lakbima.lk

මං නළුකම වෙනුවෙන් ‘ගුරු’කම අතහැරියා


මුලින්ම අපි ඔබව සම්මානයට පාත්‍රකළ “සී රජ” ටෙලි නාට්‍යය සහ එහි වූ “වරනාග” ගැන කතා කරමු?
පෙර රජ දවස නාග ගෝත්‍රිකයින් රජුව ආරක්ෂා කළා. දේවානම්පිය තිස්ස රජු බිලිඳු අවදියේ පටන් ඔහුව රැකගන්නා වරනාග කියන නාග ගෝත්‍රිකයාගේ චරිතය තමයි මම රඟපාන්නේ. එම ටෙලි නාට්‍යයට පාදක වන්නේ ඉතිහාසගත සත්‍ය කතාවක් වුවත් ජැක්සන් ඇන්තනී මහතා විසින් නිර්මාණය කළ කල්පිත චරිත එහි තියෙනවා. මා රඟපෑ “වරනාගත් එවැනි චරිතයක්. එය ඉතිහාසය තුළ සැබෑවටම හමුවන චරිතයක් ‍නෙවෙයි. ජැක්සන් ඇන්තනී මහතා නිර්මාණය කළ චරිතයක්. මින් පෙර පැවති සම්මාන උළෙල යන්හිදීත් එම චරිතය හොඳම නළුවාට නිර්දේශ වුණා. එහිදී ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරාටයි සම්මාන හිමිවුණේ. මෙවර මට එම සම්මානය හිමිවුණා. ඔහුත් මට මෙහිදී සුබ පැතුවා. කලාකරුවකුට සම්මානයක් හිමිවීම සතුටක්. දිරිමත් කිරීමක්. හිමි වූ සම්මානය ගැන නිහතමානී සතුටක් මටත් තියෙනවා.  

“වරනාග” කඩු ශිල්ප සහ සටන් ශිල්ප ගැන මනාව ප්‍රගුණ කළ අයෙක්. එම චරිතය අපූරු ලෙස ඉදිරිපත් කරන්නට ඔබත් සටන් ශිල්ප හැදෑරුවද ..?
ටෙලි නාට්‍යයේදි අපගේ සටන් ජවනිකා පුහුණු කළේ එහි සටන් අධ්‍යක්ෂවරයා. ඔහු අංගම්‍පොර සටන් කලාව පවා හැදෑරු අයෙක්. නාට්‍යය සඳහා ඔහු එහි ශිල්පීන් පුහුණු කළා. මමත් ඒ පුහුණුවීම් වලට සහභාගි වුණා. ඒත් මට යන්න වුණෙ පස්සේ. ඒ නිසා මට අනෙක් අයට තරම් ඒ හැදෑරීම කරන්න කාලයක් තිබුණේ නැහැ. ජැක්සන් ඇන්තනී මහතා මීට කලින් වරනාගගේ චරිතයට කිහිප දෙනෙකුම යොදා ගෙන ඉන් සෑහීමට පත්විය නොහැකි හින්දයි මාව තෝරාගෙන තියෙන්නේ. ඒ හින්දයි මට  පහුවෙලා පුහුණුවීම්වලට යන්න වුණේ. මම පැසැල් අවදියේත් සටන් කලාව යම්තාක් දුරට පුහුණු කරලා තිබුණා. ඒ නිසා මට අපේ නාට්‍යයේ සටන් අධ්‍යක්ෂකගේ පුහුණු කිරීම් ග්‍රහණය කරගන්න අපහසු වුණේ නැහැ. හැබැයි ඉතින් මෙවැනි චරිතයකදී මීටත් වඩා පුහුණු වීම් වුණා නම් මීටත් වඩා හොඳින් එම ජවනිකා රඟපාන්න තිබුණා. මෙවැනි නිර්මාණවලදී අවම තරමින් වසරක් පමණවත් සටන් පුහුණුවීම් කෙරෙනවා නම් මීටත් වඩා හොඳින් එවැනි ජවනිකා රඟපෑ හැකියි. ඒත් ඉතින් අපේ රටේ තත්ත්වය අනුව මෙබඳු නිර්මාණයකදී පෙරපුහුණුව සඳහා ලොකු කාලයක් ගත කරන්නට බෑ.

ඔබ සටන් ශිල්පය කොයි තරම් දුරට පුහුණුකර තිබෙනවාද....?
මම පාසැල් අවදියේ දී යම්තාක් දුරට ඒ පිළිබඳ හැදෑරීමක් කළා. ඒ අවදිය  ඒ කියන්නේ අසූව දශකය කාලයේ නව යොවුන් ගැටවර පිරිසට සටන් කලාව ගැන ලොකු උනන්දුවක් තිබුණ කාලයක්. බෘෘස්ලී, ජැකී චෑන් වැනි අයගේ චිත්‍රපට නැරඹීම, සටන් කලාව හැදෑරීම ඔය යුගයේ  පාසැල් සිසුවන් අතර රැල්ලක් වුණා. මමත් සටන් කලාව හැදෑරුවේ ඒ කා‍ලේ තමයි. ඉන් පසු ඉබේම වාගේ ඉන් ඈත්වුණා. එහෙම නැතුව මම සටන් ශිල්පය මැනැවින් ප්‍රගුන කළ අයෙක් නම් ‍නෙවෙයි.

ශ්‍යාම්ගේ නවතම රංගනයන් ගැන කතා කළොත් ... ?
ටෙලි නාට්‍ය ගැන කතා කරනවා නම් මම රඟපෑ “තාත්තා” සහ “කණාමැදිරියෝ ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වනවා. “ අහස් මාලිගා” මෙගා ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම සුපුරුදු විදියට වේදිකාව තුළත් ඉන්නවා. “නැතුව බැරි මිනිහෙක්” සහ “ආදරවන්ති” වේදිකා නාට්‍ය මේ දවස්වල විෙදිකා ගතවන අතර නවතම වේදිකා නාට්‍යය “හිත ගත්තු මිනිහෙක්” නොවැම්බරයේදී වේදිකා ගත වේවි. සිනමාපට ගැන කියනවා නම් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන “ගාඩි” චිත්‍රපටයේ කටයුතුවලට ඉදිරියේදී දායක වෙනවා.

 



හඬ නළුවකු විදියට ඔබ දායක වන “මේ ආදරයයි” නාට්‍යයේ රමන්ගේ  චරිතය ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන නාට්‍යයක්.?
දැන් අවුරුදු 3 ක් තිස්සේ එය විකාශය වනවා. තව කොයි තරම් කලක් විකාශය වේවිද දන්නේ නෑ. මම හඬ කැවීම්වලට එකතුවන එකම  විදෙස් නාට්‍යය එයයි.

සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකාව, හඬ කැවීම් ඇතුළු ඉසව් රැසකට එක්වී සිටින ශ්‍යාම් බොහෝ කාර්ය බහුල ඇති.  වෘත්තියෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතරේ කලාවේ යෙදෙන්න කාලය හොයාගන්න එක අසීරු නැද්ද?
ඒ අසීරුතා ගැන හිතලම තමයි මම රැකියාවෙන් ඉවත් වුණේ. වසර විස්සේ සේවා කාලයත් එක්ක මම පහුගිය වසරේ ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියා. දැන් නම් මට සම්පූර්ණ කාලය  කලාවටම යොදන්න පුළුවනි.

මොනවද සාමාන්‍ය තොරතුරු  ?
මගේ ගම කටුනේරිය. ඒත් කලා කටයුතු හින්දා කොළඹ ආසන්නයේ ඉන්න ඕන. ඒ නිසා මම දැනට කඳානේ නිවසක ඉන්නවා මම විවාහකයි. මගේ බිරිඳ සඳුනි ජයසේකර. ඇය වෘත්තියක යෙදෙන්නේ නෑ. හැබැයි ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන ශිල්පය පිළිබඳ උපාධිය ලැබූ කෙනෙක්. මගේ පුංචි පුතා තුමිත. එයාට දැන් වයස අවුරුදු 4 යි. අපි හරි සතුටින් ජීවත් වෙනවා..


සටහන  - ආරියවංශ කුලතිලක

ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.