lakbima.lk

නික්ම ගිය කෙවිලිය ගැන බොහෝ දෙනෙක් නොදැන සිටි රහස්

ප‍්‍රථම ශ‍්‍රී ලාංකේය සංගීත මහාචාර්යවරිය පසුගිය 15 වැනි සඳුදා දිවියෙන් සමුගෙන ගියා. එ් වසර 79ක කාලයක් මෙලොව ගත කළ ජීවන ගමනට සමුදෙමින්. එ නමුත් සංගීතයේ රිද්මය හඳුනන බොහෝ දෙනෙකුගේ හදවත තුළ නින්නාද දෙන්නේ ඇයගේ හඬින් ගැයුණු ගැමි ගී ආරට සම වූ මනෝරම්‍ය වූ ගීත රිද්මයයි. අද ඒ රිද්මය ඈත අම්බරයේ සැඟව ගිහින්. නමුත් ඒ මතකය අප සිත් තුළින් බැහැරව ගිහින් නැහැ. නොසිතූ මොහොතක ජීවන මඬලින් සමුගෙන ගිය අමරාවන්ගේ නොමැකෙන මතකය පිළිබඳව මේ වදන් අමුණන්නේ ඇයගේ එකම දියණිය රූපශිකා රණතුංගයි.

පසුගිය දවසක අපේ සිත් නොමැකෙන වේදනාවකින් පුරවා අපේ අම්මා යන්න ගියා. ඒක හීනයක් වගේ. අපි අම්මව රෝහල් ගත කළේ මහ ලොකු ලෙඩක් තිබිලා නෙවෙයි. ටික දවසක ඉඳලා අම්මට වරින් වර සුළු පපුවේ වේදනාවක් එන්න ගත්තා. ඒ ගැන පරීක්ෂණයක් කරන්නයි අම්මව රෝහල් ගත කළේ.

අම්මට කාලයක ඉඳලා ලේවල සීනි තිබුණා. ඒ හැර වෙන ලෙඩක් තිබුණේ නැහැ. පරීක්ෂණයට පස්සේ වෛද්‍යවරු කිව්වේ අම්මගේ හදවතේ කීප තැනක් බ්ලොක් වෙලා නිසා බයිපාස් එකක් කරන්න වෙයි කියලයි. අම්මා ඒකට කොහොමත් කැමැති වුණේ නැහැ. මොකද අපේ අම්මා පොඩි දරුවෙක් වගේ. ගොඩක් සංවේදී කෙනෙක්. පොඩි වේදනාවක්වත් දරාගන්න බැරි නිසා මමත් කැමැත්තක් දැක්වූයේ නැහැ. වෛද්‍යවරු පවා කිව්වේ වයසත් එක්ක අම්මට ඒ සැත්කම කරලා ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. කොහොමත් ලොකු අමාරුවක් නොතිබුණු නිසා රෝහලෙන් ආවට පස්සේ බෙහෙත්වලින් අඩුකරගන්න බලමු කියන මතයේ අපි හිටියේ. පරීක්ෂණ ඉවරවෙලා ගෙදර එන්න පුළුවන් මට්ටමක් තියෙද්දී අම්මා අතට ගහලා තිබුණු ඉන්ජෙක්ෂන් කටුව රිදෙනවයි කියලා එහෙට මෙහෙට හරවද්දී ඒක බුරුල් වෙලා ගොඩක් ලේ ගිහින් තියෙනවා. ඊට පස්සේ තමා අම්මා සිහිමද ගතියෙන් හිටියේ. ඒත් අම්මා අපව දාලා යයි කියලා නම් හිතුණේ නැහැ. මොකද එයා හොඳ සතුටින් හිටියේ. අන්තිම දවස් දෙකේ තමා එයාට වේදනාවක් දැනෙන්න ඇත්තේ. කොහොම හරි රෝහලෙන් හදිසියේ අපට කතා කළා. ඒ යද්දී අම්මගෙ අන්තිම නිමේෂය උදාවෙලා. වෛද්‍යවරු එයාගෙ හද ගැස්ම ආපහු ගන්න උත්සාහ කරමින් හිටියේ. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණා. මොකද ළඟ ළඟම ඇටෑක් කීපයක්ම ඇවිත් තියෙනවා.

අපි කවදාවත් හිතුවේ නැහැ අපේ අම්මා අපව අතහැරලා මේ මොහොතේ යන්න යාවි කියලා. ඒත් ඒ අනපේක්ෂිත මොහොතේ දුටුව දර්ශනය අපේ සිතට අරගෙන ආවේ ලොකු ෂොක් එකක්. ඒ වෙලාවේ මට හරියට ඇඬුණා. ඒත් අන්තිම මොහොත දක්වා අපි බලාපොරොත්තු තියාගෙන බලාගෙන හිටියා. නමුත් අම්මා අපව දමලා ගියා. අපි ඒ දුක දරාගත්තේ ඇතිවෙන තුරු අඬලා වේදනාව පිටකරගෙන.  කොහොමත් දැනටත් අම්මා අපි අතර නැහැ කියලා හිතෙන්නෙම නැහැ .

මා දුටු අම්මා.....

මට පුංචි කාලයේ ඉඳලම මතකයේ තිබෙන්නේ අම්මා හරිම ලස්සනට අඳින පලඳින එක. අම්මා සෞන්දර්ය කැම්පස් එකට යන කාලයේ තමා මගේ මතකය පටන් ගන්නේ. අපේ අම්මා හරිම සුන්දර ගැහැනියක්. මම උදේට අම්මා අඳිනවා බලාගෙන ඉන්නේ බොහොම කැමැත්තෙන්. එයාට ලස්සන සාරි ගොඩාක් තිබුණා. අම්මගේ අවසාන මොහොත දක්වා මම දැකපු විශේෂත්වය වුණේ ඇය හැමදාමත් ලස්සනට අන්දා. ඒ දවස්වල ඉඳලම මම අම්මව අනුකරණය කරන්න පටන් ගත්තා. අද මම ලස්සනට අඳින්නෙත් ඒ දැකපු දේ නිසයි.

ඒ වගේම තමා හැමදාමත් අම්මා මට හොඳ යාළුවෙක් වුණා. අම්මා කියන ගෞරවය හිතේ තිබුණා. එත් හැම දෙයක්ම අම්මත් එක්ක කියන්න තරම් ඒ සම්බන්ධය ලොකු බැඳීමක් බවට පත්වුණා. තාත්තා වැඩිය කතා බහ නැහැ. ඒ අපට ආදරේ නැතිව නෙවෙයි තාත්තගේ හැටි. ඉතින් කුඩා කාලයේ ඉඳලම අයියලා දෙන්නත් මාත් හැම දෙයක්ම කිව්වේ අම්මට. අම්මා අපේ මට්ටමට වැටිලා අපිත් එක්ක දඟලනවා. විහිළු කරනවා. හැමදේම කතා කරනවා. තරුණ වයසෙදීත් ඒ විදියට ගොඩක් කිට්ටුවෙන් හිටියේ. ඒ මතකයත් එක්ක අම්මගේ වියෝව දරාගන්න හරිම අමාරුයි.

අම්මගෙන් දුරට ගිය දා .....

මම සාමාන්‍ය පෙළ කරන කාලයේ අම්මට අධ්‍යාපන කටයුතු වලට වසර තුනකට ඉන්දියා යන්න සිදුවුණා. ඒ අම්මා මගෙන් වෙන්වුණු පළමු අවස්ථාව. ඒක මට තදින්ම දැනුණා. මට අවුරුදු 16යි. අම්මා කෙනෙක් ළඟින්ම ඉන්න  ඕනේ කාලේ. ගෙදර නෑදෑයෝ තව ගොඩක් හිටියා. ඒත් අම්මා කියන කෙනාගේ ලොකු වෙනසක් තියෙනවනේ. ඒ නිසා පළමු දුරස්වීම දරාගන්න අමාරු වුණත් අම්මා ගැන හිතලා මම හිත හදාගත්තා. ඒත් අම්මා ඉන්දියා ඉඳලා එනකොටම මගේ අධ්‍යාපනය වෙනුවෙන් මට ඉන්දියා යන්න වුණා. ඒ වෙලාවෙත් අම්මගේ අඩුව තදින්ම දැනුණත් අම්මා මට නිතර ලියුම් ලියනවා. ඉතින් ජීවිතේ වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්න  ඕනේ කියන දේ අම්මා මට ඒ වෙලාවේ අවබෝධ කරලා දුන්නා. අම්මා නිතරම අපට කිව්වේ සල්ලි හොයන්න නෙවේ කකුල් දෙකෙන් හිටගන්න ඉගෙන ගන්න කියලා.  කොහොමත් අපේ අම්මා පුදුම ධෛර්යවන්තයි. එයා කරන කටයුත්තකට මොන බාධක ආවත් අතරමඟ නවතලා දැම්මේ නැහැ. මේ හැමදේමත් එක්ක මම අම්මා දිහා බලලා මගේ ගොඩක් අඩුපාඩු හදාගත්තා. ඇයට පුදුම විදියේ ඉවසීමක් තිබුණා.

අම්මගේ අඩුව පුරවන්නට වේදිකාවට නගින කෙනා

අම්මගෙන් ගෙදරට ආව කෙනෙක්ට තේ උගුරක් නොබී යන්න නම් ලැබෙන්නේ නැහැ. අවසාන කාලයේ අම්මගේ සංගීත පන්තියේ වැඩ කටයුතු කෙරුණේ මගේ අතින්. ප‍්‍රසංග වේදිකාවේදී පවා අම්මා ගයන්නේ එක ගීතයයි. ඉතිරි ගීත ගයන්නේ මම. අපේ පවුලේ හැමෝටම ගායන හැකියාව තිබුණට සංගීතය වෘත්තියක් ලෙසින් ඉගෙන ගත්තේ මම විතරයි. කොහොමත් ඉදිරියේ දී තාත්තත් එක්ක ප‍්‍රසංග වේදිකාවට මම එනවා. අම්මා මට දායාද කරලා දීපු දේවල් උපරිමයෙන් රැකගන්නට මම හිතාගෙන ඉන්නවා.

තාත්තට අම්මගේ අඩුව තදින්ම දැනේවි. ඒ දෙන්නා පුදුම බැඳීමකින් හිටියේ. ඒ  අඩුව පුරවන්න නම් අපි කාටවත් පුළුවන් වෙන එකක් නැහැ. මේ මොහොතේ පවුලේ අය ගොඩක් උදවු කළා. අපි ළඟින්ම හිටියා. මේ දුක බෙදා ගත්තා. අම්මාව බලන්න ලොකු පිරිසක් ආවා. එන්න බැරි දුරු රටවල අය කතාකරලා ශෝකය ප‍්‍රකාශ කළා. අපි දැනගෙන හිටියට වඩා ගෝලයන් පිරිසක් අම්මට ඉඳලා තියෙනවා. මොනතරම් දේවල් කළත් අම්මා බොහොම නිශ්ශබ්දයි. එයාගේ උගත්කම පුළුවන්කම කාටත් දඟල දඟලා පෙන්නන්නට ගියේ නැහැ. එ්ත් ඇත්තටම අපේ අම්මගේ වටිනාකමෙන් මේ රට ප‍්‍රයෝජනයක් අරගෙන නැහැ. ඒ ගැන නම් මට දුකයි.

තමාරා කල්හාරි පතිරණ 
ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.