lakbima.lk

දෙවියෝ අපිට හැම දෙයක්ම දීලා තියෙනවා ඒත් එක දෙයක් දීලා නැහැ

ජනප්‍රිය චරිත වලට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බැරිද?''  සමහරු අපෙනුත් ඔය ප්‍රශ්නය අහන්නේ අපි හැම වෙලාවෙම ජනප්‍රිය චරිතත් එක්ක ගනු දෙනු කරන පිරිසක් හින්දා. පහුගිය කා‍ලේ බැලුම් පුපුරලා යනවා වගේ ජනප්‍රිය විවාහයන් එක පිට එක පුපුරලා ගිය හින්දා මිනිසුන් මේ විදියට හිතනවා වෙන්නටත් බැරි නැහැ. ඒ වුණත් සාර්ථක විවාහ ජීවිත ගෙවන අය ගැන ඕනෑ තරම් උදාහරණ අපේ කලා ලෝකේ තියෙන බව අමතක කරන්න බැහැ. කාලයක් පෙම්වතුන් විදියට ඇසුරු කරලා විවාහ වෙලා පසුගියදා තමන්ගේ දස වැනි විවාහ සංවත්සරය සැමරූ ඒ විදියේ කලාකරුවන් යුවළක් ගැන තොරතුරු ටිකක් ඔබට රැගෙන එන්නයි අපි අද කල්පනා කළේ. ඒ තමයි සහන් විජේසිංහ සහ ගයනා සුදර්ශනී. සහනුයි ගයනයි ''රිද්ම'' කතා බහකට එකතු වුණේ අවුරුදු ගණනකට පස්සේ. ඒත් ඒ අය අපිත් එක්ක කතා බහට එකතු වුණේ හුරුපුරුදු ලෙංගතුකමින්මයි. මුලින්ම අපි විමසුවේ පසුගියදා පැවැත්වු දසවැනි විවාහ සංවත්සරයේ තොරතුරුයි.

අපි විවාහ වුණේ 2008 නොවැම්බර් 05 වැනිදා. පහුගිය නොවැම්බර් 5 වැනිදා තමයි අපේ විවාහයේ දහ වැනි සංවත්සරය යෙදිලා තිබුණේ. අපේ හැම උත්සවයකටම කලා ලෝකයේ අයට ආරාධනා කරන හින්දම මේ උත්සවයත් ඒ අයගේ සහභාගිත්වය ඇතිව හරිම ලස්සනට සැමරුවා.''

ගයනාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ 4 වැනිදා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ යාළුවෝ රත්මලාන එයාර්‍පෝට් ‍ලේක් එකේ උත්සවයක් සංවිධානය කරලා. 5 වැනිදා සිනමන් එකේ තමයි මේ දෙන්නගේ විවාහ සංවත්සරය පවත්වලා තියෙන්නේ. 2008දී විවාහ වුණාට ගයනයි සහනුයි ආදරයෙන් බැඳුනේ 2001දී. ඒ ආදර කතාවත් මේ මොහොතේ දෙන්නා සිහිපත් කළා.

මම නිෂ්පාදනය කළ සරදම ටෙලි නාට්‍යයේ ගයනා රඟපෑවා. ඒකට ආරාධනා කරන්න ගියාම තමයි අපි මුණ ගැහුණේ. දෙන්නම කලාවේ ඉන්න හින්දා කලින් ඉඳන්ම දෙන්නව දන්නවා. ඒත් අඳුනාගත්තේ ඔය කියන දවසේ. ඊට පස්සේ අපි දුරකථනයෙන් කතා කළා. දවස ගානේ කතා කළා. ඒ කතා බහ තමයි ආදරයකට පෙරළුණේ.

සහන් එහෙම කිව්වා.

සරදම ටෙලි නාට්‍යයට ආරාධනා කරන්න ගියදාට සති දෙකකට පස්සේ තමයි එහි මුහුරත් උළෙල තිබුණේ. මුහුරත් උළෙල දවස වන විට අපි පෙම්වතුන් වෙලා අවසන්. සහන් මුලින්ම එයාගේ ආදරය ප්‍රකාශ කළේ දුරකථනයෙන්.''

ගයනා හිනා වෙවී කිව්වා. සති  දෙකක ආදර කතාවක් වසර හතක ප්‍රේම කතාවක් දක්වා දුර ගිය හැටි, ඒ කතාව දස වසරක විවාහයක් දක්වා ගිය හැටි ඇත්තටම සුන්දර කතාවක්. ඒ සුන්දර ගමන් මග සහනුයි ගයනයි ටිකෙන් ටික සිහිපත් කරන්නට පටන් ගත්තා.

අපි දෙන්නා මුණ ගැහෙනකොට දෙන්නම ආදරය හින්දා නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දීලා තිබුණා. ඒ හින්දම සැබෑ ආදරයක අවශ්‍යතාවය වගේම ජීවිතාවබෝධයක් අපිට තිබුණා. බොළඳ ප්‍රේමයෙන් එහා ගියපු බැඳීමකින් තමයි අපි එකතු වුණේ ඒ හින්දයි මේ විදියේ සාර්ථක ගමනක් අපට එන්න පුළුවන් වුණේ.....

මේ දෙන්නා ජීවිතේ වැරදුණු තැන් හදාගෙන සාර්ථක ගමනකට යොමු වූ දෙදෙනකු හින්දම පහුගිය කාලයේ අපේ කලා ලෝකයේ බොහෝ අයගේ විවාහ ජීවිත දෙදරා යාම් ගැනත් අපි කතා කළා.

සියයට සියයක් ගැළපෙන, කවදාවත් කිසිම ප්‍රශ්නයක් ඇති නොවුණු අඹු සැමි යුවළක් ලෝකයේ කොහෙත්ම නැතුව ඇති. විවාහ ජීවිතයේදී ගොඩාක් ප්‍රශ්න එනවා. ඒවාට ඉවසීමෙන් මුහුණ දෙන්න ඕනේ. දික්කසාදය කියන්නේ විසඳුමක් නැතිම අවස්ථාවක ගන්නා විසඳුමයි. ඒත් ගොඩාක් අය  පුංචි ප්‍රශ්නයක් වූ හැටියේම ගන්න විසඳුම තමයි දික්කසාදය. ඒකට හේතුව ඉවසීමක් නැතිකමයි.

සහන් - ගයනා දෙන්නා සතුට උතුරන ආදරණීය කැදැල්ලක වසන යුවළක්. ඒත් ඒ කැදැල්‍ලේ කිරි සිනා හඬක් නැහැ. ඒ ගැන විමසුවාම ගයනා කතා කළේ හරිම සංවේදී විදියටයි.

දෙවියෝ මට හැමදේම දීලා තියෙනවා. මට ගොඩාක් හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා. ඒත් එක දෙයක් දීලා නැහැ. කමක් නෑ. හැමෝටම හැමදේම ලැබෙන්නේ නැහැනේ. කවදා හරි අපේ කැදැල්ලටත් කිරි සිනා හඩක් නැගුණොත් සතුටින් භාරගන්නවා. එහෙම නැති වුණත් අපි දෙන්නාගේ ආදරය හැමදාම මේ විදියට තියෙයි....

මිණි ගං දෑල ටෙලි නාට්‍යයෙන් මෑතක අපේ ආලින්දයට ආ ගයනා රඟපෑ තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී ඔබට දැක ගන්න පුළුවන්. සහන් රංගනයටත් වඩා උනන්දුවක් දක්වන්නේ නිෂ්පාදනයටයි. සහන් නිෂ්පාදනය කළ ගයනා රඟපෑ දුර්ගතරණය ඉදිරියේදී පුංචි තිරය හරහා  විකාශය වීමට නියමිතයි.

මගේ රැකියාව නිෂ්පාදනයයි. ඒ හැරුණාම මට සිල්ලර කඩයක්වත් නැහැ. ඒත් ඉතින් ටෙලි නාට්‍යයක් කරලා ඒක විකාශය වුණාට පස්සේ තමයි තවත් එකක් කරන්න ඕනෑ. අලුත් වැඩක් පටන් ගන්න දුර්ග තරණය විකාශය වෙනකල් බලාගෙන ඉන්නවා.

කතා බහ නිම කරන්න කලින් සහන් අපට එහෙම කිව්වා.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.