lakbima.lk

සී රජ හදලා සම්මාන දිනූ ජැක්සන් ටෙලි නාට්‍ය කලාවෙන් සමුගැනීමේ සූදානමක

මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් ටෙලි නාට්‍යය බවට පත් වූයේ ජැක්සන් ඇන්තනීගේ “සී රජ” යි.  වසරේ හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය, හොඳම අධ්‍යක්ෂවරයා, හොඳම නළුවා, හොඳම තිර රචනය ඇතුළු සම්මාන ගොන්නකින් “සී රජ” පිදුම් ලැබුවත්, ටෙලි නිර්මාණකරුවකු ලෙස තමන්ගේ දායකත්වය මින් ඉදිරියට මෙරට  ටෙලි නාට්‍ය කර්මාන්තයට ලැබේවිද යන වග නම් සැක සහිත බවයි ජැක්සන් ඇන්තනී පවසන්නේ.

සුමති සම්මාන උළෙ‍ලේදී “සී රජ” වෙනුවෙන් ලැබුණු සම්මානත් එක්ක ඔබේ සම්මාන එකතුව තවත් විශාල වුණා නේද?

ඔව්. මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී මගේ “සී රජ” ටෙලි නාට්‍යය සඳහා සම්මාන 10ක් ලැබුණා. ඒ අතරින් 3ක් පෞද්ගලිකව මගේ නමට ලැබුණු ඒවා. ඒ ලැබූ සම්මාන 3ත් එක්ක. මා මතෛක් ලබා තිබෙන ජාතික සම්මාන ගණන 59ක් බවට පත්වුණා. ඒක ඇතැම් විට ලංකාවේ කලාකරුවෙකුට හිමිවූ වැඩිම සම්මාන සංඛ්‍යාව වෙන්නත් පුළුවන්.

“සී රජ” වෙනුවෙන් ඔබ කළ කැපවීම ගැන ඔබට අද සතුටු වෙන්න පුළුවන්ද?

මම මේ දිනවල අලුත් චිත්‍රපටයක වැඩකටයුතු කරගෙන යනවා. ඒක මගේ චිත්‍රපට අතරට එකතුවන වෙනස් විදිහේ චිත්‍රපටයක්. ඒවගේම ඒක විශාල වියදමක් දැරිය යුතු චිත්‍රපටයක්.  ඒ වියදම අඩුකරගත යුතු නිසා මම නිර්මාණයේ ගුණාත්මක බවත් රැකගෙන, දින 35කින් අවසන් කළ යුතුව තිබූ එහි රූගත කිරීම් දින 20 කින් අවසන් කළා. ඒ සඳහා මටත්, මගේ කණ්ඩායමටත් අධික වෙහෙසක් දරන්න සිද්ධ වුණා. එදා මම බිබිල ප්‍රදේශයේ රූගත කිරීම් කරන අතරතුරයි සම්මාන උළෙලට සහභාගි වුණේ. හොඳම ටෙලි නිර්මාණය විදිහට “සී රජ” සම්මානයට පාත්‍ර වෙද්දී සඳහන් කළ හේතු පාඨය ඇහෙද්දී මගේ වෙහෙස දුරුවෙලා විශාල ප්‍රීතියක් මට ඇති වුණා. ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ සමගින් එකම කක්ෂයේලා තැබිය හැකි ටෙලි නාට්‍යයක් ලෙසයි එහිදී “සී රජ” හැඳින්වූයේ. ලංකාවේ එක සම්මාන උළෙලක් හරි මගේ අරමුණ හඳුනාගෙන තිබෙනවා නේද කියන පහන් සංවේගය මාව නැවතත් ප්‍රාණවත් කළා.

එවැනි අරමුණකින් “සී රජ” නිර්මාණය කළ ඔබ ඉන් අනතුරුව අලුත් ටෙලි නිර්මාණයකට අත ගැහුවේ නැත්තේ ඇයි ?

එදා මට ලැබුණු තෙවැනි සම්මානය අතට ගනිද්දීත් මගේ හිතට ආපු එක්තරා හැඟීමක් තිබුණා. ඒ තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු විදිහට මා ලබාගන්නා අවසාන සම්මානය මෙය වේවිදෝ කියලා. මොකද පසුගිය කාලය පුරාමත් “මම නැවත ටෙලි නිර්මාණයක් නොකරමි” කියන අදහසින් තමයි හිටියේ. සමහර විට මම නැවත කවදාවත් ටෙලි නාට්‍යයක් හදන එකක් නෑ.

ඔය විදිහේ දැඩි තීරණයක් ගන්න තරම් ටෙලි කර්මාන්තය සම්බන්ධයෙන් ඔබට ඇති වී තිබෙන කලකිරීම මොකක්ද?

ටෙලි නාට්‍ය කර්මාන්තයේ ඇති වී තිබෙන අර්බුදය ගැන නිර්මාණකරුවන්ටවත්, ප්‍රේක්ෂකයන්ටවත් බොරුවට දොස් කියලා වැඩක් නැහැ. විශාල වශයෙන් නිර්මාණය වෙන ගොබ්බ නිර්මාණ අතරේ ගුණාත්මක වශයෙන් ඉහළ නිර්මාණත් බිහිවෙනවා. සුමති සම්මාන උළෙ‍ලේදී සම්මාන ලබන සහ නිර්දේශවන ටෙලි නිර්මාණම ඊට හොඳම උදාහරණයක්. ඒ නිසා නිර්මාණකරුවන්ගේ හැකියාව හීන වෙලා කියලා කියන්න බෑ. අනෙක් අතට ටෙලිවිෂන් මුහුණත හරහා වගේම අන්තර්ජාලය ඔස්සෙත් වැඩිපුර නරඹන ටෙලි නාට්‍ය මොනවාද කියලා සමීක්ෂණයක් කළොත් වැඩිම ජනතා කැමැත්ත තියෙන්නේ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණවලට බව අද ඔප්පු වෙලා තියෙනවා.  LMRB සමීක්ෂණය කියන්නේ මිථ්‍යාවක් විතරයි. ටෙලිවිෂනයේ පරිපාලනය තමයි රූපවාහිනී කලාව විනාශ කරන්නේ.

ඇයි ඒ විදිහේ චෝදනාවක් ඔබ එල්ල කරන්නේ.?

අද අපේ රටේ ටෙලිවිෂනයේ පරිපාලනය අන්තයටම පිරිහිලා. විශේෂයෙන් පෞද්ගලික නාලිකා පරිපාලනය කරන දේශීයත්වය ගැන කිසිදු අවබෝධයක් නැති අලුත් පරපුර ඊනියා වෙළෙඳ න්‍යායකයි ඉන්නේ. අද ලංකාවේ මාධ්‍ය පරිපාලනය කරන වෙළෙඳ ලෝකය අන්තයටම පිරිහිලා. මේ කියන ඊනියා වෙළෙඳ න්‍යායන් විසින් අද ලංකාවේ ටෙලි විෂන් පරිපාලනය කරනවා. මාධ්‍ය නාලිකාත් මේ වැරදි වෙළෙඳ න්‍යායන් හිස මුදුනින් ගරුකරගෙන ඒකට තමන්ගේ පරිපාලනය බාර දීලා බලා ඉන්නවා. ඉතාම දුප්පත් රටවලවත් මේ වගේ ගොබ්බ, හිඟන පරිපාලනයක් නැහැ.

කිෂාන් කනංකෙ

ඡායාරූපය - තුෂාර සංජව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.