lakbima.lk

බිරිඳ මරා කි.මී.62ක් ගෙන ගොස් මොරගහකන්දට දැමූ සැමියෙක්

පසුගිය සතියේ ‍පොළොන්නරුවේ සෑම තැනකම කතා කෙරුණේ, සෑම තැනකින්ම අසන්නට ලැබුණේ එකම කතාවකි. ‍පොළොන්නරුව කම්පා කළ ඒ කතාව ජනමාධ්‍ය ඔස්සේ තටු ලබා මුළු රටේමත් කතාවට ලක්වූයේය.
‍පොළොන්නරුවේ තරුණ ගුරුවරියක් ඝාතනය කළ ඇගේ සැමියා එම මළ සිරුර කිලෝමීටර් හැටදෙකක් දුර පිහිටි මොරගහකන්ද ජලාශයට ගෙනගොස් දැමීම එසේ කතා බහට ලක්වූ කතා පුවතයි.
මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ ‍පොළොන්නරුව ගල්හබරාව ශ්‍රී නිශ්ශංකමල්ලපුර පදිංචිව සිටි මනෝරි සසන්තිකා තොටගමුව නමැති තිස්හය හැවිරිදි ගුරුවරියයි. ඇය මරා දැමීම පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ ඇගේ සැමියා වූ තිස්හත්හැවිරිදි මහින්ද කුමාර නමැත්තාය.
කළුතර බෝඹුවල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ මනෝරි ‍පොළොන්නරුව නගරයේ ප්‍රධානතම පාසලකට සිය     පළමු පත්වීම ලබන්නේ 2010 වසරේදීය. ඒ දඹදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් පුහුණුව ලැබිමෙන් පසුවය. බුද්ධාගම හා බෞද්ධ  ශිෂ්ඨාචාරය යන විෂයන් ඉගැන්වීම සම්බන්ධව විශේෂ දක්ෂතා දැක්වූ ඇය ඒ පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර නොමද ගෞරවාදරය දිනා සිටියාය.
‍පොළොන්නරුවට පැමිණි මනෝරි ඉරිදා දිනවල ඓතිහාසික ගල්විහාරය පන්ස‍ලේ දහම්පාස‍ලේ ගුරුවරියක ලෙසද කටයුතු කළාය. ඇයට සිය සැමියා වූ මහින්ද කුමාර හමුවන්නේ එම දහම් පාස‍ලේදීය. ඔහුද එම දහම් පාස‍ලේම ගුරුවරයෙකු සේ කටයුතු කළේය.
දෙදෙනාගේ එම හමුවීම ප්‍රේමයක් බවට පත්වී අවසානයේ දෙදෙනා විවාහවන්නේ මනෝරිගේ පාර්ශ්වයේ විරෝධය මධ්‍යයේය. ඒ 2016 වසරේදීය. ඒ වගේම මහින්ද රැකියාව කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකු හැටියටය.
ඒත් විවාහ වී ටික කලකින් මහින්දගේ රැකියාව අහිමි වන්නේය. මේ වනවිට සිය දියණියගේ හිතුවක්කාර විවාහයට සමාව දී තිබූ මනොරිගේ මව්පියෝ ඇයට ලීසිං පදනම මත මෝටර් රථයක්ද ගෙන දී තිබුණේය. මනෝරි එහි ඉතිරි වාරික මෙන්ම බැංකුවලින් ගෙන තිබූ ණය සිය වැටුපෙන් ගෙවූ අතර මෙම ණය වාරික ගෙවීමෙන් පසුව ඇගේ වැටුපෙන් රුපියල් 2000ක්වත් ඇගේ අත ඉතිරි වූයේ නැත.
මේ අතරතුර එනම් 2017 දී මනෝරි දියණියක් බිහි කළාය. ඒ සමගම ඇතිවූ ආර්ථික ප්‍රශ්න නිසා මහින්ද පෙදරේරුවෙකු ළඟ අත්වැඩදෙන්නට ගියේය. ටික කලකින්ම එයද එපාවූ ඔහු නැවත වරක් විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීමේ අංශයේ සුළු රැකියාවකට ගියේය. ඒත් ඔහු එම රැකියාව කළේද සුළු කාලයකි. එයද අතහැර දැමුවේය. ඒ අතරේ ඔහු ගිහිපිරිත් කණ්ඩායමක් හා එක්ව පිරිත් කියන්නටද ගියේය.
ඉකුත් ජූනි මස 20දා මනෝරී සිය සේවාස්ථානයෙන් කෙටි නිවාඩුවක් ඉල්ලා අනුමත කරගන්නේ 21දා දියණිය වෛද්‍ය සායනයට කැඳවාගෙන යාමට තිබූ නිසාය. දෝනිට බේත්විදල මම හවස ස්ටාෆ් මීටින් එකට එනව. මම එනකල් මගේ පන්තිවල වැඩ ටිකක් බලන්න. 20දා පාසලෙන් මනෝරි පිටව ගියේ ගුරුමණ්ඩලයේ හිතවතුන්ට එසේ කියමිනි. ඒත් ඇය 21 දා ගුරුමණ්ඩල රැස්වීමට ආවේ නැත. පසුවද සැමියා සිය බිරිඳගේ මිතුරියකට දුරකථනයෙන් කතා කොට කියා ඇත්තේ බිරඳ ආගිය අතක් නැති බවය. එයින් මුලු පාසලම කැළඹී ගියේය. අතුරුදන් වීම ගැන ගුරුවරුන් අතරේත් සිසු දරු දැරියන් අතරේත් විවිධ කටකතා පැතිරෙන්නට විය.
මේ අතර මනෝරිගේ ගුරුමණ්ඩලයේ ගුරුවරු කීපදෙනෙක් ඇගේ සැමියා වූ මහින්ද හමුවීමට ගියේය. අතරමගදී ඔවුන්ට මහින්ද හමුවූ අතර එහිදීත් සිය බිරිඳගේ අතුරුදන්වීම පිළිබඳ හඬා වැලපෙමින් කතා කළ ඔහු නිදහසේ කතා කළයුතු බව කියමින් ඔවුන් සමග රංකොත් වෙහෙර අසලට ගිය බව එම ගුරුවරු කියති.
රංකොත් වෙහෙර අසල බැම්මේ වාඩි වූ ඔහු එම ගුරුවරුන් හමුවේ හඬා වැලපෙමින් පැයකටත් වැඩි කාලයක් කතා කොට ඇත්තේය. එහිදී සිය බිරිඳගේ වැරදි ගැනද කතා කළ ඔහු මීට පෙරද දෙතුන් වතාක්ම ඇය මෙසේ නිවසින් ගොස් සිටි බවද ඔවුන්ට පවසා ඇත්තේය.
මෙම අතුරුදන්වීම ගැන අපද එකල වාර්තා පළ කළ අතර මේ පිළිබඳව විමර්ශන සිදු කරන ‍පොළොන්නරුව මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති එස්.එම්.ජරූල් මුල සිටම අප සමග කියා සිටියේ මෙම අතුරුදන්වීම ගැන තමන්ට සැක ඇත්තේ සැමියා බවයි.
කෙසේ වෙතත් මනෝරිගේ සැමියා මහින්ද පසුගිය 15 වැනිදා සවස ‍පොළොන්නරුව ‍පොලීසියට භාරවූයේ ඒ ගමේ පන්ස‍ලේ හාමුදුරුවන් වෙත ගොස් උන්වහන්සේට තමන් සිය බිරිඳ ඝාතනය කළ බව දැන්වීමෙන් පසු උන්වහන්සේ ලබා දුන් උපදෙස් පරිදිය.
එදා උදේ දරුවා අඬනවා කියලා දෙන්නා අතර බහින් බස්වීමක් සිදු වෙලා තියෙනවා. පස්සේ ඒ බහින් බස්වීම ගුටිබැට හුවමාරුවක බවට පත්වෙලා. මේ සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කීවේ එහෙම ගුටි බැට දෙන විට බිත්තියට හේත්තු කර පහරදී ගෙල සිරකළ බවයි. ඊට පස්සේ කාමරේට ඇදගෙන ගිහින් තියලා දරුවා ක්ලිනික් එකට එක්ක ගිහින් ඇවිත් හැන්දෑවේ 4.00ට විතර කාර් එකේ පිටිපස්සේ දගෙන ඇවිත් මොරගහකන්ද ජලාශයේ නාවුල නැරඹුම් මධ්‍යස්ථානයෙන් පහළට විසිකරලා තියෙනවා. ඒ අනුව අපි ස්ථානීය පරීක්ෂණයක් ඇරඹුවා නාවුල ‍පොලීසියේද උදව් ඇතුව. මියගිය මිනිස් අස්ථි කොටස් හමුවුණා. ඒ වගේම රෙදි කඩ කිහිපයක්ද තිබුණා. සැකකරු පෙන්නපු ස්ථානයෙන් අඩි 150ක් විතර පහළ තමයි මේ ඇටකටු ටික තිබුණේ. ‍පොළොන්නරුව මූලස්ථාන ‍පොලිස්   පරීක්ෂකවරයා පැවැසීය.
ඒ අනුව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය නාවුල මහේස්ත්‍රාත් ලුශාකා කුමාරි ධර්මකීර්ති විසින් සිදු කළ අතර නාවුල ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.‍පො.ප. අයි.ජී. දසනායක ඇතුළු ‍පොලිස් කණ්ඩායමක් ඊට සහය දුන්හ. මහේස්ත්‍රාත්වරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාත‍ලේ මහ රෝහ‍ලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කළ යුතු බව නියෝග කළේය. මේ අතර සැකකාර සැමියා පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා වෙත ඉකුත් 18දා  ඉදිරි පත්කිරීමෙන් අනතුරුව ලබන 28දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තබන ලෙස නියෝග කළේය.
මෙම සිද්ධියේ සුවිශේෂත්වය වන්නේ බිරිඳ මරා දමා ඇයගේම මෝටර් රථයෙන් කිලෝමීටර් 62ක් දුර ගෙනගොස් මොරගහකන්ද ජලාශයට දමා  කිසිවක් සිදු නොවූ අයුරින් ‍පොලීසියත්, ඥාති හිතමිත්‍රාදීනුත් මාස ගණනාවක තිස්සේම නොමග යවන්නට මෙම පුද්ගලයා සමත්වීමයි. කෙසේ වෙතත් මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන ‍පොලීසිය පවසන්නේ ඔහු මීට පෙර ද විවාහයක් කරගෙන සිට අයෙකු බවත් දින පතාම අඬදබර ඇති කරගෙන එම තැනැත්තියවද පන්නා දමා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ‍පොළොන්නරුව ප්‍රදේශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ධම්මික වීරසේකරගේ උපදස් පරිදි ‍පොළොන්නරුව ප්‍රදේශය භාර ‍පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වාගේ අධීක්ෂණය යටතේ ‍පොළොන්නරුව මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති මු.‍පො.ප.එම්.එස්.එම්. ජරූල් ප්‍රධානත්වයෙන් හා අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති ‍පො.ප.චන්ද්‍රසේකර මහතා ඇතුළු විශේෂ ‍පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප්‍රියන්ත බණ්ඩාර
 

Comments  

0 #1 indralal de silva 2018-08-29 03:22
ada wena dewal dekkama pissu hedenawa
Quote
+3 #2 mahendra 2018-08-30 20:08
Who take this type of people as DAHAM PASAL teacher & to a Chanting team member? Daham Pasale hamuduruwo danne nedda meyage atheethaya?
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.