lakbima.lk

තෙවරප්පෙරුමගේ අංගමැඩිල්ල මෙහෙයුම

මැණික්පුරය රත්නපුරයයි. මැණික් තිබෙන්නේ, මැණික් ගරන්නෙත් රත්නපුරයේය. ඒත් පසුගිය සතියේ දවසක මේ මැණික් ලැබෙන ‍පොළවේ පිරිසක් මැණික් වාසනාව සොයා රත්නපුරයෙන් ඈත පිහිටි ‍පොළොන්නරුවට ගියෝය. ඒ ‍පොළොන්නරුවේ අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ නිම්නයටය.
සුඛෝපභෝගී රියවලින් අංගමැඩිල්ලට ගිය පිරිස දහසය දෙනෙකි. ඔවුන් අත කිමිඳෙන්නට අවශ්‍ය සියලු උපකරණද විය. ඒ පසුගිය 16 වැනිදාය.
මේ අතරේ වනජීවි හා තිරසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්රෙැම ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලැබෙන්නේය.
සර්... අංගමැඩිල්‍ලේ කවුද කට්ටියක් ඇවිත් නිදන් හොයනවා ‍පොඩ්ඩක් බලන්න. මේකට වනජීවි නිලධාරිනුත් සම්බන්ධ ඇති ඒ දුරකථන ඇමැතුමෙන් කියැවිණි.
වහාම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දුරකථන ඇමැතුමක් ලබාදී සිද්ධිය බැලීමට උපදෙස් දුන් නියෝජ්‍ය ඇමැතිවරයාට තවත් හෝරා කිහිපයකින් යළි පණිවුඩයක් ලැබුණි. ඒ වනජීවි නිලධාරියෙකුගෙනි.
සර්... මේකට වනජීවි එකත් සම්බන්ධයි. කට්ටියක්ම ඉන්නවා. අපි කණ්ඩායමක් ඒක සර්ච් කරන්න ගියා. නමුත් එක්කෙනෙක්ගේ තුවක්කුවක් පත්තු වෙලා අපේ ඉලක්කය වැරදුනා එම නිලධාරියා කියා සිටියේය.


එසැණින් නියෝජ්‍ය ඇමැතිවරයා නීතිය හා සාමය නියෝජ්‍ය ඇමැතිවරයාට කතා කොට තමාට ‍පොළොන්නරුව ‍පොලිස් බලප්‍රදේශයෙන් පිට වෙනත් ‍පොලීසියකින් නිලධාරීන් කණ්ඩායමක් දෙන්න යැයි ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර ලෙස හිඟුරක්ගොඩ ‍පොලීසියේ ‍පොලිස් පරීක්ෂකවරයෙකු සමග ‍පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගේ කණ්ඩායමක් නියෝජ්‍ය ඇමැතිවරයාට ලැබිණි.
ඒ අනුව ඒ රාත්‍රියේම නවයට පමණ පාලිත තේවරප්පෙරුම නියෝජ්‍ය ඇමැතිවරයා ‍පොළොන්නරුවට පැමිණියේය. හිඟුරක්ගොඩ ‍පොලීසියේ නිලධාරීන් පස්දෙනාද එහිදී ඇමැතිවරයාට එකතු වූහ. ඒ අනුව ඇමැතිවරයාගේ කණ්ඩායම පහළොස් දෙනෙකු පමණ විය. රාත්‍රී දහයට පමණ මෙම පිරිස අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය අසලට පැමිණයහ. වනෝද්‍යානයේ ගේට්ටුවේ මුරට සිටි අයටද හොරෙන් හිමිහිට කැලෑවට රිංගා ගත්හ. එසේ මඳ දුරක් යනවිට අඳුරේම පැමිණි අයෙකු සර් මම ඉසව්ව පෙන්වන්නම් නියෝජ්‍ය ඇමැතිවරයාට කිවේය. විදුලි පන්දම්, ජංගම දුරකථන සියල්ල නිවා දමා වනයට ඇතුළු වූ මේ කණ්ඩායම දෙසට එකවරම විදුලි පන්දම් එළියක් එල්ල විය. ඒ එළිය වැදුණේ නියෝජ්‍ය ඇමැතිවරයාගේ මුහුණටය. ඒ සමගම නියෝජ්‍ය ඇමැතිවරයාද සිය අතවූ විදුලි පන්දම ඒ දෙසට එල්ල කළේය.
ඇමැතිවරයා අතවූ විදුලි පන්දමේ එළිය වැදුණු පුද්ගලයා සර්, මේ මොකදැයි කීවේ එකවරම ඇමැතිවරයා හඳුනාගත් නිසාය. ඒ සමගම නියෝජ්‍ය ඇමැතිවරයාගේ ග්‍රහණයට පත් තැනැත්තා ඇමැතිවරයා කළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ. කැලෑව ඇතුළේ කඳවුරක් බැඳගෙන සිටින සිය හිතවතුන් පිරිසකට ඉස්සන් අල්ලා දීමට තමා පැමිණි බවයි. පසුව එම පුද්ගලයා සමග නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පිරිස එකී කූඩාරම ඇති තැනට ගියහ. ඒ යන විට පිරිසක් කූඩාරම ඇතුළේ නිදාගෙන සිටි අතර ඒ ආසන්නයේම නවීන සුඛෝපභෝගී මෝටර් රථයක් කැබ් රථයේ් වැනි රථයක් හා ඩබල් කැබ් රථයක්ද විය. මෝටර් රථයේ හා කැබ් රථයේ සැක කටයුතු කිසිවක් නොවූ අතර  අඩි 30ක් පමණ දිග බට, ඉල්ලම් කූඩ, බාල්දි, කිමිදුම් කණ්ණාඩියක්, කිමිදුම් විදුලි පන්දමක් සහ සිලින්ඩර දෙකේ ඔක්සිජන් සපයන යන්ත්‍රයක් වැනි උපකරණ රාශියක් විය.
නියෝජ්‍ය ඇමැතිවරයා සහ ‍පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ මේ පිරිස කියා සිටියේ තමන් මහ වනය මැද මැණික් ගැරීමට පැමිණි බවයි. මෙසේ අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ මැණික් සොයා පතල් බැසීමට පැමිණ සිටි අය අතර රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් මැණික් පතල් කරුවන් කිහිප දෙනෙක් හා සබරගමුව පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ද විය. වනජීවී දෙපාර්තමේන්තුවේ අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සේවයේ නියුතු වනජීවී ක්ෂේත්‍ර සහයකයකු ද යාල වනෝද්‍යානයේ සිතුල්පව්ව පිවිසුමේ මාර්ගෝපදේශකයකුද ඒ අතර සිටීම විශේෂිතය.
සිද්ධියට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගනිද්දී රැකියාව බේරා දෙන ලෙස කියමින් වනජීවී නිලධාරියෙකු හඬා වැටුණේය. සබරගමුවේ දේශපාලනඥයා කීවේ තමන් ඇළහැර මැණික් පතල් මිලට ගෙන කරන බවත් යහළුවන් පිරිසක් පැමිණ අංගමැඩිල්‍ලේ කෑම්ප් ගසාගෙන සිටින නිසා එතැනට ඇවිත් යන්න පැමිණි බවයි. එහෙත් අර මුලින් කියූ බට හා කඹවල ඒ වන විටත් වතුර බේරෙමින් තිබුණි. කිමිදුම සඳහා  යොදා ගැණුනු අනෙකුත් දේ ද තෙත බරිත වී තිබුණි.
සැකකරුවන් 17 දා උදේ ‍පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වනජීවී ක්ෂේත්‍ර සහකාරවරයාට රුපියල් 25000ක පුද්ගල ඇපයක් හා සෙසු අයට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත් ලබන 28 දා අධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසත් නියෝග කෙරිණි.

ප්‍රියන්ත බණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.