lakbima.lk

ගෙදරට එන අලුත් අමුත්තා ගැන පුංචි ප්‍රශ්නයක්

ආදරවන්තයන් දෙන්නෙකුගේ ලොකුම හීනය තමයි විවාහ ජීවිතයට ඇතුළත් වෙලා දිවි ගමන පුරාම ආදරෙන්, සෙනෙහසින් කල් ගෙවන එක. ඔය අතරේ තමන්ගේ කැදැල්ලට පුංචි දරු පැටියෙක් ගේන්නත් විවාහ වූ හැමෝම සිහින දකිනවා. මේ හීනය කලක් තිස්සේ දැකපු රොෂාන් පිලපිටියගේත්, රිද්මාගේත්  පුංචි කැදැල්ලට ඔන්න දැන් අලුත් අමුත්තෙක් එකතු වෙන්නයි යන්නේ. ඒ කියන්නේ රොෂාන් ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න යනවා. ඒ නිසා මේ දවස්වල රොෂාන් ඉන්නෙත් ගොඩක් සතුටින්. ඒ සතුට බෙදා හදාගන්න රොෂාන්ට ආදරේ කරන රසික පිරිසක් බොහොම කැමැත්තෙන් ඉන්නා බව අපි දන්නවා. ඒ හින්දම තමයි අපි රොෂාන්වත් රිද්මාවත් මේ කතාබහකට එකතු කර ගත්තේ. හැබැයි මුලින්ම අපි කතා කළේ රොෂාන්ට නමෛයි රිද්මාටයි.

මම කොහොමත් වැඩ ගොඩක් බාරගන්න කෙනෙක් ‍නෙවෙයිනේ. ටෙලි නාට්‍යයක සහ චිත්‍රපටයක වැඩ ඉවර කළා. අලුතින් නම් කිසිම රංගන කටයුත්තක් බාර ගත්තේ නැහැ.

රිද්මා අපිත් එක්ක කතා බහට එකතු වුණේ එහෙම කියමින්. මව් පදවියට සැදී පැහැදී සිටින රිද්මා තුළ වෙනදාටත් වඩා අද සතුට පිරී ඉතිරී ගිහින්. රඟපෑමෙන් දුරස්වෙලා නිවසට වෙලා ගත කරන ජීවිතය ගැනත් අපි ඇගෙන් විමසා සිටියා.

ගෙදරට වෙලා හිටියට වැඩ‍පොළ නම් කෙරෙන්නේ නැති තරම්. උදව්වට ඕනවටත් වැඩියෙන් අය ඉන්නවා. ගෙදර අත් උදව්වට ඉන්න අය වගේම අපි දෙන්නාගේ දෙමව්පියනුත් ඉන්නවා. රොෂානුත් ෂූටිං නැති දවසට කොහේවත් යන්නේ නැහැ ගෙදරටම වෙලා ඉඳගෙන මගේ සියලුම කටයුතු සොයා බලා කරලා දෙනවා.

මේ සුභාරංචිය දැනගත්තු මොහොතේ රොෂාන් දැක්වූ ප්‍රතිචාරය මොනවගේද?

ඒ මොහොත නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මට ශාරීරික වශයෙන් යම් යම් අපහසුතා ඇති වෙද්දී අපි දෙන්නාම තමයි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ගියේ. ඒ වෙලාවේ තමයි අලුත් අමුත්තා ගැන දැන ගත්නේ. ඒ මොහොතේ රොෂාන් වචනයක්වත් කිව්වේ නැහැ. සතුට වැඩි කමට එයාගේ ඇස්වලින් කඳුළු වැටුණා. ඒ විතරක් නමෛයි රොෂාන් ඒ වෙලාවේ වචනයක්වත් කියන්නේ නැතුව මා දිහා බලාගෙන හිටියා.

රොෂාන් - රිද්මා මව්පිය පදවියට සැරසෙන බව මේ වෙද්දී කලා ලොවේ හිතවතුන් හුඟදෙනෙක් දන්නවා. බොහෝ රසික පිරිසටත් එය දැන් රහසක් ‍නෙවෙයි. ඒ නිසා ඒ අයගෙන් ලැබුණු ශුභාශිංසනත් බොහොමයි.

නිළි රැජින මාලනී ෆොන්සේකාගේ පටන් මෑත පරපුරේ අය දක්වා හැමොම අපිට කතා කරලා සුබ පැතුවා. රසික පිරිසත් සුබ පැතුවා. දුර පළාත්වල ඉන්න හිතවතුන් බෝධි පූජා පවා තිබ්බා.

රිද්මා කැමති දුවෙකුටද පුතෙකුටද?

මම කැමති රොෂාන් වගේ පුතෙකුට. රිද්මා එහෙම කියද්දී රොෂානුත් අපේ කතා බහට එකතු වුණා. ඔය අතරේ අපි රිද්මාගෙන් අහපු ප්‍රශ්නයම රොෂාන්ගෙනුත් ඇහුවා.

මම කැමති රිද්මා වගේ දුවෙකුට. ඒ රොෂාන්ගෙන් ලැබුණු උත්තරයයි. පිය පදවි ලැබිම කියන්නේ ජීවිතේට වගකීම් ගොඩක් එකතු වීමක්. දැන් ඉතින් වගකීමකින් ඉන්න ඕනෑ. කියලා මේ වගේ වෙලාවක හුඟ දෙනෙක් කියන්නේ ඒ නිසයි. ඒත් ඒ කාරණය ගැන රොෂාන් දරන්නේ මෙන්න මේ වගේ අදහසක්.

මම හැමදාම වගකීම් සහිතව ජීවත් වුණු කෙනෙක්. ඒ හින්දා මේ වෙලාවේ මේ අලුත් වෙනස ජීවිතයේ ලොකු වෙනසක් කරගන්නේ නැහැ. ඒත් උපදින දරුවට සුදුසු යහපත් වටා පිටාවක් ඇති කරන්න ඕනේ.

ඒ නිසා ඔවුන්ගේ නිවසේ විදුලි බුබුළු, මල් පැළ, ගහ කොළ පවා සිඟිත්තෙකුට හිතකර විදියට වෙනස් කරන්නයි මේ දෙන්නා මේ දවස්වල සූදානම් වෙන්නේ. ඔය අතර ව්‍යාපාරික පැත්තට නැඹුරු වෙන්නත් මේ දෙන්නා බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. හැබැයි කලාවෙන් නම් දුරස් නොවන බව තමයි දෙදෙනාම අපිත් එක්ක කියා සිටියේ.

පසු සටහන 

රොෂාන් පිලපිටියගේ ආදරණීය පියාණන් වූ ආයුර්වේද වෛද්‍ය අභයසිංහ පිලපිටිය මහතා පසුගියදා දැයෙන් සමුගත්තා. ඒ පිළිබඳ කලා ලොවේ හිතවතුන් පෞද්ගලිකව දැනුවත් නොකළේ රටේ පැවැති කලබලකාරී වාතාවරණය නිසා බවයි රොෂාන් අප සමග වැඩිදුරටත් කියා සිටියේ. රොෂාන් සහ රිද්මා මේ පිළිසඳරට එක්වන විටත් රොෂාන්ගේ ආදරණීය පියාණන් සිටියේ ජීවතුන් අතරයි.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.