lakbima.lk

රොනී ලීච්ගේ අවසන් පැය කිහිපය

රොනී ලීච් ප්‍රසංග වේදිකාවට එනතුරු ප්‍රේක්ෂකයෝ හැමදාමත් ‍පොරකමින් බලාසිටියේ සිනහ සයුරේ ගිලෙන්නයි. ඔහු සිටින වේදිකාව පාළු නැති බව හැමෝම දන්නා දෙයක්.

ඒත් හිටිහැටියේම රොනීගේ ආදරණීය රසික පිරිසට දැනගන්න ලැබුණේ හද කම්පා කරන පුවතක්. ඒ තමයි රොනී ලීච් හදිසියේම ජීවිතයෙන් සමුගත්තා කියන පුවත. ඔහුගේ මරණය සිදුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී. පසුගිය 30වැනිදා හෘදයාබාධයක් හේතුවෙන්. හදිසියේම මියගිය මේ කලාකරුවාගේ සිරුර අප මේ ලිපිය සකසන මොහොත වනවිටත් ලංකාවට රැගෙනවිත් තිබුණේ නැහැ. ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රසංගයට රොනී සමගින් සහභාගි වී සිටියේ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකයි. ඇයව දුරකථනයට සම්බන්ධ කරගන්න හැදුවත් ඇයත් මේ ලිපිය ලියන මොහොත වනවිට ලංකාවට පැමිණ සිටියේ නැහැ. අනපේක්ෂිත සිදුවීමෙන් කම්පාවට පත්ව සිටි රොනීගේ පවු‍ලේ උදවිය පවා සිටියේ කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකයි. ඒ නිසා අපි ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් අමතා හදිසියේ සිදුවූ මේ විපත ගැන විමසා සිටියා.

රොනීගේ සිරුර ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ කටයුත්තේ නියැළී සිටියත් කීර්ති අප සමග ඔහු දන්නා තොරතුරු මෙලෙස ප්‍රකාශ කර සිටියා.

“ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වූ ප්‍රසංගයට රොනී ලීච් සහ මරියසෙල් ගුණතිලක දෙන්නා මීට දින කිහිපයකට කලින් පිටත්ව ගියා. ඔවුන්ට ආයෙම ලංකාවට ඒමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 01 වැනිදා. 30 වැනිදා රාත්‍රියේ තමයි මේ කනගාටුදායක සිදුවීම සිදුවෙලා තියෙන්නේ”.

හෘදයාබාධයක් හේතුවෙන් රොනී ජීවිතයෙන් සමුගෙන ඇති බව කීර්ති වැඩිදුරටත් පවසා සිටියා.

“වයසත් එක්ක සුළු සුළු රෝගාබාධ තිබුණත් “රොනී” නීරෝගීව හිටියා. කොලෙස්ටරෝල් තත්ත්වයට ප්‍රතිකාර ගනිමින් සිටියත් මින් පෙර රොනීට හෘදයාබාධ තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ..”

රොනීගේ අවසන් හෝරා කිහිපය ගැනත් අපි කීර්තිගෙන් විමසුවා.

“මියගිය දිනට පෙර දින ඉරිදා රාත්‍රියේදී රොනී සහ මරියසෙල් දෙදෙනා වෙනුවෙන් එරට සිටින හිතවතුන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. සාමාන්‍ය ජීවිතේදී “රෝනී” විහිළු තහළු කරන හරිම ප්‍රියමනාප කෙනෙක්. ඒත් ඒ භෝජන සංග්‍රහයේදී ඔහු ඉඳලා තියෙන්නේ තරමක් අපහසුතාවකින් යුතුවයි. භෝජන සංග්‍රහය නිමාවෙලා නැවතුම්‍පොළට ආපු මරියසෙල් තමන්ගේ කාමරයට ගිහින් පහුවදා එන්නට අවශ්‍ය ඇඳුම් සූදානම් කරලා, ගමන්මලුත් සකසලා නින්දට ගිහින් තිබෙනවා. සඳුදා උදේ නැගිටලා මරියසෙල් කුස්සියට ගිහින් තියෙන්නේ තේ එකක් බොන්නයි. ඒ වෙලාවේ තමයි ඇයට දක්නට ලැබිලා තියෙන්නේ කුස්සියේ වැටිලා ඉන්න රොනීව. මරියසෙල් ඔහුට කීප සැරයක් කතාකරලා බැලුවත් රොනීගෙන් පිළිතුරක් ලැබිලා නැහැ. රොනී හුස්ම ගන්නේ නැති බව මරියසෙල්ට දැනිලා ඇය ඒ වේලාවේම හදිසි ඇමතුම් අංශය අමතලා ගිලන් රථයක් ගෙන්වා ගෙන රොනීව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ වනවිටත් ‘රොනී’ අවසන් හුස්ම වාතලයට එක්කොට හමාරයි“.

1953 ඔක්තෝබර් 19 වැනිදා උපන් “රොනී” ගායනයට පිවිසියේ 1972දී. “ඈතින් ඈතට” චිත්‍රපටය තුළින් රංගනයට පිවිසි ඔහු රෝයි ද සිල්වාගේ චිත්‍රපට රැසක හාසේ‍යා්ත්පාදක  රංගනයේ යෙදුණා. සාර්ථක විවාහ දිවියක් ගෙවූ “රොනී” දරු දෙදෙනකුගේ පියෙක්. රොනීගේ අවසන් කටයුතු සිදුකරන දිනය පිළිබඳව මේ ලිපිය සකසන අවස්ථාව වනවිටත් තීරණය කර තිබුණේ නැහැ. කලාකරුවකු සේම හිත හොඳ මිනිසකු ලෙසත් කා අතරක් ජනප්‍රිය වී සිටි මේ ජනප්‍රිය කලාකරුවාගේ අභාවය කලා ලෝකයට මෙන්ම සමස්ත රසික රසිකාවියන්ගේත් හද සසල කරවන සිදුවීමක්. ජීවිත කාලය පුරාවට ප්‍රේක්ෂකයන් වෙත සිනහව තිළිණ කළ “රොනී” හැමෝගේම ඇස්වලට කඳුළක් එක්කරමින් අද තනිවම යන්න ගිහින්.

ආරියවංශ කුලතිලක 
ඡායාරූප - දයාන් විතාරණ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.