lakbima.lk

කඩුලු පනින, හරක් බලන යාය පහ නවෝද්‍යාවේ ගණන් සර්

මද්දහනේ අහසේ මුදුනට පැමිණි හිරු තවමත් එතැනමය. සැඩ හිරු කිරණ ගෙනඑන විඩාව නිවන්නට මෙන් වැව්පිටි සිසාරා එන සුළං රැලි දසත හඹා යන්නේය. රාජාංගණය යාය පහ නවෝද්‍යා පාස‍ලේ සිසු සිසුවියෝ සීනු නාදයට නැගී සිටියෝය.
ඔවුහු තාලයට ඡත්ත මානවක ගාථා ගයද්දී නොහික්මුණු සිසුන් දෙතුන් දෙනෙකු පන්ති කාමරයෙන් එළියට පා තබා අවසන්ය. දඟකාර සිසුන් බොහෝමයකට ඇත්තේ  ගෙදර යන්නට හදිසියකි. තවත් පිරිසක් සිටින්නේ ක්‍රීඩා පිටියට දිව යෑමේ සිහියෙනි. යාය පහ නවෝද්‍යා පිට්ටනියට දුවන්නට මාන බලන පිරිසේ සිසුන් පමණක් නොව ගුරුවරයකුද හුන්නේය. ඒ විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරයා යැයි ඔබට සිතෙන්නට බැරි නැත. සැබැවින්ම ඒ ක්‍රීඩා ගුරුවරයා නොව විද්‍යාලයේ ගණිත ගුරුවරයාය. නමින් ටී.ජී. ජයරත්න නම් වන ඔහු යාය පහ නවෝද්‍යා පාසලට පැමිණෙනුයේ මින් ටික කලකට පෙරය. අලුතින් ආ ගණන් සර් වෙන සර්ලාට වඩා වෙනස්ය. පාසලෙන් පසු ගණන් සර් ට්‍රැක්සුට් එකක් ඇඳ පිට්ටනියේ ව්‍යායාම් කරන්නට පැමිණෙන්නේය. ඊට අමතරව ගණන් සර්ට ක්‍රීඩා පුහුණු කරන්නට තවත් සර් කෙනෙක්ද පැමිණෙන්නේය. ඒ කලාප කාර්යාලයේ කේ.ඒ.ඩී. සුදත් ප්‍රියන්ත සර්ය. හෙට අනිද්දා ගණන් සර් පිටරට තරගයකට යනවලු ආරංචිය යායපහ නවෝද්‍යා විද්‍යාලයේ කොයි කාටත් රහසක් නොවේ.
ගණන් හදන කඩුලු පනින මේ ජයරත්න සර් සොයා පසුගියදා අපි රාජාංගණය යායපහ නවෝද්‍යා විද්‍යාලයට ගියෙමු. අප එහි යනවිටත් පාසල නිමවී තිබුණද සිසු සිසුවියෝ පාසල් බිමෙන් මුළුමනින්ම බැහැරව නොසිටියෝය.
කෝ ගණන් සර්' අපි එක සිසුවියකගෙන් විමසුවෙමු.
සර් ‍පොම්ප කාමරේ ඇති. අන්න අර අතන ඈතින් දිස්වෙන කුඩා කුටියක් අපට පෙන්වූ ඕ තම මිතුරියන් වෙත දිවගියාය. අපට ඇත්තේ තව කුතුහලයකි. ගණන් හදන කඩුළු පනින ජයරත්න සර් කාර්මිකයකුද විය යුතුය. නැතිනම් ඔහුට ‍පොම්ප කාමරයේ කරන්නට රාජකාරියක් තිබිය නොහැක. අපි ‍පොම්ප කාමරයට එබෙන විටත් ජයරත්න සර් එහි තිබූ ලී කඩුළු කීපයක් එළියට ගනිමින් සිටියෝය.
මේකේ තමයි මගේ ක්‍රීඩා භාණ්ඩ දාලා තියෙන්නේ පවසමින් ඔහු කඩුලු පැන දිවීමට ඕනෑ කරන අඩු වැඩිය ‍පොම්ප කාමරයෙන් එළියට ගත්තේය. කේ.ඒ.ඩී. සුදත් ප්‍රියන්ත ගණන් සර් එනතුරු ක්‍රීඩා පිටියේ බලා සිටියේ උන්නදුවෙනි. කඩුලු නිසි පිළිවෙලට සිටවා ඒ මතින් සිය පාද ක්‍රමානුකූලව වෙහෙසමින් ජයරත්න පුහුණුවේ යෙදෙයි. ක්‍රීඩා පිටියේ පසෙක සිසු සිසුවියෝ කිහිපදෙනකුද ක්‍රීඩා පුහුණුවේ යෙදෙති. ඔවුන්ට ගණන් සර්ගේ කඩුලු පැනිල්‍ලේ අරුමයක් නැති සේය. අපිද පසෙකට වී මේ සියල්ල බලා සිටියෙමු.
පුහුණුව නිම කළ ගණන් සර් අප වෙත පැමිණෙන විට සවස් වී තිබුණි. අපි ගෙදරටම ගිහින් කතා කරමු රාජාංගණය යාය පහ ගොවිජනපදයේ පිහිටි ජයරත්න සර්ගේ ගෙදරට අපි ගොඩ වදිනුයේ එකී ආරාධනාවකට අනුවය. මේ ඔබ කියවන්නේ රාජාංගණය ගොවිජනපදයේ ගොවි ගෙදරක පි‍ලේ සිට අප ඇසූ ගණං සර්ගේ කතාවයි.
අපේ අම්මලා තාත්තලා කළුතර මතුගම පළාතේ. 1960 ගණන්වල ගොවිජනපද ව්‍යාපාර යටතේ ඉඩම් ලැබිලා ඒ අය රාජාංගණයට එනවා. මම ඉපදුණේ පාසල් බිමේ මේ පළාතේමයි ඒ ජයරත්න නැතිනම් කවුරුත් දන්නා පරිදි ගණන් සර්ගේ උප්පත්ති කතාවය. මේ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ තොරතුරුය.
මම ක්‍රීඩාවට හරියට යොමු වුණේ අ.‍පො.ස. සාමාන්‍ය පෙළ කලාට පස්සේ. නිවාසාන්තර තරගවලට මීටර් 800 දිව්වා, 1500ත් කරා. පළාත් මට්ටමට යනකං මම ගියා. ඔය අතර උසස් පෙළත් කළා. ඒත් විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඊට පස්සේ මම ගොවිතැනට බැස්සා. කුඹුරු කළා. හරක් හැදුවා. ඔය ඔක්කොම කරන අතරේ ක්‍රීඩාවත් කළා. මේ අතරේ මට පුහුණු ගුරු පත්වීමක් හම්බවුණා ගණන් සර්ගේ ක්‍රීඩා ජීවිතයේ තොරතුරුය.
පාසලෙන් ඉවත් වන ජයරත්න පළාත් ක්‍රීඩා සඳහා පුහුණු වන්නේය. මීටර් 800-1500 මෙන්ම ඔහු කඩුලු මතින් දිවීම (මීටර් 400) තරගයටද එක්වන්නේ මේ අතරය. ඔහුගේ දස්කම් නිසාම කෙටි කලකින් 400*4 සහය දිවීමේ කණ්ඩායම සඳහාද ජයරත්න තේරී පත්වන්නේය. උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙ‍ලේ මීටර් 400 වාර්තාව තවමත් ඇත්තේද ජයරත්නගේ නමිනි. ජයරත්නට පාසල් ගුරු පත්වීමක් ලැබෙනුයේ මේ අතරතුරදීය. ඒ සමගම ඔහු ජාතික ගුරු ක්‍රීඩා උළෙලටද එක්වන්නේය. පාස‍ලේ වැඩ ගොවිපළේ වැඩ හා ක්‍රීඩා පුහුණුවීම් නිසා මේ ගුරුවරයා දැඩි කාර්යබහුල දිවියක් ගත කරන්නේය. ලංකාවේ කෙළිපිටි දෙවනත් කළ ජයරත්න ගුරුතුමන් හට හාපුරා කියා විදේශයක තරග වදින්නට ලැබෙනුයේ 2012දීය. ඒ චීනයේ පැවැති ආසියානු ප්‍රවීණ මලල ක්‍රීඩා තරගාවලියේදීය. එහිදී මීටර් 400 කඩුලු මතින් දිවීම තරගයෙන් දවෛනි තැන දිනාගත් ගණන් සර් ක‍ලේ රත්න, ගාමිණි සහ ධනරත්න යන සගයන් සමග එක්ව 400*4 තරගයෙන් රන් පදක්කම දිනා ගත්තේය. ගණන් සර්ගේ ජගත් ක්‍රීඩා මෙහෙයුම් එතෙනින් නතර වන්නේ නැත. මේ ඔහු ඒ පිළිබඳ දක්වන අදහස්ය.
2013 මම තායිලන්ත විවෘත තරගාවලියට ගියා. ඒකෙදි මීටර් 400 තුන්වෙනි තැනත්, මීටර් 800 දවෛනි තැනත් දිනුවා. ඒ එක්කම සිංගප්පූරු විවෘත ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලටත් යන්න ලැබුණා. එහිදී මීටර් 400 තුන්වැනි තැනත්, මීටර් 800 දුවලා ලෝකයෙන්ම පළමු වැනියා වන්නත් මට පුළුවන් වුණා. ජයරත්න පවසනුයේ සිනහා සෙමිනි.
සැබැවින්ම ඔහුගේ ජගත් කෙළිබිම ජය ගැනීම ඉන් නතර වන්නේ නැත. 2015 ජපානයේ පැවැති ආසියානු ප්‍රවීණ මලල ක්‍රීඩා තරගයට සහභාගි වී මීටර් 400 කඩුලු මතින් දිවීම තරගයේ තුන්වැනි තැන, 2017 චීනයේ පැවැති ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙ‍ලේදී මීටර් 400 කඩුලු මතින් දිවීම තරගයෙන් පළමු තැනද දිනා ගන්නට ජයරත්නට හැකිවන්නේය. සැබැවින්ම එම චීන තරගාවලිය සුවිශේෂී එකකි. ඒ එම ජයග්‍රහණ නිසා 2018 සැප්තැම්බර් මාසයේ ස්පාඤ්ඤයේ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ලෝක මලල ක්‍රීඩා තරග නියෝජනයට ඔහුට වරම් ලැබිමය.
දොළ ගලන්නාක් මෙන් හැල්මේ ගලාගිය ගණන් සර්ගේ ක්‍රීඩා දිවියට සැලකිය යුතු බාධාවක් දැන් ඔහුට එල්ලව තිබේ. ඒ ස්පාඤ්ඤ ගමනට මුදල් සොයා ගැනීමය. ගමනට විතරක් නමෛයි ලක්ෂ පහක ඇප මුදලක් බඳින්නත් ඕන. මා ළඟ සල්ලි නෑ.
එහෙත් ඔහු සේවය කරනා රාජාංගණය යායපහ නවෝද්‍යා විදුහ‍ලේ ගුරුවරු සීට්ටුවක් එකතු කර ජයරත්න ස්පාඤ්ඤයට යැවීමට කටයුතු කරමින් සිටිති. ඒක කරන්න පුළුවන් වෙයිද මන්දා. මීට කලින් මම පිටරට ගියේ පඩියෙන් කැපෙන්න ණයක් අරගෙන. දැන් මගේ පඩියෙන් 20,500ක මුදලක් ණය මුදලට කැපෙනවා. මට ආයි ණයක් ගන්නත් බෑ. ඒ නිසා කවුරු හරි මට උදව් කරනවානං ඒ වෙනුවට රටට පදක්කමක් ගෙනත් දෙන්න මට පුළුවන්.
දිගු පිළිසඳරකට පසු අපි මේ අප්‍රතිහත ධෛර්යෙන් යුත් මිනිසාට සමුදෙන්නට සූදානම් වූවෙමු. මාත් එනවා වෙල දිහාවට යන්න යැයි පැවැසූ ඔහු වහලයේ පරාල අතර සඟවා තිබූ දෑකැත්ත එළියට ඇදගනිමින් පැවැසුවේය.
මොකද කලින්ම ගොයං කපන්න යනවාදැයි ඔහුගෙන් නිකමට විමසුවෙමි.
නෑ... තණ කොළ ටිකක් කපන්න යනවා. මම කිරිහරක් දෙන්නෙක් හදනවා. ඒ දෙන්නාට කෑම ටිකක් දෙන්න ඕන නෙව. මුළු පඩියම ලෝන්වලට කැපෙන නිසා මම මෙහෙම හරි ගැටගහගන්නේ මේ හරක් දෙන්න නිසා නිර්ව්‍යාජ සිනහවකින් මුව සරසාගත් ගණන් සර් පැවැසීය. මේ මුදල හොයා ගන්න බැරිම වුණොත් මොකද කරන්නේ මම ගණන් සර්ගෙන් විමසුවෙමි.
මොනවා කරන්නද. තව කිරි හරක් දෙන්නෙක් ගෙනල්ලා හදා ගන්නවා. එතකොට මට කීයක් හරි වැඩිපුර ලැබෙනවානේ ජයරත්න පවසනුයේ කලකිරීමෙනි. සැබැවින්ම කෙනකු ගොවිකමට යොමුවීම රට කම්පා කරනා දෙයක් නොවේ. ඒත් ජයරත්න වැනි මිනිසෙකු ක්‍රීඩා පිටිය අතහැර හරකුන් බලනා තැනට පත්වීම තුළින් අහිමිව යන්නේ ඔහුට පමණක් නොව ලක්මවටද හිමිවිය යුතු රන් පදක්කම්ය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Comments  

0 #1 Saman 2018-08-29 11:18
Plz contact
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.