lakbima.lk

කලකට පසු ගී අඹරට පායන චන්ද්‍රිකා සිරිවර්ධන

කලා ලෝකයේ දිදුලන තරු සමග කතාබහ කරන්නට අපට නිබදවම අවස්ථාවන් උදාවෙයි. නමුත් කලා අම්බරයට පෑයූ ඉර, සඳවන් අය හමුවන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි. මේ එවැනි සඳක් වන් සුන්දර කාන්තාවක් හමුවන මොහොතකි. ඉතාමත් මිහිරි වූ කඩහඬකට හිමිකම් කියන ඇය සතු තවත් සුවිශේෂී
ලකුණක් වන්නේ නිතරම ලස්සනට ඇඳ පැළඳ, සිනාමුසුව දැකීමට ලැබිමය. චන්ද්‍රිකා සිරිවර්ධන නම් ඇය අද අපි හා කතාබහට එකතුවන්නේ විශේෂිත වූ නිමිත්තක්ද සමගය.
ඇය මේ දිනවල ඇයගේ ප්‍රථම ඒක පුද්ගල සංගීත සන්ධ්‍යාව රන් තාරකාවෝ සමග සීඩී තැටිය එළිදැක්වීමට සූදානම් වෙමින් සිටී. නොවැම්බර් මස 11 වෙනිදා සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේදී රන් තාරකාවෝ ප්‍රසංගය පැවැත්වෙන්නේ ඇයගේ කලා දිවියට වසර 55ක් පිරීම නිමිති කරගෙනය. ගායන ලෝකයේ බහතෝරන්නන් පවා විවිධ සංගීත වැඩසටහන් අත්හදා බලන මෙවන් සමයක ඇයවන් විශිෂ්ඨ ගායිකාවක ඇගේ ඒක පුද්ගල සංගීත වෑයම සහ සීඩී තැටිය සඳහා මෙතරම් ප්‍රමාද වූයේ ඇයිදැයි කෙනෙකු තුළ කුකුසක් මතු වන්නට පිළිවන.


මේක කාලයක ඉඳන් මගේ හිතේ තිබුණු හීනයක්. ඇත්තටම මටත් වඩා ඒකට ආශාවෙන් හිටියෙ මගෙ ආදරණීය ස්වාමිපුරුෂයා ඇන්ටන් අල්විස්. නමුත් විවිධ හේතු නිසා දවසින් දවස ඒක කල්ගියා. එයා පහුගිය කාලෙ මගෙන් සඳහටම වෙන්වෙලා ගියත් කොහේ හරි ඉඳන් මේක බලාගෙන ඉන්න බව මට විශ්වාසයි. එයා මගෙ ජීවිතයේ හෙවනැල්ල වගෙයි. කලා ලෝකයේ මේ තරම් දුරකට මාව ඔසවලා තබන්න එයා දුන්න සහයෝගය ගැන නම් මට වචනවලින් විස්තර කරන්න බැහැ.
චන්ද්‍රිකා සිරිවර්ධන අද සමාජයේ බොහෝ අය හඳුනන්නේ රියැලිටි වැඩසටහන් වලදී විනිශ්චය ලබා දෙන්නට සහය වන චරිතයක් ලෙසය. නමුත් ඇය කලා පවුලකින් පැවත එන නැටුම්, ගැයුම්, රංගන ආදි දස්කම් රාශියක් උරුම කර ගත්තියකි. ඇයගේ පියා පීටර් සිරිවර්ධන එකල ‍පොල්ගොල්ල රජයේ කාන්තා ගුරු විද්‍යාලයේ සංගීත කථිකා-චාර්යවරයෙකි. ගුරු උපදේශිකාවක වූ ශ්‍රීමති කරුණාදේවි ඇයගේ මවය. එකල මේ යුවළ කෙලොම්බියා තැටි වලට ගීත ගැයුවා සේම 'දිව්‍ය ප්‍රේමය', 'අශෝකමාලා' වැනි චිත්‍රපට වලට රංගනයෙන්ද දායක වී තිබේ. කර්නාටක, රාගධාරි වැනි ශාස්ත්‍රීය සංගීතය ඉතා හොඳින් ප්‍රගුණ කළ චන්ද්‍රිකා විශිෂ්ට ශ්‍රේණියේ සිංහල සේම දෙමළ ගායිකාවකද වන බව බොහෝ දෙනා දන්නේ නැත. වසර 21ක් වූ ඇයගේ සංගීත ගුරු ජීවිතයෙන් වසර 8ක්ම ඇය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය දැරුවාය. චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් තුන් වරක් සරසවි සම්මාන ලබන ඇය ඡායා චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය කළේ ඇය සතු උඩරට හා භරත නැටුම් උගත් ප්‍රගුණ දැනුමෙනි. ඇයගේ සහෝදරයන් වන සුනිල් සිරිවර්ධන (මධුමාධව අරවින්ද සහ ධනංජය සිරිවර්ධනගේ පියා) සහ සිසිර සිරිවර්ධනද (ජීවතුන් අතර නැත) බොහෝ කලා හැකියාවන් සපිරි අයයි. රන් තාරකාවෝ සමග ඇය වේදිකා ගතවන්නේ දස්කම් පිරි තරුණ ගායක ගායිකා පිරිසක්ද පිරිවරගෙනය.
මේ සංගීත සන්ධ්‍යාවේදී මා එක්ක රිද්ම, නදීමාල්, චන්දීප ජයකොඩි, රවීන් කණිෂ්ක, චරිතා ප්‍රියදර්ශනී, අමරසිරි පීරිස්, ප්‍රදීපා ධර්මදාස එකතු වෙනවා. ඒ වගේම මගේ දුව ජිතේන්ද්‍රිකා ජයකලනි, පුතා ප්‍රසන්ත, දුවගේ පුතා චිත්රූ නී‍ලේෂ් ඒ වගේම පුතාගේ දුව දුල්ෂාරා දසන්ති සහ පුතා දෙවින් ‍ලේලක වන මගේ මුණුපුරු මිනිපිරියන් හැමෝම ගීත ගයනවා.
මම දුවයි එයාගේ පුතා චිත්රූයි එක්ක මව්වරුන් වෙනුවෙන් විශේෂ ගීතයක් එදාට ගයනවා. නව පරපුරේ දරුවන් මගේ චිත්‍රපට පසුබිම් ගීත ගයනවා. දිනේෂ් සුබසිංහ ප්‍රමුඛ Tone poems වාදක මණ්ඩලය සංගීතය සපයන අතර '360 කණ්ඩායම වැඩසටහන මෙහෙයුම් කටයුතු වලට සහය වෙනවා. නොවැම්බර් 11 වෙනිදා රන් තාරකාවෝ සමග එකතු වෙන්න කියල මම මගේ රසික රසිකාවියන්ට ආරාධනා කරන්න කැමතිය මේ වෙලාවෙ.
myticker.lk,yamaha musiccentre, , සරසවි ‍පොත්හල, සදීපා ‍පොත්හලින් 'රන් තාරකාවෝ' ප්‍රවේශපත් මිලදී ගත හැක.

නිර්මලා කුමාරි සේනාරත්න 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.