lakbima.lk

දහනායකත් රොනිත් පරද්දපු වසන්තගෙ පැනිල්ල

මීට දශක කීපයකට ඉහතදී පත්තරවල පළ වූ අපූරු සිරස්තලයක් දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රට්ටුන්ට තවමත් මතක ඇති බවට සැක නැත රොනී පනී යන එම පත්තර සිරස්තලය පළ කෙරුණේ දෙවිනුවර මන්ත්‍රී රොනී ද මැල් ශ්‍රී ලනිපයෙන් එජාපයටත් එජාපයෙන් ශ්‍රී ලනිපයටත් පක්ෂ මාරු කළ බැවිනි. රොනීගේ නිමක් නැති මේ පැනිල්ල නිසා රොනී පනී යන සිරස්තලයට පත්තර ප්‍රධාන උප කර්තෘහු තවත් වචනයක් එක් කළෝය. ඒ රොනී යළිත් පනී යනුවෙනි.
රොනී ද මැල් සේම පක්ෂ මාරුවට තවත් ප්‍රසිද්ධ මන්ත්‍රීවරයෙකු සිටියේ නම් ඒ ගාල්ලේ විජයානන්ද දහනායකය. එක්දහස් නවසිය හතළිස් හතරේ බිබි‍ලේ ආසනයට ස්වාධීනව තරග කර ජය ගත් ඔහු අසූව දශකයේ දේශපාලනයෙන් සමු ගන්නා විට පක්ෂ දුසිමකින් පමණ ඡන්දය ඉල්ලා තිබුණේය. මේ නිසා ඔහුට වවුලා යනුවෙන් අන්වර්ථ නාමයක්ද පට බැඳුණේය.
කෙසේ නමුදු රොනී ද මැල් හා විජයානන්ද දහනායකගේ පැනිලි මොනවාදැයි අපට සිතුණේ වසන්ත සේනානායකගේ පක්ෂ මාරුව ගැන කල්පනා කරන විටය. හැරත් රොනී ද මැල් මෙන්ම විජයානන්ද දහනායක පක්ෂ මාරු කළේ වසර කීපයකට වරකි. හිටපු කීර්තිමත් සිවිල් සේවකයකු වූ රොනී ද මැල් ලංකාවේ වැඩිම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැතිවරයා ලෙස වාර්තාවක් තැබූ දේශපාලනඥයකි. හිටපු අගමැතිවරයකුද වන විජයානන්ද දහනායක තමාගේ නඩුව තමන්ම කතා කර බිබි‍ලේ ඡන්ද පෙත්සම ජය ගෙන පාර්ලිමේන්තුවට පැමිණ වර්තාවක් තැබූ අයෙකි. එහෙත් එම වාර්තා දැන් ඇත්තේ බිබි‍ලේ කැ‍ලේය. අඹේපුස්සේ බෝත‍ලේ වලව්වට ‍ලේ උරුමකම් කියන වසන්ත සේනානායක වාර්තාව තැබුවේ දවස් කීපයක් ඇතුළත වැඩිම වාර ගණනක් පක්ෂ මාරු කළ මන්ත්‍රීවරයා ලෙසය.

කවුද මේ වසන්ත සේනානායක. සමහර මාධ්‍යවල ඔහු හඳුන්වනු ලැබුවේ ඩී.ඇස්. ගේ මුනුබුරා ලෙසය. නමුත් ඒ නෑකම වැරැදිය. හරි නෑකම අනුව නම් ඔහු ඩී.ඇස්. ගේ මී මුනුපුරාය. වසන්තගේ මුත්තා ඩී.ඇස්. ය.
ලංකාවේ මුල්ම අගමැතිවරයා වූ ඩී.ඇස්. සේනානායකට දරුවන් දෙදෙනෙකි. ඒ රොබට් හා ඩඩ්ලිය. ඩඩ්ලි තනිකඩයෙකි. රොබට් සේනානායකට දරුවන් පස්දෙනෙකි. දේවින්ද, රංජනී, රංජිත්, රුක්මන් හා යස්මින්ය. මේ පිරිස අතරින් පවු‍ලේ එකම ගැහැනු දරුවා වූ රංජනී සේනානායක විවාහ වූයේ ‍ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනගේ පුතෙකු වන රංජිත් විජයවර්ධන සමගය. රුවන් විජයවර්ධන මන්ත්‍රීවරයා එම යුවළගේ දරුවෙකි. ඒ අනුව රුවන්, නෑකමට වසන්ත සේනානායකගේ මස්සිනාය.


වසන්තගේ පියා වන්නේ රොබට් සේනානායකගේ තෙවැනි දරුවා වූ රංජිත් සේනානායකයි. ඔහු විවාහ වූයේ සිය ‍ලේ ඥාතිවරියක වන සුවිනීතා සේනානායක සමගය. ඇය. ඩී.ඇස්. ගේ බාල සොයුරු ඩී.සී. සේනානායකගේ පුතා වූ රිචඩ් ධර්මසේන සේනානායකගේ දියණිය වූවාය. සුවිනීතා, රංජිත් යුවළගේ එකම දරුවා වන වසන්ත
නරේෂ් පරාක්‍රම සේනානායක උපන්නේ එක්දහස් නවසිය හැත්තෑ තුනේ ජුනි විසිඅටවැනිදාය. ඔහු කොල්ලුපිටිය ශාන්ත තෝමස් විදුහ‍ලේ ආදි සිසුවෙකි. බ්‍රිතාන්‍ය සරසවියේ නීති උපාධිධාරියෙකි. පෞද්ගලික සමාගම් කීපයක නීති උපදේශකවරයෙකු ලෙස රස්සාව කළ වසන්ත සේනානායක. දේශපාලනය පටන්ගත්තේ එජාප තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමයෙනි. ඒ දෙදහස් දෙකේදීය.

දෙවසරක් ගතවනවිට ඔහු මුත්තාගේ පක්ෂය අතහැර ශ්‍රීලනිපයට ගියේය. ඒ,  එකල ජනපති මහින්ද රාජපක්ෂගේ ඇරයුමකිනි. දෙදහස් දහයේ මහ මැතිවරණයේදී ඔහු බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්විය. ඉක්බිතිව ඔහු දෙදහස් පහළොවේදී මහින්ද අතහැර මෛත්‍රීට සහය දෙන්නට ආවේය. දෙදහස් පහළොවේ මහ මැතිවරණයට ඔහු ඉල්ලුවේ ‍පොළොන්නරුව දිස්ත්‍රික් එජාප නායකයා ලෙසය. ඉන් ජයගෙන රාජ්‍ය ඇමැතිවරයකු වු වසන්ත සේනානායක එකල සිටම රනිල් වික්‍රමසිංහ සමග කොක්කක්ද දමා ගත්තේය. (නෑකමේ හැටියට රනිලුත් ඔහුගේ ඥාති සොයුරෙකි.)   තමා සේනානායකවරයකු වීම නිසා බිය වී සිටින රනිල් තමාට නොසලකන බව ඔහු දිගින් දිගටම චෝදනා කළේය.
මෛත්‍රී, රනිල් නෙරපා මහින්ද අගමැති කළ විගස වසන්ත කීවේ තමා මහින්දට සහය දෙන බවය. එම ප්‍රකාශය කරන විට ඔහු සිටියේ නොරටය. නමුත් මෙරටට පැමිණි ඔහු රනිල්ට එකතු වන්නට අරලියගහ මන්දිරයට ගියේය. ඔක්තෝබර් විසිනවවැනිදා මහින්දගේ අලුත් කැබිනට්ටුව දිව්රුම්දෙන වේලාවේ වසන්ත ජනපති ‍ලේකම් කාර්යාලයෙන් මතු වූයේ සංචාරක හා වනජීවී ඇමැතිවරයා ලෙසය. ඉක්බිතිව ඔහු සිය අමාත්‍යාංශයට ගොස් වැඩ භාරගත්තේය. ඒ අතරේ පාර්ලිමේන්තුව යළි වරක් රැස් විය.


එම රැස්වීමේදී මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට බහුතරය පෙන්වීමට නොහැකි විය. ඊළඟ දවසේ එනම් නොවැම්බර් එකළොස් වැනිදා  වසන්ත සේනානායක පාර්ලිමේන්තු ලොබියේදී, සජිත් ප්‍රේමදාස හා රවි කරුණානායක ළංකරගෙන ලිපියක් ලීවේය. එම ලිපිය කුමක්දැයි වසන්තගෙන් විමසූ විට ඔහු කීවේ තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී එජාපයට සහය දීමට තීරණය කළ බවය. බහුතරය නැති ආණ්ඩුවක සිටීමෙන් පළක් නැති බව ඔහු කීවේය. මේ සිද්ධිය වී සතියකට පසු එනම් නොවැම්බර් විසිඑක්වැනිදා කැබිනට් මණ්ඩලය රැස් විය.

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව කියූ වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට ආවේ එජාපය පමණක් නොව ආණ්ඩුවද පුදුම කරවමිනි. ඇත්තට ඔහු සහය දෙන්නේ කාටදැයි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැන නැග්ගේය. එම ප්‍රශ්නයට කවදාවත් ස්ථිර උත්තර නැති බව පෙන්වමින් වසන්ත සේනානායක යළිත් වරක් රනිල් ළඟට ආවේය. ඒ ඉකුත් විසිහය වැනිදාය. එදින රාත්‍රියේ අරලියගහ මන්දිරයට පැමිණි එජාප මන්ත්‍රීන්ගේ සාකච්ඡාවකට සහභාගි වූ ඔහු කීවේ එජාපයේ සිට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට එජාපයට පැමිණීම නිසා කිසිවෙකුගේ හිත රිදවීමක් වූවා නම් ඊට සමාව ඉල්ලන බවය. මෛත්‍රී, මහින්ද, රනිල්, හැරුණු විට ආණ්ඩු මාරු චිත්‍රපටයේ තමාද ප්‍රධාන චරිතයක් වූ බව ඔහු කීවේය.


තමා පක්ෂය මාරු කළේ ‍පොළොන්නරුවේ සිය ඡන්දදායකයන්ට වැඩ කිරීමට මුත් පාර්ලිමේන්තුවේ දැනට උද්ගත වී ඇති තත්ත්වය අනුව  ප්‍රජාතන්ත්‍රවදය රැකීමට අවශ්‍ය වූ බැවින් තමා එජාපය ශක්තිමත් කිරීමට පක්ෂය සමග සිටින බව ඔහු කීවේය.


කෙසේ නමුදු මේ ලිපිය ලියන ඉකුත් සිකුරාදා (30) සවස් වනතුරු වසන්ත සේනානායක සිටියේ එජාපයේය. එනමුත් පත්තරය මුද්‍රණය කරන අතරතුරේදී ඔහු පක්ෂය මාරු කරතැයි අපට සහතිකයක් නම් දිය නොහැකිය. එසේ වූවොත් මේ ලිපියේ අවසානයට තවත් කොටසක් එකතු කර ගන්නට සිද්ධ වනු ඇත්තේ පාඨකයන්ටය. ඒ කතා කෙසේ වුවත් වසන්ත සේනානායක, හැත්තෑ එක්වසරක ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තමාගේ නම ඉදිරියෙන් දැන් වාර්තාවක් නම් ලියාගෙන ඇත්තේය. ඒ මතෛක් අඩුම කාලයක් තුළ වැඩිම වාර ගණනක් පක්ෂ මාරු කළ මන්ත්‍රීවරයා ලෙසය. ඔහුගේ පක්ෂ මාරුව ගැන ඔහුට හොඳම චරිත සහතිකයක් දී තිබුණේ මුහුණු ‍පොතෙ සටහනකිනි. " මුත්තා (ඩී.ඇස් සේනානායක) ජාතියේ පියා මීමුනුබුරා ජාතියේ පැනපියා"

චිත්‍රය : අංජන ඉන්ද්‍රජිත්
මිහිරි ෆොන්සේකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.