lakbima.lk

ඇමෙරිකාවට ගිය මේනකයි නෙහාරයි ආපහු ලංකාවට ඇවිත්

කෙනෙක් රට හැර ගියොත් දුක්වෙන්නේ ඒ අයගේ නෑදෑ හිතවතුන්. ඒ වුණත් ජනප්‍රිය තරු රට හැර යද්දී රටම ඒ ගැන දුක්වෙනවා. මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිසුත් ඔය විදියට රට හැර යද්දී ඔවුන්ට ආදරය කළ රසික පිරිස් ගොඩක් දුක් වුණා. කාලෙකට පස්සේ ඔන්න මේ දෙන්නා ආයෙමත් ලංකාවට ඇවිල්ලා.  මේ වතාවේ මේනකයි - නෙහාරයි ලංකාවට ආවේ නිවාඩුවකටද? එහෙම නැතිනම් හැමදාම නවතින්නද. ඒ ගැන මේ දෙදෙනාගෙන්ම විමසා දැනගන්න අපි කල්පනා කළා.

ලංකාවට ආවේ ආපහු යන්න හිතාගෙන  - මේනක රාජපක්ෂ

මේනකයි - නෙහාරයි ලංකාවට ආවේ වසර කිහිපයකට පස්සේ නේද?

ඔව්, අවුරුදු 1 1/2කට විතර පස්සේ තමයි අපි මේ විදියට ලංකාවට ආවේ.

හදිසියේම ඇවිත් යන්න හිතුණේ ඇයි ?

නෙහාරාගේ මල්ලිගේ මංගල උත්සවය පැවැත්වුණා. ඒකට සහභාගි වෙන්න තමයි ආවේ.

කොහොමද ඇමෙරිකාවේ ගත කරපු ජීවිතේ ?

මම ව්‍යාපාර කළමනාකරණ හා මූල්‍ය සම්බන්ධව වැඩිදුරටත් ඉගෙන ගත්තා. ඒ ගමන් රැකියාවකුත් කළා. නෙහාරත් එයාගේ අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. මගේ අධ්‍යාපන කටයුතු නම් අවසන්. නෙහාරාගේ අධ්‍යාපන කටයුතු තවමත් අවසන් නැහැ. හරිම සතුටින් නිදහසේ අපේ ජීවිතය ගෙවිලා ගියා. එහේ පාරට බැස්සත් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. කාටත් නීතිය ‍පොදුයි. අනිත් අයගේ දේවල් හොයන අය නැහැ. හැබැයි කෙනෙකුට කරදරයක් වුණොත් හැමෝම උදව් උපකාර කරනවා.

මේනක රඟපෑ අවසන් ටෙලි නාට්‍යයේදී ඔබ හොඳම නළුවාට පවා නිර්දේශ වුණා නේද?

ඔව්, මම අන්තිමට රඟපාලා අවසන් වුණේ චක්‍ර සහ පියස කියන ටෙලි නාට්‍යය දෙකයි. පියස ටෙලි නාට්‍යයේ මා කළ රංගනයට හොඳම නළුවා විදිහට ජනප්‍රිය සම්මාන උළෙලකදී මාව නිර්දේශ වුණා. ඒ 2017 දී. හැබැයි ඒ සම්මාන උළෙලට නම් මම ලංකාවට ආවේ නැහැ.

මේ වතාවේ ආවට පස්සේ කලා ලොවේ යාළු මිත්‍රයෝ හමුවුණාද?

තවම නැහැ. අපි පසුගිය දවස් ටිකේ මංගල උත්සවයේ කටයුතුවල හිටියේ. අපි ආපු බව ගොඩක් අය දන්නේ නැහැ. ඉදිරියේදී ඒ අයව හමුවෙන්න ඕනේ.

මේනකයි නෙහාරයි මේ වතාවේ ලංකාවට ආවේ ආයෙම යන්නද? නැතිනම් නවතින්නද?

අවේ නම් ආයෙම යන්න හිතාගෙන තමයි. ඒත් දැන් නම් තීරණය වෙනස් වෙලා.

ඒ කිව්වේ ? 

අපි ආයෙම යන්නේ නැහැ. ලංකාවේ නවතිනවා

ඒක නම් ඔය දෙන්නගේ රසික රසිකාවියන්ට සතුටු දායක ආරංචියක්. ලංකාවේ නැවතිලා ආයෙම රඟපානවා නම් ඒ සතුට වැඩි වේවි.

ඔව්. අපි ආයෙම රඟපානවා. මම කලින් රඟපෑ රංජිත් ප්‍රේමලාල්ගේ ටෙලි නාට්‍යයක අතරමග නතර වුණා. ආයෙම ඒක පටන් ගන්න යනවා. මම ඒ තුළින් ආයෙම රඟපෑමට එකතු වෙනවා. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් ඒවත් භාරගන්නවා.

එතකොට ඇමෙරිකාවේදී ලැබූ අධ්‍යාපනය ?

අනිවාර්යයෙන්ම ඒවත් ප්‍රයෝජනවත් වේවි. ඒ ගැන වෙනම සැලසුමක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී හෙළි කරන්නම්.

------------------------------------------------------

ඒත් අපි තීරණය වෙනස් කරලා ලංකාවේ නවතින්න තීරණය කළා - නෙහාරා පීරිස්

නෙහාරයි මේනකයි මේ වතාවේ ලංකාවට ආවේ නවතින්නම හිතාගෙනලු නේද?

ඇත්තටම ලංකාවට එද්දී එහෙම අදහසක් අපි දෙන්නාටම තිබුණේ නැහැ. ආවේ මගේ මල්ලිගේ මංගල උත්සවයට සහභාගි වෙන්නයි. ඒත් ලංකාවට ආවට පස්සේ තමයි දිගටම ඉන්නවා කියලා අපි දෙන්නා තීරණය කළේ.

ඒ වගේ තීරණයක් ගන්න හිතුවේ ඇයි ?

අපි කොහොමත් ලංකාවේ නවතින්න එන්න තමයි හිතාගෙන හිටියේ. මේනකගේ අධ්‍යාපන කටයුතු ඉවරයි. මගේ තව එක විභාගයක් තියෙනවා. ඒක තියෙන්නේ ලබන අවුරුද්දේ ජූලිවල. ඒකත් ඉවර වෙලාම එන්නයි හිතාගෙන හිටියේ. ඒත් ලංකාවට ආවට පස්සේ නෑදෑයෝ, යාළුවෝ එක්ක පසුගිය දවස්ටික ගත කරද්දී අපිට ලංකාවේ නවතින්න හිතුණා.

එතකොට නෙහාරාගේ් ඉදිරි අධ්‍යාපන කටයුතු ?

අන්තිම විභාගය ලබන ජූලි නේ. ආයෙම ගිහින් ඒ විභාගය සම්පූර්ණ කරලා එන්න පුළුවන්.

නෙහාරා ඇමෙරිකාවේදී වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ මොනවා ගැනද?

මම පෙරපාසල් අධ්‍යාපනය ගැන තමයි වැඩිදුරටත් ඉගෙන ගත්තේ.

ඒ වගේ විෂය ධාරාවක් ඉගෙනගෙන ලංකාවට ඇවිත් ඒ තුළින් ඉදිරියට යන්නද හිතාගෙන ඉන්නේ ?

ඉගෙනගත්තු දෙයිනුත් ප්‍රයෝජනයක් ගන්න ඕනෑ තමයි. ඒත් තවම ඒ ගැන සැලසුමක් නැහැ. ඉදිරියේදී තීරණය කරනවා මොකද කරන්නේ කියලා.

එතකොට මේනක වගේම නෙහාරත් ආයෙම රඟපෑමට එකතු වෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම මොකද ඉතින් මේකනේ අපේ ක්‍ෂේත්‍රය. ඒක අමතක කරන්න බැහැනේ.

අලුතින් කලා කටයුතුවලට ආරාධනා ලැබුණාද?

මම අන්තිමට රඟපෑවේ සුජාතා ටෙලි නාට්‍යයේ. ඒ 2015දී. අලුත් රංගනයන්ට නම් තවම ආරාධනා ලැබිලා නැහැ. හැබැයි සැප්තැම්බර් 2 වැනිදා පවත්වන 'Derana 60 Plus' අවසන් මහ තරගයට නර්තන නිර්මාණයක් ඉදිරිපත් කරන්න නම් ආරාධනාවක් ලැබුණා.

ඇමෙරිකාවේ හිටපු කාලෙදී එහෙ පදිංචි අපේ කලාකරුවන් හමුවුණේ නැද්ද?

අපි හිටියේ බොස්ටන්වල. ලංකාවේ කලාකරුවෝ ගොඩක් අය ඉන්නේ නිව්යෝර්ක්වල. ඩිලානි අක්කි (ඩිලානි අබේවර්ධන), ජයන්ත අයියා (ජයන්ත බෝපේ ආරච්චි) නම් ශ්‍රී ලාංකික කලාකරුවන් සහභාගි වූ එහේ පැවැති ප්‍රසංගයකදී හමුවුණා.

නෙහාරා - මේනක විවාහ දිවියට දැන් අවුරුදු 4යි. මවක් වෙන්න තවම අදහසක් නැද්ද?

අපි විවාහ වුණේ 2014දී. පසුගිය කා‍ලේ අපේ අධ්‍යාපන කටයුතුවලට අපි දෙන්නගේ හොඳම කාලය වෙන් කළා. දැන් නම් මවක් වෙන්න කාලය හරි තමයි. දෙවියන් වහන්සේගේ තීරණය අනුව හැමදේම සිදුවේවි.

ආරියවංශ කුලතිලක

ඡායාරූප - නවීන් ගුණසේකර

හැඩගැන්වීම -සැලෝන් චන්දිමාල්

Comments  

0 #1 Lawwrence perera 2018-09-04 03:25
හරි පුදුමඊ ලංකාව ඇමෙරිකාවට වෙඩිය කියන එක. මේක විශ්වාස කරන්න එක ඔබගේ වගකීම. ඇමෙරිකාව වගේ නිදහස් , නැගිටින්නට පුළුවන් රටක් ලංකාවත් එක්ක සංසන්දනය කරන්න බැහැ. මේක බොරු ප්‍රකාශයක්
Quote
0 #2 bamunu 2018-09-05 10:51
අනේ අපිනම් දුක්වෙන්නේ නැත. අපිට හිටයත් ගියත් ප්‍රශ්නයක් නොවෙයි
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.