lakbima.lk

ජීවිතයේ එකම එක දවසකදී මගේ ඉවසීමේ සීමාව නැති වුණා

දරුවෙක් ගැන අම්මා තරම් හොඳින් දන්නා කෙනෙක් තවත් නැහැ. අපේ අම්මා නම් කියන්නේ අපේ පවු‍ලේ අය අතරින් මම තරම් ඉවසන කෙනෙක් තවත් නැහැ කියලයි. ඇත්තටම මම පුදුමාකාර ඉවසීමක් තිබුණ කෙනෙක්. ඒත් අද වෙද්දී නම් ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. සමාජයත් එක්ක ගණුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ වෙන්න ඇති මම ඒ විදියට වෙනස් වුණේ.  
පුංචි කා‍ලේ මම ඉගෙනීමටත් ගොඩක් දක්ෂයි. ‍පොත පත කියවන්න හරිම කැමතියි. මම මෙහෙම කිව්වාම සමහරු විශ්වාස නොකරන්නත් ඉඩ තියෙනවා. මම ‘මඩොල් දූව, ‘ගම් පෙරළිය’ ‘ධම්මපදය’ වගේ ‍පොත් කියවලා තියෙන්නේ හතර වසරෙදී. තැන්පත් ගතිය වගේම ගාථා නිවැරදිව උච්චාරණය කිරීමේ හැකියාවත් ඒ දවස්වල මා තුළ තිබුණා. ඒ හින්දම මම අපේ පන්ස‍ලේ පෙරහරරේ දේවදූතයාටත් හිටියා. දේවදූතයට ඇඳලා ඇතා පිට නැගලා මම කළුතර ප්‍රදේශය පුරා පෙරහරේ ගිහින් තියෙනවා. ඒ අවස්ථාවල මම ගාථා පාඨ කියද්දී නායක ස්වාමින් වහන්සේ කිව්වා “මේ හඬ මහණ කමට උචිත හඬක්” කියලා.

ඔන්න ඔය විදියේ පසුබිමක හැදී වැඩෙමින් මම 4 වසරේ ඉගෙන ගන්නා කා‍ලේ අපේ අම්මාට ගල්ගමුව විද්‍යාලයට සේවයට යන්න වුණා. ඒක අවුරුදු 6ක දුෂ්කර සේවයක්. ඒ වසර හය මගේ ජීවිතයෙත් දුෂ්කර කාලයක් වුණා.
මොකද අම්මා ගෙදර ඉන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස්වල විතරයි. අනික් දවස්වල තාත්තයි නංගියි මමයි තමයි ගෙදර ඉන්නේ. නංගි මට වඩා අවුරුදු දෙකක් බාලයි. නංගි ‍පොඩි හින්දා ටිකක් දඟයි. මේ නිසා හදිසියේ අපි දෙන්නා අතර ගැටුමක් ඇති වුණත් මම එයාට දිනුම දීලා පරාජය පිළිගන්නවා.මම ඉවසන බොහොම තැන්පත් ළමයෙක් කියලා හැමෝම දන්න හින්දම හිතට දුකක් දැනුනත් මම ඒක කාටවත්ම අඟවන්න ගියේ නැහැ. තාත්තා නංගිවයි මාවයි ආදරෙන් බලා ගත්තත් අම්මා නැති පාළුව නම් මට තදින්ම දැනුනා. මම ඒක කාටවත්ම අඟවන්න ගියේ නැහැ. ඒත් ඉතින් ඒ වෙද්දී මම හතර වසරේ ඉන්න පුංචි දරුවෙක්නේ. ඒ නිසා මටත් මගේ පාළුව දුක හිතේ තදකරගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවානේ.
එක දවසක් ඒ සීමාව බිඳ දමපු සිදුවීමකට මට මුහුණ දෙන්න සිදුවුණා.
එදා මම සුපුරුදු විදියට ඉස්කෝලෙ ගිහින් පන්තියේ වාඩි වෙලා ඉන්නවා. පන්තියේ ගුරුතුමිය පාඩම උගන්වනවා. ඔය වෙලාවේ පිට්ටනිය කෙළවරින් අපේ අම්මා එනවා මම දැක්කා.

මට උන්හිටි තැන් අමතක වුණා.  මම ගුරුතුමියට කියන්නෙත් නැතුව එවේ‍ලේම නැගිටලා අම්මා දිහාවට දුවලා ගියා.හැබැයි ගිහින් බලද්දී ඒ අම්මා නමෛයි. ඒ අපේ ඉස්කෝලෙ උගන්වපු ගුරුවරියක්. ඇය හැඩරුවින් අපේ අම්මාට ගොඩාක් සමාන කෙනෙක්. ඒ ගුරුතුමිය මගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන මාත් එක්ක බොහොම ආදරෙන් කතා බහ කරලා මාව ආයෙමත් පන්තියට ගිහින් ඇරලුවා.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.