lakbima.lk

ඩිලන්ත මාලගමුව මරන්න හදනවා යැයි කියන දේශපාලනඥයා කවුද?

එය පසුගිය ජූලි මාසයේ මුල් දිනයක් විය. ප්‍රවිණ මෝටර් රථ ධාවක ඩිලන්ත රන්දුල බණ්ඩාර මාලගමුව ඉතාලියේ පැවැති මෝටර් රථ තරගාවලියකට සහභාගි වී ආපසු පැමිණ ලද විවේකයකදී බත්තරමුල්ල සිය සොයුරියගේ නිවසට වී කාලය ගෙවමින් සිටියේය. ජපානයේ පදිංචිකරුවකු වන ඔහු මෙරටට පැමිණි විට නවාතැන් ගන්නේ  බත්තරමුල්‍ලේ පිහිටි සිය සහෝදරියගේ නිවසේය.
එදින ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඒ ක්‍රීඩාලෝලියකුගෙනි.
“මම ඔබේ රසිකයෙක්. මට ඔබේ ජීවිතයට එල්ල වී ඇති මරණීය තර්ජනයක් ගැන කියන්න ඕනේ යැයි ඔහු ඩිලන්තට පවසා සිටියේය.
මේ මොන අප්‍රභංශයක්දැයි ඩිලන්තට එක්වරම සිතට නැගුණු නමුත් ඔහු සිය රසිකයාට නිහඬව ඇහුම්කන් දුන්නේය.
“ඔබ මරන්න කට්ටියක් ප්ලෑන් කරනවා. කැලණියේ කෙනෙක් තමයි හිරේ ඉන්න මාකිලංගමුවේ සංජීවට වැඩේ බාර දිලා තියෙන්නේ. සංජීව ඒ කොන්ත්‍රාත්තුව චාමරට දීලා. ඒකට වෙනම ගිනි අවියක් දීලා තියෙන්නේ. හැබැයි ඊට කලින් මේ සෙට් එක මාතර රන් භාණ්ඩ කොල්ලෙට ගියා. එකෙදී කොස්ගොඩ තාරකයි, චාමරයි ‍පොලීසියට අහුවුණේ ඒ ගිනි අවියත් එක්ක. ඒ නිසා සර් මේ ගැන හිතලා ‍පොලීසියට පැමිණිල්ලක් කළොත් හොඳයි'' යැයි පැවැසූ එම තැනැත්තා දුරකථනය විසන්ධි කර දැමුවේය.
ශ්‍රී ලංකාවේ සිංහයා ලෙස විරුදාවලි ලබමින් ශ්‍රී ලාංකිය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඩිලන්තට සතුරන් නොව සිටියේ මිතුරන්ය. මෙම දුරකථන ඇමතුමත් සමග ඩිලන්ත දැඩි කල්පනාවට වැටුණේ තමන්ව ඝාතනය කිරීමට අවශ්‍ය කාටද කියාය.
කතා කළ පුද්ගලයා මෙම ඝාතන සැලැස්ම පිළිබඳ හොඳින් දන්නා පුද්ගලයෙක් බව ඔහුට වැටහුණු අතර තමන් හා උරණව සිටින්නේ දැනට කැලණියෙ බෙවන් පෙරේරා බවත් ඔහුට එකවර මතක් විය.
ඒ නිසා ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති මරණීය තර්ජනය පිළිබඳ ඩිලන්ත මාලගමුව පළමු වතාවට ඉකුත් ජූලි මස 04 වෙනි දින ‍පොලිස් මූලස්ථානය වෙත ගොස් ‍පොලිස්පති සහන මැදිරිය වෙත මේ ගැන ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
‍පොලිස්පති පූජිත් ජයසුන්දර  මෙම පැමිණිල්ල පසුදිනම එනම් ජූලි  05 වැනිදාම බස්නාහිර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ  වෙත යොමු කළ අතර  ඔහු එය කැලණිය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි උපාලි ජයසිංහ වෙත බාර දෙන ලදී.
ඒ අනුව මේ පැමිණිල්ල පිළිබඳ විමර්ශන ආරම්භ කෙරිණි. එහිදී ඩිලන්ත මාලගමුවගෙන් මේ පිළිබඳ වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය විය. ‍පොලීසිය ඔහුව සොයා බත්තරමුල්ල නිවසට ගිය විට එම නිවසද වසා දමා තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම ඔහුගේ ජංගම දුරකථනයට දුරකථන ඇමතුම් ලබා ගත්තද ඊට ප්‍රතිචාරයක් නොවීය.
මේ නිසා ‍පොලිස් විමර්ශන ඉදිරියට කරගෙන යාමට ක්‍රමයක් නොමැතිව ගියේය.
‍පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් කිරීමෙන් පසු ඩිලන්තට මෙරට රැඳී සිටීමට හැකි වූයේ දින කිහිපයක් පමණි.ඔහු බෙල්ජියමේ පැවැත්වෙන මෝටර් රථ තරගයක් සඳහා විදේශ ගත විය.
ඔහු විදේශ ගතව සිටින කාලයේ ශ්‍රී ලංකාවෙන් ලැබුණු මගහැරුණු ඇමතුම් දුටු එක් අවස්ථාවක ඩිලන්ත එම දුරකථන අංකයකට ඇමතුවේය. ඒ මගහැරුණු ඇමතුම පෑලියගොඩ ‍පොලීසියෙන් බව එහිදී ඔහුට දැන ගන්නට ලැබුණත් ඇමතුම ලබාගත්තේ කවුදැයි කියන්නට දුරකථන ක්‍රියාකරු දැන සිටියේ නැත.
මේ අතර නැවත ලංකාවට පැමිණි පසු ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග නැවත වරක් ‍පොලිස්පතිවරයාගේ අවධානය මේ වෙත යොමු විය. ඒ අනුව පෙර කළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රගතිය සොයා බැලීය. එහි විමර්ශන ඇනහිටි බව දුටු ‍පොලිස්පතිවරයා  බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මෙහි වගකීම පැවැරීමට කටයුතු පැවැරුවේය.

ඒ අනුව ඔහුගේ අධික්ෂණය යටතේ කැලණිය කොට්ඨාස භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරිවරයා ඇතුළු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළෝය.
එහිදී ඩිලන්ත මාලගමුව නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා හමුවී ඉකුත් 15 වෙනි දින ප්‍රකාශයක් ලබා දෙන ලදී. ඊට පසුදින ඔහු විසින් චෝදනා කර සිටින කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු සංවිධායක බෙවන් පෙරේරා ගෙන්වා ඔහුගෙන්ද ‍පොලීසිය ප්‍රකාශ ලබා ගත්තේය.
ඩිලන්ත මාලගමුව සිය සහෝදරිය සමග පවත්වාගෙන යනු ලබන සෙන්ට්‍රල් හිල්ස් ප්ලාන්ට්ටේෂන්ස් සමාගම විසින් ඉකුත් 2003 වසරේදී ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් පනස් වසරක බද්දකට නාවලපිටියෙ පිහිටි අක්කර 965 කින් සමන්විත මොන්ටි ක්‍රිස්ටෝ වතුයාය බදු අරගෙන තිබේ.
මෙම වත්තේ තේ වගාව කටයුතු සිදු කෙරෙන අතර සේවක සේවිකාවන් 200-250 ක් පමණ එහි සේවය කරති.
මෙම වතු යාය ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ
අධ්‍යක්ෂවරයෙකු වූ බෙවන් පෙරේරා විසින් නැවත ඩිලන්තගෙන් ඉල්ලා සිටි බව ඩිලන්ත ‍පොලීසියට කළ ප්‍රකාශයේ සඳහන් වේ. එහෙත් තමා එම ඉඩම නැවත ලබාදීමට නොහැකි බව කී අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලය එම වතුයාය නීති විරෝධී ලෙස නැවත පවරාගෙන බෙවන් පෙරේරා නැමැත්තාගේ ඥාතියකුට ලබාදී ඇති බවද ඩිලන්ත මාලගමුව ‍පොලීසියේදී කියා සිටියේය.
මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් දිනක් බෙවන් පෙරේරාගේ නිවසට ගිය අතර එහිදී තමන්ගේ පාවහන් යුගල අතුරුදන්වූ බවත් පසුදින බෙවන් පෙරේරා කතා කොට පාවහන් යුගල ඇති බවත් එය පැමිණ රැගෙන යන ලෙස දැන්වූ බවද ඔහු පවසයි. මෙම කාලයේදී තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙතද පෙත්සමක් යොමු කළත් ඊට ප්‍රතිචාර නොලැබුණු බවද හෙතෙම ‍පොලීසිය හමුවේ කියා සිටියේය.
මෙම ඉඩම් ආරවුල අධිකරණය තෙක් ඇදී ගොස් ඇති බැවින්  බෙවන් පෙරේරා තමන් සමග අමනාපයෙන් සිටින බව ප්‍රකාශ කරන ඩිලන්ත මාලගමුව මෙම ඝාතන සැලැස්මද එහි එක් පියවරක් බවට තමන් සැකකරන බව ‍පොලීසියට පවසා තිබේ.
මේ වන විට තමන්ගේ ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් පැන නැගී ඇති බවත් තමන් සාධාරණයක් බලා‍පොරොත්තු වන බවත් ඩිලන්ත මාලගමුව ලක්බිම  කළ විමසීිමකදී ප්‍රකාශ කර සිටියේය.
මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මේ නගන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කැලණිය හිටපු සංවිධායක ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ බෙවන් පෙරේරාගෙන් ලක්බිම විමසා සිටියේය.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.
“ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ඩිලන්තගේ සමාගම රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක බදු මුදල් ගෙවන්න තියෙනවා. සේවක අර්ථසාධක අරමුදල් රුපියල් ලක්ෂ 150ක් නාවලපිටිය කම්කරු කාර්යාලයට ගෙවන්න තියෙනවා. තේ මණ්ඩලයට රුපියල් ලක්ෂ 16ක් ණයයි. කර්මාන්ත ශාලාව උකස් කරලා ටී බෝක්‍රස් සමාගමට. රුපියල් කෝටි 02 කට ආසන්න මුදලක් තියෙනවා තේ දලු සැපයුම්කරුවන්ට දෙන්න.
වත්තේ පස් කියුබ් 5000ක් විතර කපලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් මේ වන විට නාවලපිටිය අධිකරණයේ නඩු 18ක්, ගම්‍පොළ අධිකරණයේ නඩු 04ක්, නුවර මහාධිකරණයේ නඩු 02ක් පමණ තියෙනවා.
වතුයාය සංවර්ධනය නොකිරීම හා බදු මුදල් ගෙවීම පැහැර හැරීම නිසා  2015 වසරේදී කැබිනට් තීරණයක් මත මෙම වත්ත නැවත පවරා ගන්න තීරණය වුණා.නමුත් අපි එයාලට අවස්ථාවක් දීලා සාකච්ඡා මාර්ගයේ හිටියා. නමුත් ඔවුන් ඒ අවස්ථාවේදීවත් නිසි පරිදි ක්‍රියා නොකළ නිසා අපි 2017-07-06 වත්ත නැවත මණ්ඩලයට පවරා ගත්තා.
මේ මණ්ඩලයේ වැටුප් ගෙවන්නේ භාණ්ඩාගාරයෙන්. මේ වත්ත අපිට බරක් වුණා.ඒ නිසා වත්ත බදු දෙන්න අයදුම්පත් කැඳවලා වැඩිම ලංසුවට ආපු අයට දුන්නා. ඔවුන් අපිට සියයට 50 ක වැඩි මුදලකුත් වසර දෙකක ඇප තැන්පත් මුදලකුත් දුන්නා.දැන් එයාලා වත්ත කරගෙන යනවා. ඩිලන්ත කියන්නා සේ එයාලා මගේ ඥාතීන් නම් නෙමේ. මේකට එරෙහිව ඩිලන්ත වාණිජ මහාධිකරණයේ නඩු පැවැරුවා. එහිදී නඩු ගාස්තුවලට යටත්ව එම නඩුව නිශ්ප්‍රභ වුණා.
පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. ඒකෙනුත් මණ්ඩලය සියලු චෝදනාවලින් එකම නඩු වාරයෙන් නිදොස් කොට නිදහස් වුණා.
මට ඩිලන්ත සමග කිසිම ගැටලුවක් නෑ. මට ඔහුව ඝාතනය කරන්න අවශ්‍ය නෑ. මේක අමූලික බොරුවක්.  ඔහු ක්‍රීඩකයෙක් නිසා ජනතා අවධානය වැඩියි. මාධ්‍ය අවධානයත් වැඩියි. ඒ නිසා මේක කරළියට ආවේ. මම ‍පොලීසියට ලබාදීපු ප්‍රකාශයෙන් ‍පොලීසිය සෑහීමකට පත් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.
ඒ වගේම මගේ කීර්ති නාමයට හානි වන අන්දමින් කටයුතු කළාට මම ඔහුට එන්තරවාසියක් යවනවා විතරක් නොවෙයි මේ සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියා මාර්ගයන් ගන්නවා. යැයි බෙවන් පෙරේරා කියන්නේය.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.