lakbima.lk

රෝද හතරට වැටුණු බාල්දිය

වත්මන් ආණ්ඩුව 2015 වසරේදී බලයට පත්වන විට ලබාදුන් ජනප්‍රිය ‍පොරොන්දුවක් වූයේ රෝද දෙකේ වාහනයකින් යන සැමට රෝද හතරේ වාහනයක් මිලදී ගත හැකි ආකාරයේ සමෘද්ධිමත් වාතාවරණයක් ඉදිරි කාලයේදී රට තුළ ස්ථාපිත කරන බවය. ලෝ ප්‍රකට වොක්ස්වැගන් රථවාහන කර්මාන්ත ශාලාවක් පවා මෙරට පිහිටුවීමට සියලුම කටයුතු සූදානම් කර ඇති බැවින් ‍පොඩි මිනිහටද තමන්ගේම වාහනයකින් ගමන් බිමන් යෑමට මග විවර වන කාලය වැඩි ඈතක නොවන බවට වන සුන්දර කතාද එකළ මැතිවරණ වේදිකාවෙන් නිතරම පාහේ අසන්නට ලැබිණ. කෙසේ වෙතත්, මෙකී ‍පොරොන්දු ලබාදී වසර තුනක් ගෙවුණු තැන, එනම් අදවන විට ඒ සියල්ල කිසිදා යථාර්ථයක් බවට පත්නොවන බොරු ‍පොරොන්දු පමණක් බව රට ඉදිරියේ ඔප්පු වී හමාරය. ඒ මන්ද යත් වාහනයක් මිලදී ගැනීම යනු සාමාන්‍ය ජනතාවට තමන් රැයේ දකින සිහිනයකදී සැබෑ කරගත හැකි එකක් මිස, සැබෑ ජීවිතයේදී නම් කිසිවිටෙකත් සැබෑකර ගත නොහැකි සිහිනයක් බවටම මේ වන විට පත්ව තිබෙන නිසාය.

මෙබඳු ව්‍යාකූල තත්ත්වයක් වාහන වෙළෙඳ‍පොළ තුළ උද්ගත වීමට ආසන්නතම හේතුව වී තිබෙන්නේ, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය පසුගියදා රථවාහන කර්මාන්තයට බලපාන පරිදි නව ආනයන රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමය. මේ අනුව මින් ඉදිරියට බස් රථ, ලොරි රථ සහ ගිලන් රථ හැර අනෙකුත් වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී වාහනයේ වටිනාකමින් 200ක මුදලක් තැන්පත් කළ යුතු බව මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳ නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සඳහා ලබාගත හැකි උපරිම කල්බදු සීමාව 70 සිට 50 දක්වා පහත හෙළීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී ආනයනකරුවන් තැන්පත් කළ යුතු මුදල වාහනයේ වටිනාකමින් 100ක් දක්වා ඉහළ නංවන බවත් ඒ සඳහා වාණිජ බැංකු විසින් ආනයනකරුවන්ට කිසිඳු ආකාරයකට ණය මුදලක් ලබා නොදිය යුතු බවටත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ මීට දෙසතියකට පමණ පෙරදීය. එම නව රෙගුලාසි සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය දිගින් දිගටම අවප්‍රමාණය වීම යන බලපෑම් හේතුවෙන් වාහන මිල රුපියල් ලක්ෂ 3-8 අතර අගයකින් ඉහළ යන බවත්, වාහන ආනයනය බොහෝදුරට සීමාවනු ඇති බවටත් වාහන ආනයනකරුවෝ එම අවස්ථාවේ ප්‍රකාශ කළහ. එසේ තිබියදීත්, රජය පසුගියදා එම ආනයන රෙගුලාසි තවදුරටත් තර කිරීමට තීරණය කර ඇත්තේ රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීමේ පීඩනය ලිහිල් කිරීම සඳහා පෙර පැවැති රෙගුලාසි ප්‍රමාණවත් නොවන නිසා බව පැහැදිලිය. කෙසේ වෙතත් මෙම නව ආනයන රෙගුලාසිවල බලපෑම් හේතුවෙන් ඉදිරි කාලයේදී මෙරට  වාහන කර්මාන්තය මුළුමනින්ම කඩාවැටීමට වුවද ඉඩ ඇති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.
අපේ රටේ මුදල් වැඩිවශයෙන් පිටරටවල් වෙත ඇදී යන්නේ් තෙල් සහ වාහන ආනයනය සඳහාය. රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් ලෙස රජය මෙවර වාහන ආනයනය සීමාකිරීම සඳහා මෙම රෙගුලාසි පනවා තිබෙනවා. මේ රෙගුලාසිවල බලපෑමෙන් ඉදිරි කාලයේදී වාහන මිල අසීමිත ලෙස ඉහළ යාමට ඉඩ තිබෙනවා. ඒ වගේම වාහන ආනයනය මුළුමනින්ම නතර වී වාහන වෙළෙඳ‍පොළ කඩා වැටීමටත් ඉඩ තිබෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය. ප්‍රායෝගිකව ගත් කළ වාහන ආනයනය සීමාකිරීම සඳහා රජය ගෙන ඇති මෙම ඇතැම් තීන්දු තීරණ නිවැරදි ඒවා නොවන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අද වෙද්දී වාහන ආනයනකරුවන්ගෙන් 60ක් ඉන්නේ පුද්ගලික ආනයනකරුවෝ. ඔවුන් මේ රෙගුලාසි යටතේ වූවත් වාහන ලංකාවට ගෙන්වනවා. නිත්‍ය වාහන ආනයනකරුවන්ගේ ආනයන කටයුතු පමණයි මේ රෙගුලාසි නිසා සීමාවෙන්නේ. ඒ වගේම මේ රෙගුලාසි හේතුවෙන් බැංකු හා ලීසිං සමාගම් පවා කඩාවැටීමේ අවදානමක් තිබෙනවා. රුපියල අවප්‍රමාණ්‍ය වීම හේතුවෙන්  අද රථවාහන ක්‍ෂේත්‍රය තුළ වගේම සමස්ත රට තුළම ඇතිවී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය රජයේ දුර්වල ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් විදිහටයි මා දකින්නේ මෙරෙංචිගේ මහතා එසේද පැවැසීය.
මෑත කාලයේ රථවාහන වෙළෙඳ‍පොළට බලපෑමක් එල්ල වූ පළමු වතාව මෙය නොවේ. ඉකුත් අගෝස්තු මාසයේදී එන්ජින් ධාරිතාවය 1000 ඛිඛි ට අඩු වාහන ආනයනය සඳහා වන බදු ඉහළ නැංවීමට රජය ගත් තීරණයත් සමග මෙරට ඉතා ජනප්‍රිය වැගන් ආර්. ආදී කුඩා ප්‍රමාණයේ මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ දෙකහමාරකට වැඩි අගයකින් ඉහළ නැංවිණි. ඒ අනුව එම මාදිලිවලට අයත් වාහන මෙරටට ආනයනය කිරීම පසුගිය මාසයක දෙකක පමණ කාලය තුළ කැපී පෙනෙන අයුරින් පහත වැටී ඇති බව නොරහසකි. මෙවර සිදුවී තිබෙන්නේ ඒ අයුරින් දුර්වල වී තිබූ රථවාහන කර්මාන්තයට මාරුපහපක් එල්ල කිරීම විනා වෙනකක් නොවේ.

ඉතිහාසයේ වැඩිම අගය දක්වා ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළ යෑම පසුගිය දිනවල සිදුවිය. මෙහි බලපෑම යටතේ රුපිය‍ලේ අවප්‍රමාණය වීමේ අර්බුදයෙහි කරවටක් ගිලී සිටින රට ඉන් මුදවාගැනීමට රජය මේ සියලු ප්‍රයත්නයන් දරන වග නම් පැහැදිලිය. එම උත්සාහයට රට වැසියන් ලෙස අප සියලුදෙනා මෙම අවස්ථාවේදී සහයෝගය දියයුතු බවටද කිසිඳු විවාදයක් නැත. නමුත් මෙවැනි අර්බුද හමුවේ රට ස්ථාවරව තබාගත හැකි ආකාරයේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වන සැලසුම් සකස් කිරීම අතපසු කොට, අවසන් තත්පරයේදීම ජනතාවට පටි තද කරගන්නැයි කීම කෙතරම් සදාචාරාත්මකදැයි විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.
වාහන ආනයනය සඳහා බලපාන නව රෙගුලාසි රජය පසුගියදා හඳුන්වාදීමත් සමග පර්මිට් පහසුකම් මත වාහන ආනයනය කිරීමේ පහසුකම සහිත අයටද තහංචි පැනවිණි. ඒ අනුව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, සංස්ථා මණ්ඩල සහ රාජ්‍ය ආයතන සඳහා වාහන ආනයනය කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවිණි. එමෙන්ම රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා සහනදායී බලපත්‍ර මත වාහන ආනයනය සඳහා ලබාදී තිබූ පහසුකමද මාස 6කට අත්හිටුවා තිබිණි. ඒ පමණක් නොවේ මැති ඇමැතිවරුන්ටද රතු එළියක් පෙන්වමින්, පර්මිට් පහසුකම් සඳහා වාහන ගෙන්වා ගැනීමට ඔවුන්ට ලබාදී තිබූ පහසුකමද වසරක කාලයකට අත්හිටුවීමට රජය තීරණය කළේය. එය රට වෙනුවෙන් තමන්ද විශාල කැපකිරීමක් කිරීමට සූදානම් බව ජනතාවට පෙන්වීම සඳහා වත්මන් ආණ්ඩුවේ දේශපාලනඥයන් ගත් තීරණයක් වන්නට පුළුවන. කෙසේ නමුත් මෙහි ඇති හාස්‍යයට කරුණ වන්නේ, දැනට පාර්ලිමේන්තුවේ සිටින සියලු මැති ඇමැතිවරුන් පාහේ තමන්ට හිමි පර්මිට් පහසුකම භාවිත කරමින් දැනටමත් වාහන ගෙන්වා අවසන් බව මේ වන විට රට හමුවේ හෙළිවී තිබිමය. මෙබඳු වාතාවරණයක් යටතේ හැමදාම වාගේ මෙවරද සිදුවී තිබෙන්නේ සියලු පව් තමන්ගේ කරපිටින් යාමක් බව රටේ සාමාන්‍ය ජනතාවට හැඟුණොත් එය පුදුමයට කාරණයක් නොවේ.

කිෂාන් කනංකෙ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.