lakbima.lk

බලු පැටවුන්ට කෑම දෙමින් සිටි සමෘද්ධි නිලධාරියාට හා බිරිඳට ප්‍රහාරයක්

අරණායක නගරයේ ප්‍රධාන බස් මාර්ගය අසල අසරණ වී සිටින සුරතල් බලු පැටවුන් පිරිසකට ඉකුත් 30 දා රාත්‍රියේ කෑම දෙමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට සහ ඔහුගේ බිරිඳට විසිහත් හැවිරිදි පුද්ගලයකු විසින් අතින් පයින් සහ ‍පොල්ලකින් පහරදීම නිසා තුවාල ලැබූ එම දෙදෙනා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි අරණායක ‍පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ අරණායක ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට අනුයුක්තව නාරංගල වසමේ සේවය කරන සමෘද්ධි සංවර්ධන නිලධාරියකු වන බෙලිගහ කොටුවේ ගෙදර උදේනි සමන් කුමාර බක්මීදෙණිය (නාමල්)  සහ ඔහුගේ බිරිඳ වන විජේසිංහ දේවයලාගේ නිල්මිණි චන්ද්‍රකාන්ති  විජේසූරිය යන අඹුසැමි යුවළටය.

රිය අනතුරකට ලක් වී ඇසක් අන්ධ වූ සුනඛයෙකු ඇතුළු, මාර්ගයේ දමා ගිය සුරතල් බලු පැටව් කිහිප දෙනකට අරණායක නගරයේ ප්‍රධාන මාර්ගය අසල ආරක්ෂිත ස්ථානයක් සකසා දී දිනපතා ආහාරපාන දීම  පහර කෑමට ලක්වූ සමෘද්ධි නිලධාරියා සහ ඔහුගේ බිරිඳ කටයුතු කර ඇත. සමෘද්ධි නිලධාරියාගේ මෙම සත් ක්‍රියාව අගයමින් විවිධ පුද්ගලයන් ෆේසබුක් ඇතුළු සමාජ වබේ අඩවි ඔස්සේ ප්‍රශංසා කර තිබුණි.

මෙම සත් ක්‍රියාව පිළිබඳ උරණ වී සිටි අරණායක නගරයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 30 වනදා රාත්‍රී 8.30 ට පමණ බලු පැටවුන්ට කෑම දමමින් සිටි සමෘද්ධි නිලධාරියාට ‍පොල්ලකින් හා අතින් පයින් පහර දී ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ තම සැමියා බේරා ගැනීමට මැදිහත් වීමේදී ඇයට  පහර දී ඇත. පහර කෑමට ලක් වූ අඹුසැමි  යුවළ අසල්වාසීන් විසින් අරණායක රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පසුව ඔවුන් මාවනැල්ල රෝහලටත් කෑගල්ල රෝහලටත් මාරු කර යවා තිබේ.

සිද්ධිය පිළිබඳ අරණායක ‍පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පහර දීම සිදුකළ පුද්ගලයා ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකණය වෙත ඊයේ (02) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අරණායක නගරයේ බෝධි ප්‍රාකාරයේ තිබූ බුදු පිළිමවලටද මීට මාස ගණනාවකට පෙර හානි සිදු කළ අයකු බව පැවැසේ.

සබරගමුව හා දකුණ පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය ‍පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කෑගල්ල ‍පොලිස් අධිකාරි චාමික පී. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ‍පොලිස් අධිකාරී කපිල සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් අරණායක ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රදීප් කුමාර ධර්මරත්න - අරණායක, රෝහාන් සී. ප්‍රේමතිලක - හෙම්මාතගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.