lakbima.lk

උණු කැවුම් වගේ විකිණෙන පාන් ගෙඩියට කුණු බැණුම්

බත් වලට පසුව අපේ රටේ බොහොමයක් දෙනා වැඩිපුරම ආහාරයට ගන්නේ පාන්ය. ඉතා පහසුවෙන් හා ඉක්මනින් ක්ෂණිකව ආහාරයට ගැනීමේ ඇති හැකියාව නිසාම වයස් බේදයකින් හා සමාජ තරාතිරමකින් තොරව පාන් බොහෝ දෙනාගේ ජාතික ආහාරය බවට පත්වී තිබේ.
කෙසේ නමුත් පසුගිය තුන්වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තීරණය කළේය. හාල් මිලද දරාගත නොහැකි තත්ත්වයක තිබියදී පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩිවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් බඳුය.
තිරිඟු පිටි කිලෝවක් වැඩි වුණේ රුපියල් පහකින්. තිරිඟු පිටි කිලෝවකින් පාන්ගෙඩි දෙකක් හැදුවත් තව ග්‍රෑම් 100ක් ඉතිරි වෙනවා. ඒ විදියට බැලුවොත් පාන් ගෙඩියක මිල වැඩිකළ යුත්තේ රුපියල් 2කින්. බේකරිකාරයෝ බොර දියේ මාළු බානවා ජනතාවගෙන් එල්ල වෙන්නේ මෙබඳු චෝදනාය. ජනතාව නගන මේ චෝදනාවන්ට දෙන පිළිතුර කුමක්දැයි අපි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධනගෙන් විමසා සිටියෙමු.
මිල වැඩිකිරීමට හේතුව මුලින්ම කියන්න ඕනේ පසුගියදා වැඩි කළ තිරිඟු පිටි මිල විතරක් නමෛයි පාන් මිල වැඩි කිරීමට මූලික වශයෙන් බලපෑවේ. තිරිඟු පිටි මිල වැඩිවුණ වෙලාවේ පාන් ගෙඩියක මිල රුපියල් 2.00ක් වැඩි කළා නම් ඇති. ඒත් අපි පිටි මිල වැඩි වුණා කියලා විතරක් නමෛයි පාන් මිල වැඩි කළේ. ලංකාවේ සියලුම බේකරි වලට ගන්න සියලුම මාගරින් වර්ග, බටර් වර්ග, ‍පොල්තෙල් වෙනුවට ගන්න ෆාම් ඔයිල් වල මිලත් අද වැඩිවෙලා. දැන් පිටරටින් ගෙන්වන ෆාම් ඔයිල් එක ලීටරයක් සඳහා රජය රුපියල් 155ක බද්දක් අයකරගන්නවා. මිට සතියකට කලින් ඒ බද්දට රුපියල් 20ක් වැඩි කළා. දැන් රුපියල් 175ක බද්දක් ගන්නවා. ඒ බද්දෙන් බේකරි හිමියන්ට විශාල ආසාධාරණයක් සිද්ධ වෙනවා. මොකද බේකරි වල බදින ආහාර සඳහා වැඩිපුරම භාවිතයට ගන්නේ ෆාම් ඔයිල්. ඒ නිසා තමයි පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩිකරන්න අපිට සිදු වුණේ. ඒත් බනිස් වර්ග වල මිල ගණන් අපි දැනට වැඩි කරලා නැහැ. ෆාම් ඔයිල් වල බදු වැඩි කිරීම, ඩීසල්, භූමිතෙල් වල මිල වැඩි කිරීම කියන හේතු මත තමයි අපි පාන් මිල වැඩි කළේ. ගොඩාක් බේකරි වල අවන් සඳහා භාවිතයට ගන්නේ ඩීසල් සහ භූමිතෙල්. රුපියල් 45ට තිබ්බ භූමිතෙල් ලීටරයක මිල දැන් රුපියල් 85යි. ඒ වගේම බේකරි වලට ඉතා උග්‍ර සේවක ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා ලොකු වැටුපක් අපිට සේවකයෙකුට ගෙවන්න වෙනවා. මේ කාරණා සැළකිල්ලට අරගෙන තමයි පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අපි වැඩි කළේ.
කෙසේ නමුත් පාන් වල මිල ගණන් බේකරියෙන් බේකරියට වෙනස් බවත්, ඇතැම් පාන් වල ප්‍රමිතියද බාල තත්ත්වයේ පවතින බවටත් පාරිභෝගිකයෝ චෝදනා නගති. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ සම්බන්ධව පිළිතුරු බඳින්නේ මේ ආකාරයෙනි.
අපිට විතරක් පාන්, බනිස් වල මිල ගණන් ස්ථාවර මිලකට ගේන්න බැහැ. මොකද මාළු පාන් ගෙඩියක් ගත්තොත් රුපියල් 30කට විකුණන බේකරිත් තියෙනවා. රුපියල් 150කට විකුණන බේකරිත් තියෙනවා. එහි මිල තීරණය කෙෙරෙන්නේ හදන ප්‍රමිතිය අනුවයි. පාන් වලටත් මිල පාලනයක් කරන්න බැහැ. ඒත් බර පාලනයක් තියෙනවා. ඉතිං පාන් ගෙඩියක් මිලට ගන්නකොට පාරිභෝගිකයා දැන ගන්න ඕනේ ග්රෑම් 450ක් බර තියෙනවද කියලා හොයලා බලන්න. බර අඩුකරලා විකුණන්න තහනම්. බර පාලනයක් තියෙනවා. ඒත් මිල පාලනයක් නැහැ. ඒ නිසා පාන් ගෙඩියක් රුපියල් 500කට විකුණවත් කිසිම කෙනෙක්ට මුකුත් කරන්න බැහැ.
පාන් මිල රුපියල් 5කින් ඉහළ දැමීම සාධාරණද? යන කාරණාවට එහා ගිය තවත් නීතිමය තර්කයක්ද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ඉදිරිපත් කරයි.
නීතිමය ප්‍රශ්නය ඇත්තටම තිරිඟු පිටි මිල වැඩි කිරීම වැරදියි. මොකද 2015 පෙබරවාරි 20 අතිවිශේෂ ගැසට් පත්‍රයක් තියෙනවා 1902 / 55 කියන. ඒක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අනුව 31 වැනි නියෝගයක්. ඒ අනුව තිරිඟු පිටි කිලෝ එකක මිල රුපියල් 87ක් වෙනවා. එහෙමනම් මේ විදියට මිල වැඩි කරන්න බැහැ. තිරිඟු පිටි කිලෝවක මිල මොනම හේතුවක් නිසා හෝ වැඩි කරනවා නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ගන්න ඕනේ. නමුත් අද වනවිට තිරිඟු පිටි සමාගම් තමන්ගේ හිතුමතේටයි එහි මිල ගණන් වැඩි කරලා තියෙන්නේ. ඒක ඇත්තටම නීති විරෝධියි. ඒ වගේම තිරිඟු පිටි නිෂ්පාදන වලින් හදන ආහාරපාන වල මිල ගණන් වැඩි කිරීමත් වැරදියි. ඒත් යම් සාධාරණ ගණනින් පාන් ගෙඩියක මිල වැඩිවුණාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒත් රුපියල් 5කින් මිල වැඩිවීම හරිම ආසාධාරණයි. මෙවැනි දේවල් වළක්වන්න රටක නීතියක් නැතිනම් අපි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්න පෙලඹෙන්නේ නැතුව විකල්ප ආහාර වර්ග වලට පුරුදු වෙන්න කියලා.
මේ සියලු කතා මැද මේ රටේ ජනතාවට සිදුවී තිබෙන්නේ කට බලියාගෙන බලා සිටීමටය. නැතිනම් පාන් නැත්නම් කේක් කාපල්ලා ... කියමින් තමන්ගේ දුක තුනී කර ගැනීමටය.

සමන්මලී නැලිගම

Comments  

0 #1 Sam 2018-09-14 12:14
bakery karaya Paan Waln Withark newi ..Ptiwalin Hadana Banis Rost Paan Wage hama jaathiyakinma Paaribogikayawa gasakanawa ...
gr 50 k wath nathi pitiguli 40 ta 50 ta wikunananwa.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.