඳු‍ලේම එකම දවසේ දූවරුන් දෙදෙනෙකු සහ පුතෙකු මෙලොවට බිහි කිරීම නිසාය.

ව්‍යාපාරිකයෙක් වූ කුමාරසිංහත් බිරිඳ අචලානිත්  මේ දරු තිදෙනා ලොකු මහත් කර ගැනීමේ අභියෝගයට මුහුණ දුන්නේ නොයෙක් දුක් කම්කටොලු බාධක මැද්දේය.

දරු තිදෙනා මුලින්ම පළමුවැනි ශ්‍රේණිය සඳහා ඇතුළත් කළේ පහළ පිහිඹිය කනිෂ්ඨ විද්‍යාලයටයි. තුන්නිවුන් දරුවන් ලොකු මහත් කර ගැනීමේ අසීරු කාර්යයට උර දී සිටි කුමාරසිංහ යුවලට යුවළට ඒ සියලු දුක් කරදර අමතක කර සතුටක් විඳින්නට, අහිංසක ආඩම්බරකාරයන් වෙන්නට මේ දරු තුන්දෙනා දවසක් උදාකර දුන්නෝය. ඒ ඔවුන් පහළ පිහිඹිය    කනිෂ්ඨ විද්‍යාලයෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵලය ආ දිනයයි.

ශිෂ්‍යත්ව විභාගයෙන් මේ තුන් නිවුන් සොහොයුරු ඉහළින්ම සමත් වි සිටියහ. ලොකු දුව දිව්‍යාංජලී දෙව්මිණි ලකුණු 163ක්, දෙවැනි දුව නවාංජලී නෙත්මිණි ලකුණු 174 හා එකම පුතු ප්‍රියංජන පියුමන්ත ලකුණු 171 වශයෙන් ලබාගෙන තිබුණි.

එසේ අධ්‍යාපනයේ පළමුවැනි කඩුල්ල පැනගත් මේ තුන් නිවුන් සොහොයුරු සොහොයුරියන් පහළ පිහිඹිය කනිෂ්ඨයට සමු දී කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූහ.

පසුගිය දෙසැම්බරයේ අ‍පොස ස/පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. එම විභාගයට පෙනී සිටි කුමාරසිංහ යුවළගේ දිව්‍යාංජලී, නවාංජලී හා ප්‍රියංජන දරු තිදෙනාම එම විභාගයෙන් සමත් වී තිබුණේ තමන් පෙනී සිටි විෂයයන් නවයටම ඉහළම සාමාර්ථ එනම් “ඒ” සාමාර්ථ ලබා ගනිමිණි.

“මොනව කියන්නද අපට ඉතින් හරිම සතුටුයි.” සිය නිවුන් දරු තිදෙනාගේ ජයග්‍රහණය ගැන කතා කරන කුමාරසිංහ යුවළ එසේ කියන්නේ හද පිරි සතුටිනි.

පහළ පිහිඹිය  කනිෂ්ඨ  විද්‍යාලයෙන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වූ මේ තුන් නිවුන් දරුවන්ට එකම පන්තියක එකට ඉගැනීමේ වරම ලැබුණේ නැත.

''ඉස්කෝ‍ලේ අපි පන්ති තුනක ඉගෙන ගත්තේ. එතකොට අපි සමහර විෂයයන් ගුරුවරු තුන් දෙනෙකුගෙන් ඉගෙන ගත්තේ. ඉතින් අපි තුන්දෙනා කරන්නේ ගෙදර ඇවිත් පන්ති තුනේ උගන්වපුව එකට එකතු වෙලා කතා කරනවා. එතකොට එක්කෙනෙකුට නොතේරෙන දෙයක් තිබුණොත් අනිත් කෙනාගෙන් අහගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපට ගණිතය, විද්‍යාව වගේ විෂයන්වලදී හරිම පහසුවක් වුණා” තුන් නිවුන් දරුවන්ගෙන් වැඩිමලී දිව්‍යාංජලී තමන්ගේ ජයග්‍රහණයේ පසුපස ඇති රහස් කියන්නී එසේය.

එසේම මේ ජයග්‍රහණය ලබන්නට සිය දෙමාපියන්ගෙන් ලද තල්ලුව ගැනද ඇය කියන්නීය.
''අපි ගෙදර හරි සතුටින් හිටියේ. අම්ම තාත්තා අපි යාළුවෝ වගේ. එයාලගේ හැම දෙයක්ම අපට කියනවා. ඒ වගේම එදා දවසේ වුණ දේවල් අපිත් එයාලට කියනවා''

දිව්‍යාංජලී, නවාංජලි හා ප්‍රියංජන තුන් නිවුන් සොයුරු සොයුරියෝ 2012 දී පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ පසු ඇතුළත් කෙරුණේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයටය. ඒත් කුඩා දරු තිදෙනෙකු කිලෝ මීටර් දාහතක පමණ දුර ගෙවා උදේ හවස කුලියාපිටියට යැවීම එවීම කුමාරසිංහ යුවළට හිතට වද දුන් කරුණක් විය.

“මම වෑන් එකක් ගත්ත. දරු තුන්දෙනාම ඒ වෑන් එකේ කුලියාපිටියට අරගෙන යන ගමන් තවත් ළමයිනුත් ඒ වෑන් එකේම අරන් යන්න පටන් ගත්ත. ඒක පුංචි ආදායමකුත් වුණා” මේ තුන් නිවුන් දරුවන්ගේ පියා කුමාරසිංහ කියන්නේය.

මේ දරු තිදෙනා ‍පොත පතේ වැඩට පමණක් නොව පාස‍ලේ විෂයය බාහිර කටයුතුවලටද සහභාගි වූවෝය. පාස‍ලේ පරිසර නියමු භටයන් ලෙස කටයුතු කළ ඔවුන් පරිසර නියමු හරිත වර්ණ හා රජත වර්ණ පදක්කම් දිනා ඇත්තෝය.
''ඒ විතරක් ‍නෙවෙයි අපි ගෙදරදීම තාත්තාගේ ව්‍යාපාර වැඩවලටත් උදව් කළා. අම්මගේ කුස්සියේ වැඩටත් උදව් කළා. ගෙදර දොර අතුපතු ගෑවේ මිදුල් සුද්ද කළේ වත්තේ පිටියේ වැඩ කළේත් අපි තුන්දෙනා එකතු වෙලා. ගණනක් අමාරු වුණත් අපි තුන්දෙනා එකතුවෙලා සාකච්ඡා කරල ඒ ගැටලුව විසඳා ගත්තා. දෙවැනි දියණි නවාංජලී කියන්නීය.

“අපි ‍පොතපතේ වැඩ විතරක් නෙවේ රෑට පැය බාගයක් විතර රූපවාහිනීයත් බැලුවා. හැබැයි ජංගම දුරකථන නම් පාවිච්චි කළේ නෑ” එසේ කියන්නේ තුන් නිවුන් දරුවන්ගෙන් එකම පුත්‍රයා වන ප්‍රියංජනයි.

මේ තිදෙනාම තමන්ගේ විදුහ‍ලේ විදුහල්පතිවරයා සිහිපත් කරන්නේ ඉමහත් ගුරු ගෞරවයෙනි. ''විදුහල්පති හේරත් සර් නිතර නිතර සාමාන්‍ය පෙළ, උසස් පෙළ පන්තිවලට ඇවිත් අඩුපාඩු හොයල බලනව. ඒ හැර හේම මාලනී ටීචර් ගයාකුමරි ටීචර්, වසන්ති පුෂ්පලතා ටීචර්, ප්‍රියන්ති සමන්ලතා ටීචර් සහ සනත් වික්‍රමනායක සර් වගේ සර්ල, ටීචර්ල අපට හුඟක්ම උදව් කළා.'' තිදෙනා කියති. එසේම සිය දරු තිදෙනාගේ අධ්‍යාපනය සඳහා මූලික අඩිතාලම දැමූ පහළ පිහිඹිය කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුපියවරු මෑණිවරුන් ගැනද ජානක කුමාරසිංහ යුවළ සිහිපත් කරන්නේ හදපිරි බැතියෙනි.

අපි තුන් දෙනා ඉපදුනෙත් එකට. හෝඩියේ පන්තියේ ඉඳල ඉස්කෝලෙ ගියෙත් එකට. පහේ ශිෂ්‍යත්වය පාස් වුණෙත් එකට. තුන්දෙනාම හැමදාම පන්තියේ     පළමුවැනියෝ වුණා. සාමාන්‍ය පෙළත් එකම විදියට එකට සමත් වුණා. අපේ බලා‍පොරොත්තුව උසස් පෙළට ජීව විද්‍යාව කරල එකටම විශ්වවිද්‍යාලෙ ගිහින් එකටම වෛද්‍යවරු තුන්දෙනෙක් වෙන්නයි.''

ඒ ඔවුන් තිදෙනාගේ එකම පැතුමයි.

''අපට ඉතින් කරන්න තියෙන එකම දේ ඒ අයට උදව් කරන එකයි. ඉතිරි ටික ඒ අය කර ගනීවි.” ඒ කුමාරසිංහ යුවළගේ අදහසයි.

සටහන සහ ඡායාරූප: කේ. ඒ. ජයසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.