lakbima.lk

පළමු ටෙලි නාට්‍යයෙන්ම සම්මාන උළෙල 3කදීම මා දක්ෂතම නිළිය වුණා

රංගන ශිල්පියකුට හෝ රංගන ශිල්පිනියකට සිය කුසලතා පළකොට ප්‍රේක්ෂක විචාරක පැසසුම් මෙන්ම ඇගයුම් ලබන්නටත් අති විශාල නිර්මාණ රැසකට එක්වීම අත්‍යවශ්‍ය නොවන බව ඔප්පුකළ ශිල්පීන් සහ ශිල්පිනියෝ වෙති. දායක වූ නිර්මාණ ප්‍රමාණය අල්ප වුවද ඒ තුළ සිය කුසලතා කදිමට මතුකරමින් ඇගයීම් ලද එවන් පිරිස් අතරට එක්වන තවත් දක්ෂ රංගන ශිල්පිනියක් පසුගියදා පැවැති 23 වැනි සුමති සම්මාන උළෙලෙහිදී වසරේ දක්ෂතම නිළිය ලෙස සම්මානයට පාත්‍රවූවාය. ඇය නදී කම්මැල්ලවීරයි. බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයේ චංචලාගේ චරිතය වෙනුවෙන් මෙවර සුමති සම්මාන උළෙලෙහිදී සම්මානයට පාත්‍ර වූ නදී එම චරිතය වෙනුවෙන් මේ වසරේ පැවැති “රයිගම්” සහ “ සිග්නීස්” සම්මාන උළෙලයන්හිදීද දක්ෂතම නිළිය ලෙසට සම්මානයට පාත්‍රවීම සුවිශේෂය. ඒ නිමිත්තෙන් අප ඇයව කතාබහකට එක් කරගත් අතර මෙම කුසලතා පූර්ණ රංගන ශිල්පිනිය මේ අයුරින්  කතාබහකට එක්වන ප්‍රථම අවස්ථාවද මෙයයි.

නදී දායක වූ නිර්මාණ ප්‍රමාණය ඉතා අල්පයි.. නමුත් ඒ හැම එකකටම වාගේ සම්මාන ලැබුවා.. ?

මම මේ වෙද්දි ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් ආනන්ද අබේනායක මහතාගේ සංසාරේ පිය සටහන් ‍පොහොය ඒකාංගික ටෙලි නාට්‍ය 3 ක් සහ මෙම බැද්දේ කුලවමිය කියන ප්‍රාසාංගික ටෙලි නාට්‍යයට විතරයි එක්වී සිටින්නේ. ඒ අතරින් එක් ‍පොහොය ටෙලි නාට්‍යයකදී ඒ වසරේ රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙලෙහිදී හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන ලැබුවා. මගේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍යය බැද්දේ කුලවමියයි. ඒ සඳහා මේ වසරේ පැවැති සියලුම ටෙලි නාට්‍ය සම්මාන  උළෙලයන්හි හොඳම නිළි සම්මානය ලබන්නට මා වාසනාවන්ත වුණා.  සිනමාව පැත්තෙන් ගත්තොත් මිල්ලෙ සොයා (බුඩී කීර්තිසේන), මේ මගේ සඳයි  (අශෝක හඳගම) සහ ඉර මැදියම (ප්‍රසන්න විතානගේ) යන චිත්‍රපට තුනේ විතරයි මම රඟපාලා තියෙන්නේ. ඒ අතරින් මේ මගේ සඳයි චිත්‍රපටයට ඒ වසරේ පැවැති ජනාධිපති සම්මාන උළෙලෙහිදී හොඳම සහය නිළියට හිමි සම්මානයත් ඕ. සී. අයි. සී. උළෙලෙහිදී ජූරියේ විශේෂ සම්මානයකුත් හිමිවුණා. ඉර මැදියම චිත්‍රපටයට එම වසරේ පැවැති සරසවි සම්මාන උළෙලෙහිදි වසරේ නැගී එන නිළියට හිමි සම්මානය හිමිවුණා.

නදී කලා ජීවිතය ආරම්භ කළේ වේදිකාවෙන්..

උසස් පෙළ අවසන් වෙලා විශ්වවිද්‍යාලයට යන්න සූදානමින් ඉන්න අතරෙදි මම කළේ සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ රංගනය හදාරන්න ගිය එක. සෝමලතා මිස්ගේ නාට්‍ය විශාල ප්‍රමාණයක රඟපෑවා.. හැබැයි කිසිම දවසක මට වේදිකා රංගනයක් වෙනුවෙන් සම්මාන ලැබිල නෑ.. වේදිකාවෙදී “හොඳම පරිවර්තනය” ට හිමි සම්මානය නම් මට ලැබිල තියෙනවා..

රඟපෑ නිර්මාණ ප්‍රමාණය අඩුවන්නට හේතුව සම්මානනීය රංගනයකට ඉඩකඩ තියෙන චරිත විතරක් තෝරා ගැනීමද...

මම හිතන්නේ මට ලැබෙන චරිත තීරණය වන්නේ මගෙ පෙනුම අනුව.. බැද්දේ කුලවමිය” සඳහා ආනන්ද අබේනායක මහතා මාව තෝරාගන්නකොට මාව ඊට ගැළපෙන්නේ නෑ කියලා කියූ අයත් එම නිර්මාණය තුළම ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ චාන්දනී අක්කා (චාන්දනී සෙනවිරත්න) විතරයි මාව මේ චරිතයට සුදුසුයි කියලා ආනන්ද අබේනායක මහතාට කියලා තියෙන්නේ. මට ලැබෙන ආරාධනා සීමිතයි. තෝරා බේරාගෙන රඟපාන්න තරම් නිර්මාණ ගොඩක් මට ලැබෙන්නේ නෑ.. දැනට ලැබුණ ආරාධනා අතරින් එක ටෙලි නාට්‍යයක් සහ එක චිත්‍රපටයක් විතරයි ප්‍රතික්ෂේප කළේ.. එහෙම කළේ වෙනත් කටයුතු සඳහා ඒ කාලවේලාව වෙන් කරන්න සිදුවූ හිංදා. එහෙම නැතුව තෝරාගැනීම් හිංද ‍නෙවෙයි.  ඒ නිර්මාණ දෙක හැර ලැබුණු අනෙක් හැම නිර්මාණයකම රඟපෑවා.

ඒ වුණත් සම්භාව්‍ය සහ වාණිජ විදියට නිර්මාණ බෙදීමක් කරගත්තු අය ඉන්නවා. මේ තත්ත්වය වැඩියෙන්ම තියෙන්නේ සිනමාව තුළ?

හින්දි සිනමාව තුළ සරල බොළඳ බව අන්තයට තියෙන නිර්මාණ අපි දැක තියෙනවා. ඒත් ඒ නිර්මාණ ලොකු වෙහෙසක් දරලා අති සාර්ථකව කරපු නිර්මාණ බව පෙනෙනවා. මම නම් ඔය කියන අන්ත දෙක බෙදාගෙන එක් කොටසක්  උසස්.. අනෙක පහත් කියා කියන්නේ නෑ..

වාණිජ සිනමා පටයක බොළඳ පෙම්වතිය වන්නත් සූදානම්ද.?

හැත්තෑව දශකයේ මාලනී ‍පොන්සේකා  කළ පෙම් ජවනිකා අද ටීවී එකේ පෙන්නුවොත් අදත් මම ආසාවෙන් නරඹනවා.. ඒ ජවනිකා ඒ විදියට වෙන කෙනෙකුට කරන්න අසීරුයි.. මල්ගස් වටේ දුවන ජවනිකා වුණත්  හරියට කරන්න හැමෝටම බෑ.. මට එවැනි චරිතයකට ආරාධනා ලැබෙයි කියලා මම හිතන්නේ නෑ.  යම් විදියකින් ලැබුණොත්  ඒ නිර්මාණය සහ මගේ චරිතය  නිර්මාණය කෙරෙන විදිය ගැන වගේම අධ්‍යක්ෂවරයා ගැනත් බලලා ඒ චරිතය භාරගන්නවා..

මොනවද සාමාන්‍ය තොරතුරු ?

මම  රංගනයට අමතරව පරිවර්තන කටයුතුවල තමයි යෙදෙන්නේ. මගේ පුතා ධනු කල්හාරට වයස  අවුරුදු 12 යි. පුතාගේ තාත්තා කසුන් කල්හාර. පුතා එල්.පී.එෆ් ජාත්‍යන්තර පාස‍ලේ 8 වසරේ ඉගෙන ගන්නවා. සුමති ශිවමෝහන්ගේ “පියවරු සහ පුත්තු” චිත්‍රපටයේ පුතා රඟපෑවා. එහි ප්‍රධාන චරිතය රඟපෑ රනිල් ජිතේන්ද්‍රගේ පෙනුමට සමාන නිසා ඔහුගේ ළමා කාලයට පුතාව යොදාගත්තේ. ඒත් මට දැනෙන විදියට නම් පුතාට රඟපාන්න බැහැ. එයා ටිකක් ලජ්ජාශීලී ළමයෙක්. තාත්තා වගේ සංගීතයට නම් දක්ෂතා තියෙන බව පෙනෙනවා. ඒත් පුතා කලාවට වඩා උනන්දු අධ්‍යාපනයට. කවද හරි භෞතික විද්‍යාඥයෙක් වෙනවා කියල තමයි නිතරම කියන්නේ.. 

ආරියවංශ කුලතිලක

ඡායාරූප  - මංජුල පෙරේරා /ලක්මාල් වසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.