lakbima.lk

ඒ විදියේ සංයමයක් මට තවම නැහැ

ස්වාමීන් වහන්සේ නමක් විදියට සැරසුණු ගිවන්ත අර්ථසාද්ගේ ඡායාරූප පෙළක් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා සැරිසැරුවා. “ගිවන්ත” මහණ වෙලාවත්ද? කියලා සමහරු අහද්දී “නෑ....... නෑ....... ඒ මම රඟපාන වේදිකා නාට්‍යයක පින්තූර” කියලා ගිවන්ත මුහුණු ‍පොත හරහාම පිළිතුරු ලබාදී තිබුණා. මේ දවස්වල ගිවන්ත ගැන පැතිර යන ආරංචිය තමයි ඔහු රඟපෑමෙන් ඈත් වෙන්න තීරණය කරලා කියන එක. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත. ඒ ගැන ගිවන්ත අපට කිව්වේ මේ විදියටයි.

ඔය වගේ කතාවක් පැතුරුණු හේතුව මම දන්නවා. මතෛක් කල් මම ක්ෂේත්‍රය තුළ රැඳී සිටියේ නළුවෙක් විදියටයි. ඒත් මම පසුගිය දවසක ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු විදියට මුල්ම පියවර තැබුවා. මම අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍ය තමයි “කාසි“ මේ ටෙලි නාට්‍ය හරි අපූරු එකක්. ආදරය, පවුල් ප්‍රශ්න, දේශපාලනය මේ හැම දෙයක් එක්කම මිනිසුන්ට මුහුණ දෙන්න වෙන අභියෝග මේ ටෙලි නාට්‍ය හරහා දිග හැරෙනවා. ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා තමයි මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. මීට කලින් ඔහු කවරදාකවත් නළුවෙක් විදියට කරළියට ඇවිත් නැහැ. මේ වගේ අභියෝගයක් මම භාරගත් නිසා වෙන්න ඇති මම නළුවෙකුගේ භූමිකාවෙන් ඈත් වුණා කියලා සමහරු හිතන්න ඇත්තේ. නමුත් ඇත්ත කතාව තමයි මම කවරදාකවත් නළු කමින් ඈත් වෙන්නේ නෑ කියන එක.

කාසි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන විරාජ් පෙරේරාව තෝරාගත්තේ ඇයි?

මට වෙනසක් කරන්න ඕනේ කියලා හිතුණා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය විදිහට “කාසි“ හරහා ඉස්මතු වෙන්නේ ගායකයකුගේ චරිතයක්. ඉතින්් විරාජ්ගේ ගීත රූප රචනා දිහා බැලුවම ඔහුට හොඳට රඟපාන්නත් පුළුවන් ඇති කියලත් මට හිතුණා. ගායනයට වගේම රංගනයටත් විරාජ් දක්ෂ නිසා මෙහි ප්‍රධාන චරිතෙට විරාජ්ව තෝරා ගත්තා.

ඔබ ස්වාමින් වහන්සේ නමක් විදියට පෙනී සිටි චරිතය ගැනත් අපි රටට කියමු?

“වෙල්ලස්සේ වෙඩි හඬ” කියන වේදිකා නාට්‍යයේ මම රඟපාන්නේ වාරිය‍පොළ සුමංගල හිමියන්ගේ චරිතයයි. ඒ වෙනුවෙන් තමයි මම කහ සිවුර ‍පොරවාගෙන හිස මුඩු කළේ.

ඔය විදියට කවදා හරි දවසක ඇත්තටම කහ සිවුරක් දරාගෙන ජීවිතේ අනියත ගැන හිතන්නට ගිවන්තට අදහසක් පහළ වෙන එකක් නැද්ද?

පුදුම ප්‍රශ්නයක්නේ ඇහුවේ. (සිනා) ඇත්තටම ඒ සංයමය තවම මට නෑ. භික්ෂුවක් කියන්නේ හිස මුඩු කර සිවුරක් දරාගත් කෙනෙක් පමණක් නොවෙයි. සියලු ක්‍ලේෂයන්ගෙන් මිදුණු රහසින්වත් පව් නොකරන කෙනෙක්. ගිහි සැප වගේම සියලු බැඳීම් අතහැරලා හැම දෙයක්ම ඊට කැප කරන්න ඕනේ. මහණ දම් පුරන්න ඕනේ. ඇත්තටම මට නම් එහෙම දෙයක් හිතිලා නැහැ. මොකද මට තවම එවැනි දෙයක් කරන්න බැරි හින්දා.

මොනවද ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු?

මගේ බිරිඳ උපේක්ෂියි පුතා මෙතුප තරුත්  බණ්ඩාර. අපේ ගෙදර අය කලාව ගැන එතරම් දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මට එයාලගෙන් ලොකු සහයෝගයක් නැහැ. ඒත් මට එයාලගෙන් කිසිම බාධාවකුත් නැහැ.

ඔබේ ඉදිරි කලා කටයුතු පෙළ ගැහෙන්නේ මොන විදිහටද?

මම රඟපාන “සඳ එළිය” ටෙලි නාට්‍යය මේ දවස්වල සියත ටීවී නාලිකාවේ විකාශය වෙනවා. ඒ වගේම “ඉන්ද්‍රචාප” ඇතුළු තවත් ටෙලි නාට්‍ය හතරක් ඉදිරියේදී විකාශ වීමට තියෙනවා.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.