lakbima.lk

කාරයෙන් ඇවිත් පන්සල් බිඳින උපාධිධාරියා

දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජමහා විහාර ඇතුළු විහාරස්ථාන 15කට වැඩි සංඛ්‍යාවක ආවාස ගෙවල් බිඳ රුපියල් කෝටියකට වැඩි මුදල් සහ දේපළ සොරකමේ යෙදුණු රජයේ පාසලක හිටපු සිංහල ශාස2්ත්‍රපති උපාධිධාරී ගුරුවරයකු බව කියන 39 හැවිරිදි පුද්ගලයකු සොරා ගත් මුදලින් මිලදී ගත් මෝටර් රථයක් ද සමගින් පෙරේදා (06 දා) මීගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය ‍පොලීසිය පවසයි.

වසර දෙකක පමණ කාලයක සිට ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ආවාස ගෙවල් බිඳ එහි තිබූ ලක්ෂ ගණනක් මුදල් හා දේපළ සොරා ගෙන ගොස් ඇති බවට අතුරුගිරිය ‍පොලීසියට ලද පැමිණිලි කිහිපයක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ‍පොලිස් සැරයන් (56750) පියල් මහතාගේ මූලිකත්වයෙන් සිදු කළ විමර්ශනයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

අදාළ සොරකම් සිදු වූ විහාරස්ථාන කිහිපයක තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු සොරකම් සඳහා පැමිණෙන මෝටර් රථය පිළිබඳව විමසිල්ලෙන් සිටි ‍පොලිස් නිලධාරීන්ට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ‍පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය, පාදුක්ක, නිට්ටඹුව, මීගහවත්ත, වැල්ලම්පිටිය, කහවත්ත, රත්නපුර, ඇහැලියගොඩ ආදී ‍පොලිස් බල ප්‍රදේශවලට අයත් විහාරස්ථාන 15ක ආවාස ගෙවල් බිඳ සිදු කළ සොරකම් පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මෙම සියලු සොරකම් ඉස්කුරුප්පු නියනක් යොදා ගනිමින් දොරවල්වල අගුළු කඩා දහවල් 11.30 ත් 12 ත් අතර කාලයේදී ස්වාමීන් වහන්සේලා දහවල් දානය ලබා ගන්නා වේලාවන්වලදී සිදුකර ඇති බවත් ඒ අනුව අතුරුගිරිය ‍පොලිස් වසමේ විහාරස්ථාන 05 ක ආවාස ගෙවල් බිඳ ලක්ෂ නවයකට ආසන්න මුදලක් සහ වර්ණ රූපවාහිනියක් ඇතුළු දේපළ ද ඇහැලියගොඩ ‍පොලිස් වසමේ විහාරස්ථාන 02 ක ආවාස ගෙවල් බිඳ රුපියල් අට ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් සහ විදේශ මුදල් නෝට්ටු කිහිපයක් ද ආදී වශයෙන් සොරකම් රැසක් සිදු කර ඇති බවත් අනාවරණය වූ බව ‍පොලීසිය පවසයි.

මෙම සැකකරු කුඩා කල සිට විවිධ විහාරස්ථානවල නැවතී සිටිමින් පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව රජයේ විශ්වවිද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධිය ද හිමිකර ගනිමින් රාජ්‍ය ගුරු සේවයට එක්ව කටයුතු කර ඇති අතර පසුව විහාරස්ථානවලින් සොරකම් කිරීම් සිදු කිරීමට ඇබ්බැහි වී ඇත. පසුව රජයේ ගුරු වෘත්තියට සමු දී පූර්ණ කාලීනව සොරකම් කිරීම පමණක් සිදු කර ගෙන ගොස් ඇති බවත් මීට පෙර ද ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය, ව්‍යාජ හැඳුනුම්පත් සකස් කිරීම, නයිජීරියානු ජාතිකයන් හා එක්ව ව්‍යාජ බැංකු හර කාඩ්පත් සකස් කර මුදල් සොරකම් කිරීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමයෙහි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම ආදී චෝදනාවන්ට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව පැමිණ සිටින පුද්ගලයකු වන බවත් ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

කළුබෝවිල පන්සල පාර ප්‍රදේශයේ ලිපිනයක් සහිත හැඳුනුම්පතක් මෙම සැකකරුට හිමි වුවද ස්ථිර වාසස්ථානයක් නොමැති බවත් තම මෝටර් රථයේම ඇඳුම් පැලඳුම් තබා ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවල උත්සවශාලාවල කාමර කුලියට ගනිමින් පදිංචිව සිට ඇති බවත්, සොරා ගන්නා මුදල් කැසිනෝ ක්‍රීඩාවට සහ ගණිකා ඇසුර සඳහා වැය කර ඇති බවත් මේ හේතුවෙන් සැකකරුගේ විවාහක බිරිඳ සැකකරු අත්හැර ගොස් ඇති බවත් ‍පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

අතුරුගිරිය ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක උපුල් අලවත්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ‍පොලිස් සැරයන් (56750) පියල් ‍පොලිස් කොස්තාපල්වරුන් වන (30709) සුකුමාරන් (40947) ගමගේ (70701) සම්පත් (85151) මඩවල (84898) හර්ෂ යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ..

නිසල් යොවිදු, හෝමාගම, අමා ද සිල්වා, කඩුවෙල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.