lakbima.lk

මඟුල් ගෙදරක හමුවෙලා දාපු හිනාව අවසන් වුණේ විවාහයෙන්

දශක තුනකට අධික කාල පරාසයක් පුරා සිය ළයාන්විත හඩින් ගීත ලෝලීන් ආමන්ත්‍රණය කළ ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් වර්තමානය වන විට ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ධුරයද හොබවනවා. එමෙන්ම ඔහු ගුරුහරුකම් ලබා දෙමින් අනාගත සංගීත පරම්පරාවක්ද තනමින් සිටිනවා. අපි මෙවර කතා බහට එක් කර ගත්තේ කීර්තිගේ සංගීත චාරිකාවට මෙන්ම ජීවන චාරිකාවටද අත්වැලක් සපයන සෙවණැල්ල වන් ඔහුගේ ආදරණීය බිරිඳවයි. ඇය චන්දනා පැස්කුවෙල්.

මම

මගේ ගම ගාල්ල. පාසල් ගියෙත් ගාල්ලේ ශ්‍රී හෘද කන්‍යාරාමයටයි. මගේ පවු‍ලේ සාමාජිකයන් හත්දෙනෙක් ඉන්නවා. මම තමයි පවු‍ලේ බාලයා. මගේ මව්පියන් මේ වෙද්දී ජීවතුන් අතර නැහැ. පාසල් අධ්‍යාපනය නිමා කරලා මම කාලයක් එංගලන්තයේ ජීවත් වුණා. ඊට පස්සේ නැවත ලංකාවට ආවාම තමයි කීර්තිව මට මුණ ගැහුණේ.

 හමුවීම

අපි හමු වුණේ විවාහ මංගල්‍යයකදී. එදා කීර්ති ඒකට ඇවිල්ලා තිබුණේ ෆෝචූන් සංගීත කණ්ඩායම එක්ක ගිටාර් වාදනය කරන්නයි. එදා එයා මා දිහාම බල බලා හිනා වේවි ගිටාර් එක ප්‍ලේ කරනවා මම දැක්කා. හිනාව කොච්චරද කියනවා නම් එයා කටවහන් ඉන්න වෙලාවක් මම දැක්කේම නෑ. ඊට පස්සේ මංගල උත්සවයේ කටයුතු ඉවර වෙලා මම ගෙදර ගියාට පස්සේ මට ඇමැතුමක් ආවා. ඒ කතා කළේ කීර්ති. එදා කතාබහ කරලා තමයි අපි දෙන්නා හරියටම දැන හඳුනාගත්තේ.

 විවාහය

අපි විවාහ වුණේ 1990 අවුරුද්දේ. යාළුවෙන්න කලින් ඇත්තටම කීර්ති ලංකාවේ ජනප්‍රිය ගායකයෙන් කියලා මම දැනගෙන හිටියේ නෑ. අපි දැන හඳුනාගත්තාට පස්සේ තමයි මම කීර්තිගේ සින්දු අහන්නත් පටන් ගත්තේ. විවාහ වුණාට පස්සේ මට දැනුණා ඔහු හොඳ කලාකරුවෙක් වගේම නිවුණු ගතිගුණ තිබෙන මනුෂ්‍යයෙක් කියලා. විවිධ බාධක මැද අපි විවාහ වුණත් අවුරුදු 29ක් තිස්සේ බොහෝම සතුටින් අපි ජීවත් වෙනවා.

ගෙදර වැඩවලට ලබාදෙන සහයෝගය

ගෙදර වැඩ නම් කිසිම දෙයක් කීර්ති කරන්නේ නෑ. ඔහු ඒ තරමටම කාර්යබහුල චරිතයක්. කලා කටයුතු සහ ගායක ගායිකා සංගමයේ කටයුතුවලට වැඩතමයි ගෙදර ආවමත් නිතරවෙලා ඉන්නේ. ගෙදරත් වැඩිපුරම ඉන්නේ දුරකථන ඇමැතුම්වලට පිළිතුරු දෙමින්. ඒ නිසා ගෙදර වැඩ හැමදෙයක්ම කෙරෙන්නේ මගේ අතින්. හැබැයි කීර්ති ගෙදර වැඩ ගැන හැමදේම හොයලා බලනවා.

එයා ගැන මම විතරක් දන්නා රහස

කීර්ති දවස පුරාම ගොඩක් කාර්ය බහුල චරිතයක් නිසා ගෙදර ආවම රිලැක්ස් වෙන්නේ චිත්‍රපට බලලයි. නිදාගන්න කලින් අනිවාර්යයෙන් චිත්‍රපට දෙකක්වත් බලනවා. සමහර දවස්වලට චිත්‍රපට බල බලා ඉඳලා පුටුවේම නිදි. කොච්චර මහන්සි වුණත්, නිදිමත වුණත් චිත්‍රපට නොබලා නිදාගන්නේ නෑ. එයා වැඩිපුර නරඹන්න කැමැති දෙමළ චිත්‍රපට.

හෙට දවස

අපේ හෙට දවසේ බලා‍පොරොත්තුව දරුවන්ට හොඳට උගන්වලා යහපත් පුරවැසියන් කරන එකයි. අපේ ලොකු දුව චාරුණි පැස්කුවල්ට වයස අවුරුදු විසිඑකයි. ඇය ලන්ඩන් විභාගය කරලා දැන් අන්තිම අවුරුද්දේ ඉන්නේ. ‍පොඩි දුව නටාලියා පැස්කුවල්. එයාට දහඅටයි. ඇයත් ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. අපේ දරුවන් හොඳින් ඉන්නවා දකින එක තමයි කීර්තිගෙත් මගේත් ලොකුම බලා‍පොරොත්තුව.

තිනෙති නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.