lakbima.lk

දළදා පෙරහර පටන්ගත්දා සිට ඇතුපිට කරඬුව බඳින ඇහැළමල්පේ පරපුර

මහනුවර ඇහැළමල්පේ ඇත්තෝ නුවර ඇසළ පෙරහරට නැතිවම බැරි පරපුරකි. ඒ අද ඊයේ සිට නොව සියවස් ගණනාවක් තිස්සේ සිටය.
ඇසළ මාසයේ පවත්වන නුවර දළදා පෙරහැරේ පුරාණ සංස්කෘතික අංග ගණනාවකි. ප්‍රතාපවත් ගරු ගාම්භීර නිලමේලාය. අලි ඇතුන්ය. ඒත් සධාතුක කරඬුව වඩමවන්නාවූ ඇත් රජු තරම් මේ කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් වටින්නේ නැත. පෙරහර නරඹන බැතිමතුන් මෙම පෙරහර කරඬුව වඩම්මවන්නාවූ ඇත් රජු ඉදිරියේ වැඳ වැටෙති.
මෙසේ ජනී ජනයාගෙන් පිදුම් ලබන ඇත් රජුගේ ඒ ගාම්භීර බව දෙගුණ තෙගුණ කරන්නේ, පූජනීය බව එකතු කරන්නේ, ඇතුපිට බැඳි සධාතුක පෙරහර කරඬුවයි. ඇසළ පෙරහරට නැතිවම බැරි යැයි කී ඇහැළමල්පේ පරපුර කරළියට එන්නේ මෙම පූජනීය පෙරහර කරඬුවත් සමගිනි.
දළදා පෙරහරේ දළදා කරඬුව වැඩම කරන්නාවූ ඇත්රජු පිට රන්සිවි ගෙය බඳින්නේ මෙම ඇහැළමල්පේ පරම්පරාවේ උදවියයි.
“අද ඊයේ ඉඳල නෙවේ නුවර දළදා පෙරහර පටන් ගත්තු දවසෙ ඉඳල මේ රාජකාරිය කරන්නේ අපේ පරම්පරාවේ අය තමයි. ඇහැළමල්පේ මුදියන්සේලාගේ ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේ කියන්නේ ආඩම්බරයෙන්. වත්මනෙහි නුවර දළදා පෙරහරේ සධාතුක කරඬුව ඇතුපිට සවිකිරීමේ රාජකාරිය භාරව සිටින්නේ ඔහුය. සැබැවින්ම ඔහුගේ ආඩම්බරයට අහිංසක හේතුවක්ද ඇත්තේය. ඒ 1974 වසරේ සිට මේ දක්වා පුරා වසර හතළිස් පහක් තිස්සේ මෙම උතුම් රාජකාරිය කරන්නේ ඔහු අතින් වීමයි. මේ වනවිට ඔහු අවස්ථා පන්දහසකට වඩා වැඩියෙන් මේ මංගල රාජකාරිය කර ඇත.
ජයතිස්ස බණ්ඩාර ඇහැළමල්පේට දැන් වයස අවුරුදු හැට දෙකකි. පෙර රජදවස සිට ඔහුගේ පරපුරේ ඇත්තෝ පදිංචිව සිටිනුයේ ගුරුදෙණිය ප්‍රදේශයේය. “මගේ තාත්තා එම්.පී. ඇහැළමල්පේ. මට කලින් එතුමා තමයි මේ රාජකාරිය කළේ. මම අවුරුදු දහ අටේදී , ඒ කිව්වේ 1974 දී එතුමා මිය ගියා. ඉතින් එදා ඉඳලා පහුගිය අවුරුදු හතළිස් පහ පුරාම මංගල හස්තිරාජයා පිට කරඬුව බැන්දෙ මම”. ඔහු තමන් අතට මේ උතුම් රාජකාරියේ වගකීම පැවැරුණු ආකාරය විස්තර කරන්නේය.
සධාතුක පෙරහර කරඬුව වඩම්මවන්නාවූ මංගල හස්තිරාජයා පිට කරඬුව බැඳීමේ වගකීම ඉහත කී අයුරින් පරපුරෙන් පරපුරට පැවැත එන්නක් නිසා දැන් එම රාජකාරි වගකීම ඉටු කරන්නා තමන්ගේ අනුප්‍රාප්තිකයා කල්තියාම තෝරාගෙන එකී රාජකාරිය ඔහුට පුරුදු පුහුණු කරන්නේය. එයද එම පරම්පරාවේ සම්ප්‍රදායකි.
“පරම්පරාවේ මේ සම්ප්‍රදාය නිසා මගේ පියාත් මම පුංචි කා‍ලේ ඉඳලම මාව අරගෙන ගිහින් මේ රාජකාරිය ගැන මට පුහුණුවක් දුන්නා. එතුමා අකාලයේ මියයන විට මට මේ උතුම් කාර්යය භාරගන්න පුළුවන් වුණේ ඒ නිසයි“ ජයතිස්ස ඇහැළමල්පේ කියයි. මේ පරම්පරා සිරිතට අනුව මේ රාජකාරිය ජයතිස්ස බණ්ඩාගෙන් පසු බාරගන්නට සිටින්නාවූ ඇහැළමල්පේ සාමාජිකයා ඔහුගේ පුත්‍රයා අනුෂ්ක ඇහැළමල්පේය. දැන් වසර කීපයක සිටම ඔහුද සිය පියා සමග විත් මේ උතුම් කාරියට පුරුදු පුහුණු වන්නේය.
මෙම පාරම්පරික රාජකාරිය දේව කාරියක් සේ ඉටුකරන ඇහැළමල්පේ ඇත්තෝ පෙරහර කාලයේ ඒ වෙනුවෙන්ම පේවී කටයුතු කරති. මස් මාංශ ආදියෙන්ද මත් පැනෙන්ද වළකිති, කොටහළු අවමඟුල් වැනි කිළිවලට හසු නොවීමට වගබලා ගනිති. ඔහු පමණක් නොව ඇහැළමල්පේලාට මෙම රාජකාරිය වෙනුවෙන් සහය වෙන තවත් දහයක් පමණ වූ කණ්ඩායමේ සියලුම දෙනාද මේ අයුරින් අකුරටම පේ වන්නෝය.
ඇතුපිට කරඬුව බැඳීමේ රාජකාරිය අසීරුවන්නේත් අභියෝගාත්මක වන්නේත් ඇතුට ගලවා ගත නොහැකි ලෙසත් කරඬුව ඇද නොවන පරිදි සවි කිරීමත්ය. ඇතුගේ පිට වඩාත් පැතලි වන්නේ නම් රන්සිවිගෙය බැඳීම පහසුය. පෙරහරේ ගමන් කරන ඇතු ඇඟ හිරි ඇරීමක් කරන අවස්ථාවක කරඬුව තැම්පත් කර ඇති රන්සිවිගෙය ඇදවිය හැකිවෙතැයි ජයතිස්ස ඇහැළමල්පේ කියයි.
රන් හා රිදීයෙන් ආ‍ලේපිත රන්සිවිගෙය කිලෝ දෙසීයක් පමණ බරයි. මුලින්ම ඇතු නහවා ශ්‍රී දළද මාලිගා පරිශ්‍රය වෙත රැගෙන එන්නේය. අනතුරුව ඇතු දළදා මාලිගාවට නමස්කාර කොට සඳකඩ පහන අසල පියගැටපෙල නැගී ඇතුළට ගෙන එන්නේය. මාලිගා ප්‍රවේශයෙන් දකුණු පැත්තේ තියෙන ස්ථානයක තමයි ඇතු සරසවලා කරඬු තැම්පත් කිරීම කරන්නේ. ඇඳුම් අන්දවා ඇතුගේ කාර්යය නිම කිරීම සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත වෙනවා” යැයි ඔහු සිය රාජකාරියේ ස්වභාවය පැහැදිලි කරන්නේය.
“ඇඳුම් අන්දවා සරසා ගත් ඇතු පිට මුලින්ම ඇතු වෙනුවෙන් සකස් කළ මෙට්ටයක් තැම්පත් කරනවා. පසුව ඒ මත නොගැලවෙන හා නොසෙල්වෙන විදියට හම් පටි ආධාරයෙන් වකපුටුව බඳිනවා. පසුව අත්හැට්ටය යොදා රන්සිවිගෙය බඳිනවා. රන්සිවිගෙය ඇතුළේ තමයි සධාතුක කරඬුව තැන්පත් කරන්නේ”.
ජයතිස්ස ඇහැළමල්පේට වසර හතළිස් පහක් තිස්සේ නුවර පෙරහරේ මංගල හස්තීන් කීපදෙනෙකුගේම පිට රන්සිවිගෙය බැඳ සුවිශේෂ අත්දැකීම් ඇත්තේය. ඔහු කියන හැටියට ඇතැම් ඇතුන් පිට රන්සිවිගෙය බැඳීම පහසුය. තවකෙනෙකුගේ අපහසුය. අප කාගේත් ආදරයට ගෞරවයට පාත්‍රව සිටි රාජා ඇතා පිට කරඬුව බැඳීම පහසුයි.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා ඇතාද ඒ අයුරින්ම කීකරු හා රන්සිවිගෙය බැඳීමට පහසු ඇතෙක්. රන්සිවිගෙය බඳින ස්ථානයට ගෙන ආ පසු කළයුතු කාර්යයන් කුමක්දැයි ඉන්දිරාජා ඇතු දන්නවා. ඒ නිසා මට මෙන්ම මගේ සහයකයන්ටත් ඒවගේ ඇතුන් සමග අදාළ රාජකාරිය ඉටු කිරීම වඩා පහසුයි“ ඔහු කියන්නේය.
ජයතිස්ස ඇහැළමල්පේ කියන හැටියට නම් නැදුන්ගමුවේ ඇතා ප්‍රමාණයෙන් විශාල නිසා එම ඇතු වෙනුවෙන් වෙනම සූදානම් විය යුතුය. “නැදුන්ගමුවේ රාජා ඇතු ලොකු හිරියක් ඇරියොත් කරඬුව ඇදවන නිසා ඒ වගේ ඇතුන් වෙනුවෙන් දැඩි අවදානයක් යොමු කර රන්සිවිගෙය බඳිනවා” හෙතෙම පැහැදිලි කරයි.
මංගල හස්තිරාජයා පිට කරඬුව බැඳීමෙන් පමණක් ඇහැළමල්පේ පරපුරේ ඇසළ පෙරහර රාජකාරිය නිම නොවේ. ඇතු සමග පෙරටුව පෙරහරෙ ගමන් කිරීමද මේ පරපුරට පැවැරී ඇති රාජකාරියේම කොටසකි. නැතහොත් පැරණි සිරිතකි. ඒ යම් හෙයකින් ඇතෙකු කුලප්පු වුවහොත් කරඬුව ආරක්ෂා කරගැනීම සඳහාය.
1992 අවුරුද්දේ රත්නපුර මහ සමන් දේවාලයේ ඇතා තමයි කරඬුව වැඩම කළේ. පෙරහර ආරම්භ වුණා විතරයි. ඇතා කුලප්පු වුණා. මහ සෙනඟ අස්සේ ඇත් ගොව්වාට පහර දීල ඇත් ගොව්වාගෙන් මිදුණු ඇතා මහ මළුව පැත්තට දිව්වා. ආරම්භ වූ පෙරහර ඒ වනවිට දළදා වීදිය දිගේ රැජින හෝටලය අසලින් යනවා. ඇතා කුලප්පු වූ බව පෙරහරේ මුල් කොටස දන්නේ නැහැ. කරන්න දෙයක් නැති තැන ඇතා නිර්වින්දනය කරන්නැයි දියවඩන නිලමේවරයා පශු වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා.
නිර්වින්දන එන්නත විදල මිනිත්තු දහයකින් පමණ ඇතා මහ මළුවේ වැටුණා. ඒ වනවිට ජයරාජා ඇතු පෙරහරේ ගමන් කරමින් සිටියේ. කරඬුව වැඩම කිරීමට ඊළඟට සුදුසුම ඇතා ඔහුයි. ගමන් කරමින් සිටි ඇතා නරඹන්නන්ට බාධා නොවන ලෙස දළදා මාලිගා පරිශ්‍රය වෙත කැඳවා මිනිත්තු තිහක් වැනි කාලයකදී රන්සිවිගෙය බැඳල කරඬුව තැම්පත් කරල පෙරහරට එකතු කළා. එදා ඒ පෙරහරේ ඇතෙක් කුලප්පු වුණා කියල දන්නේ මහ මළුවේ සිටි අය පමණයි.
මගේ පියාගේ අභාවයෙන් පසු රාජකාරිය භාරගත් රාජා ඇතාගේ සිට කන්දා, ජයරාජා, රත්නපුර සමන් දේවාලයේ ඇතා, කොළඹ ගංගාරාමයේ දළ පූට්ටුවා, මිල්ලන්ගොඩ ලොකු ඇතා, මිල්ලන්ගොඩ ‍පොඩි ඇතා, සිංහරාජා, ඉන්දිරාජා, තායිරාජා, මිගාර, ඒකදන්තයා, කතරගම වාසනා සහ වත්මන් නැදුන්ගමුවේ ඇතා වැනි ඇතුන් දහ හතරක් පිටම රන්සිවිගෙය බැඳීමේ අවස්ථාව මට හිමිවී තිබෙනවා. නමුත් අද වනවිට එයින් ඇතැම් ඇතුන් අප අතර නැහැ. මිය ගියත් ඒ ඒ අලි ඇතුන්ගේ හැසිරීම් ගතිගුණ කිසිසේත්ම අමතක වන්නේත් නැහැ. ජයතිස්ස ඇහැළමල්පේ කියන්නේ බැති සිතිනි.
“රාජා ඇතු මෙන්ම හීලා ඇතෙකු වන ඉන්දිරාජා ඇතු වසර විස්සක කාලයක් කරඬුව වැඩම කර අත්දැකීම් ඇති ශ්‍රී දළදා මාලිගාවට අයත් සද්දන්ත කුලයේ ඇතෙක්. පාද සමග හොඩය, වල්ගය හා ලිංගය ‍පොළොවේ ගෑවෙන තත්ත්වයේ පැවැතීම මංගල සලකුණක්. ඉන්දිරාජාද එවැනි ඇතෙක්. වර්ෂ 2009 දී කුඹල් හා රන්දෝලි පෙරහර දහයම කරඬුව වැඩම කිරීමේ කාර්යය පැවැරුණේ ඉන්දිරාජා ඇතුට. වර්ෂ 2014 දී ඉන්දිරාජා ඇතු කරඬුව වැඩම කරමින්  ගමන් කරන විට දෑ‍ලේ සිටි ඇතෙකු කොටුගොඩැල්ලවීදියේදී ඉන්දිරාජා ඇතුට පහර දුන්නා සාමාන්‍ය ඇතෙකුට බිය නොවන තරම් සද්දන්ත ඇතෙකු වූ ඉන්දිරාජා කිසිසේත්ම ගැටුමකට එළැඹුණේ නැහැ. තමන්ට පැවැරී ඇති රාජකාරිය පිළිබඳ අවබෝධයක් ඇති ඇතු පහර කා වේදනාව දරා ඉවසීමෙන් යුතුව සිටියා. දෑල ඇතුන් පසු පසට දමා එතැන් සිට ශ්‍රී දළදා මාලිගාව කරා ඉන්දිරාජා තනිව ගමන් කිරීමට පියවර ගත්තා. සිය රාජකාරිය ගැන කතා කරන අතරේම ඔහු මාලිගාවේ ඇතුන් ගැන සිය අත්දැකීමද කියන්නේය.
සධාතුක කරඬුව වඩම්මවන්නා වූ ඇතෙකුට සෙසු හස්තියෙකුට නැති බරක් ඔසවාගෙන පෙරහරේ යෑමට සිදුවේ. වකපුටුව කිලෝ 50ක් විතර බරයි. ඒ මත සවිකරන රන්සිවිගෙය කිලෝ 200ක් පමණ බරය. අලංකාර කරන ලද ඇඳුම් කට්ටලයේ බරද කිලෝ 50ක් පමණ වේ. පැය ගණනාවක් දැල්විය හැකි බල්බ සඳහා යොදන ලොකු බැටරි හතරක් කිලෝ 100ක් පමණ බරැතිය. ඒ අනුව මෙම මංගල හස්තියා පෙරහරේ ගමන් කරන්නේ කිලෝ 400ක් පමණ බර දරාගෙනය.
“දන්තධාතූන් වහන්සේ වෙනුවෙන් පුද පූජා කිරීමට පෙර පින් තිබිය යුතුයි. දළදාව වඩම්මවන ඇතා සැරසවීමට ඊටත් වඩා පින් තිබිය යුතු බවයි මගේ විශ්වාසය. බොහෝ දෙනෙකුට දැකිය නොහැකි අවස්ථාවක් තමයි ඇතු පිට රන්සිවිගෙය සවිකර එය මත කරඬුව තැම්පත් කිරීමේ අවස්ථාව,’’ පරම්පරාවෙන් ලැබුණු එම උරුමය මියයන තුරු ගෞරව බහුමානයෙන් යුතුව ඉටු කරන බව ජයතිස්ස ඇහැළමල්පේ කියන්නේ මහත් බැතියෙනි.

නදීක දයා බණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.