lakbima.lk

සුමති සම්මාන උළෙල 2018 (Photos)

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙල ඊයේ (29) කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 23 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් නිමාට පත්විය. පසුගිය වසරේ පුංචි තිරය ඔස්සේ සුවිශේෂී ප්‍රතිභාවක් පෙන්නුම් කළ කලාකරුවෝ සහ කලාකාරියෝ විශාල පිරිසක් මෙවරද සුමති සම්මානයෙන් පිදුම් ලැබූහ.

වසරේ හොඳම ටෙලි නාට්‍ය නළුවා, හොඳම ටෙලි නාට්‍ය නිළිය, හොඳම ටෙලි නාට්‍යය, හොඳම අධ්‍යක්ෂවරයා, ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම ටෙලි නාට්‍යය යන සම්මානද ඇතුළුව 2017 වසරේදී රූපවාහිනියෙන් විකාශය වූ සියලු වැඩසටහන් ආවරණය වන පරිදි 23 වැනි සුමති සම්මාන උළෙ‍ලේදී සම්මාන පිරිනැමුණි.

ප්‍රේක්ෂකයන්ගේ වැඩිම මනාපය අනුව මෙවර සුමති සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නළුවා ලෙස රවීන් කණිෂ්කත් ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරකාත් අභිෂේක ලැබූහ. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස සම්මාන ලැබුවේ 'සියත' නාලිකාවෙන් විකාශය වූ 'අපේ ආදරේ' ටෙලි නාට්‍යයයි. හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ස්වර්ණවාහිනියෙන් විකාශය වූ සී රජ අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී සම්මානයට බඳුන්විය. සියලු දෙනාගේම අවධානයට ලක්වූ හොඳම නළුවාට හිමි සම්මානය සී රජ ටෙලිනාට්‍යයේ රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු විසින් දිනාගත් අතර බැද්දේ කුළවමිය ටෙලි නාට්‍යයේ රඟපෑ නදී කම්මැල්ලවීර හොඳම නිළිය ලෙස කිරුළු පැලඳුවාය. හොඳම සහය නළුවා ලෙස ජගත් චමිලත් හොඳම සහය නිළිය ලෙස නිරෝෂා තලගලත් මෙවර සුමති සම්මානයෙන් පිදුම් ලැබූහ.

හිරු රූපවාහිනියේ අනුරුද්ධ රත්නායක හොඳම ප්‍රවෘත්ති නිවේදක ලෙස සම්මාන ලබද්දී යොහානි හංසිකා හොඳම ළමා තාරකාව ලෙස මෙවර සුමති සම්මානයෙන් පිදුම් ලැබුවාය. හොඳම ටෙලි නාට්‍ය සහ ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව ලෙස මෙවර ස්වර්ණවාහිනිය ඇගයුමට පාත්‍ර විය.

තමන් වඩාත් ප්‍රියකරන කලා ශිල්පීන්, ශිල්පිනියන් සහ ටෙලි නිර්මාණ සුමති සම්මාන උළෙ‍ලේදී සම්මානයට පාත්‍ර කරවීම සඳහා ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය සහ ජනප්‍රියම ටෙලි නාට්‍යය වෙනුවෙන් 'ලක්බිම' සහ 'රැජිණ' පුවත්පත්වල පළවූ කූපන් පත්, එස්.එම්.එස්. මෙන්ම Sumathi Awards ඇප් එක හරහාද මනාපය පළකිරීමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාව වෙත උදාකර දී තිබිණි. එක් එක් රූපවාහිනී නාලිකා මගින් ඉදිරිපත් කරනු ලැබූ විශේෂාංගයන් ඇතුළු ගායන සහ නර්තනාංග රැසකින් 23 වැනි සුමති සම්මාන උළෙල වර්ණවත් විය.

මෙවර සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කළ අතර, ස්වාධීන රූපවාහිනී සේවය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.

23 වැනි සුමති සම්මාන උළෙල සජීවීව දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් සැප්තැම්බර් 2 වැනි ඉරිදා රාත්‍රී 7.00 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සුමති සම්මාන උළෙල විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

සුමති සම්මාන උළෙ‍ලේදී ජය ලැබූ අනෙකුත් නිර්මාණ සහ නිර්මාණකරුවන් පිළිබඳ විස්තර හෙට (31) ලක්බිම පුවත්පතේ පළවේ.

ඡායාරූප - ෆ්‍රෑන්ක් ද සොයිසා, මංජුල පෙරේරා, ප්‍රියන්ත ගමගේ, ලක්මාල් වසන්ත, තුෂාර අතපත්තු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.