lakbima.lk

මඩහපොලකන්ද කඳුළින් තෙත් කළ ක්වේට් වැලි කුණාටුව

”අනේ...  ... තාත්තේ ...  තාත්තා ආයෙත් අඩනවා නේද? අඩන්න එපා තාත්තේ. තාත්තා අඩනවා බලාන ඉන්න බැහැනෙ අපිට. ආයෙ තාත්තා කවදාවත්ම මෙහෙම අඩන්න එපා. අපිට හොරෙන් අ`ඩන්න හැදුවට තාත්තගෙ කදුළු අපිට පේනවනෙ තාත්තෙ. තාත්තා ඇ`ඩුවට ආයෙ අම්ම එන්නෙ නැහැනේ. තාත්තා හිත හදාගන්න බලන්න. අම්මා අපි තනි කරලා ගිය එක ගැන අක්කටයි මටයි දුක නැතිව නෙමෙයි. ඇඩුවත් අම්මා එන්නේ නැහැනේ...”
මේ දුක්බර ආයාචනයේ දෝංකාරය මඩහපොලකන්දෙන් බොහෝ ඈතට විහිදී ගියේය. එය නොසිතූ වෙලාවක මියගිය සන්ධ්‍යා කුමාරිගේ පුතණුවන් වූ චාමර සම්පත් දරුවාගේ විලාපයයි. සන්ධ්‍යා කුමාරි මියගියේ ක්වේට්හි වැලි කුණාටුවකට හසුවීමෙනි.  එ් පසුගිය 28 වැනිදාය. මෙම වැලි කුණාටුවට ගොදුරු වූයේ සන්ධ්‍යා කුමාරි පමණක් නොවේ. ගෘහසේවිකාවක සේ සන්ධ්‍යා සේවය කළ නිවසේ සියලූදෙනාම මෙම අනතුරට මුහුණ දුන්නේ විනෝද චාරිකාවක් අතරතුරේදීය. මෙම අනතුරෙන් සන්ධ්‍යා සේවය කළ නිවසේ අය බලා කියාගත් දෙතිස් වියැති දරුවා මේ වනතුරුත් අතුරුදන්ය. සන්ධ්‍යාගේ ක්වේට් ස්වාමි දියණිය සහ ඇගේ දරු දෙදෙනාද මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබුවෝය. සුළු තුවාල ලබා දිවි ගලවා ගත්තේ එම පවුලේ ගෘහමූලිකයා පමණි.
මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ කුරුණෑගල, පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩහපොල කන්දේ, පරගහඇල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්.ඞී. සන්ධ්‍යා කුමාරි (42)ය. ගොකරැල්ල පොලිස් වසමට අයත් මෙම ගම්මානයේ අති දුෂ්කර කදු මුදුනක ජීවත් වූ ඔවුහු ආර්ථික ගැටලූවලින් හෙම්බත් වූවන්ය. එස්.කේ. සරත් විජේරත්න (46) ඇයගේ සැමියායි. වැඩිමහලූ දියණිය එස්.කේ. දිනූෂා කුමාරි විජේරත්නයි. දෙවෙනි දියණිය වසර කිහිපයකට පෙර පේ‍්‍රම සම්බන්ධතාවක් හේතුවෙන් තම ජීවිතය අහිමි කරගෙන ඇත. තෙවෙනියා එස්.කේ. චාමර සම්පත් විජේරත්නයි. ඔහු මඩහපොලකන්ද විදුහලේ අට වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටී. මෙම වසරේ ජනවාරි 26 වෙනි දින  කුවේට් රටට ගෘහසේවිකාවක් ලෙස ඇය පිටත් වන්නේ පවුලේ තිබුණු ආර්ථික ගැටලූ යම් තරමකින් හෝ නිරාකරණය කර ගනු පිණිසය. ඔවුන් ජීවත්වීමේ  අරගලයට අපහසුවෙන් මුහුණ දෙන්නන්ය. සන්ධ්‍යාගේ සැමියා සරත් පෙදරේරුවකු ලෙස රැකියාව කළේය.
ක්වේට් රටෙහි තම බිරිද සේවය කළ පවුලේ උදවිය සමග  සංචාරයක යෙදෙන අතරතුරේ හදිසියේ ඇතිවූ වැලි කුණාටුවකට අසුවීමෙන් කාන්තාරයක් මැදදී ඇතිවූ අනතුරකින් ඔවුන් ගමන් ගත් වාහනය පෙරළී යාම හේතුවෙන් තමාගේ බිරිද අනතුරෙන් මිය ගොස් ඇති බව තමාට රැකියා ඒජන්සිය දැනුම් දුන් බව විජේරත්න පැවැසීය. ඒ බව ගොකරැල්ල පොලිස් ස්ථානයටද දන්වා තමා එහි පැමිණිල්ලක දැමූ බවත් දේහය ගෙන්වා ගැනීමට ඔවුන්ගේ සහාය ලැබුණු බවත්  ඔහු පැවැසීය. පසු ගිය ජූලි 28 වෙනි දින එලෙස මියගිය සන්ධ්‍යා කුමාරිගේ දේහය ගුවනින්
පසුගිය 09 වෙනි දින කටුනායක ගුවන් බඩු ගම්මානයට එවා තිබිණි. එහිදී දේහය බාරගත් (06109) පො.සැ. ජගත් එහි පශ්චාත් මරණ පරීක්ෂණය සදහා අගෝස්තු 10 වෙනි දින මීගමුව දිස්ති‍්‍රක් මහරෝහලට යොමු කර තිබිණි.  එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය  සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී  ඞී.වී. ගිහාන් විසින් පවත්වා ඇත. එහිදී අනාවරණය වූ කරුණු අනුව   හිස්කබලට සිදුවූ තදබල පහරකින්  ඇතිවූ තැලීමක් මෙම මරණයට හේතු වී ඇත. ඉදිරිපත්වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණයේ  වාර්තාවට අනුව අනතුරක් නිසා ඇතිවූ හදිසි මරණයක් බවට මීගමුව නාගරික හදිසි මරණ  පරීක්ෂක වෛද්‍ය සිරිජයන්ත වික‍්‍රමරත්න තීරණය කර ඇත.                        
අදටත් ගැමියන් අතර ඇති දුක සැප බෙදා ගැනීමේ පුරුද්ද නිසා සන්ධ්‍යා කුමාරිගේ මේ හදිසි වියෝවෙන් කම්පා වූවන් නිරන්තරවම ජීවත් වන්නන්ගේ දුක තුනී කරන්නට එම නිවසට රොක් වූහ. නිවැසියන්ගේ සිත් සනසන්නට ඔවුහු බොහෝ දේ පැවැසූහ. එලෙස පැමිණි අසල්වැසියන් සමග කතාබහ  කළද සරත් විජේරත්න නිරන්තරවම සිහිපත් කළේ ඔහු සමග ඉතා දීර්ඝ ගමනක් යුගදිවියේ පැමිණි තම ප‍්‍රිය බිරිද පිළිබදවය. ආදර සම්බන්ධයක් ඇති කරගත් ඔවුන් දෙදෙනා හිතුමතේට විවාහ වී ඇත. විවාහ වන විට තම බිරිද යාන්තම් වයස අවුරුදු 17ට පැමිණ සිටි බව ඔහු පවසයි. එදා මෙදා කාලය වසර 24ක් ගතවී ඇතත් ඔවුන් දෙදෙනගේ ආදරයේ අබමල් රේණුවක තරම්වත් වෙනසක් නොවූ බව ඔහු කියයි.  
අපේ ආර්ථික ප‍්‍රශ්න නිසා අපි දාල ගියාට මේ වතාවේ ගුවන් තොටුපළ ළගට ගිහිල්ලත් මට යන්න බැහැ කියලා හිතෙනවා ආපහු යන්නත් හිතෙනවා කියලා කීවා. මට හිතෙනවා ඒ වෙලාවේ එයත් එකතු කරගෙන මට ආපහු එන්නයි තිබුණේ යැයි ඔහු කදුළු  බිදු බේරමින් පැවැසුවේය. ලක්ෂ දෙක හමාරක විතර ණයක් තිබුණා ඒක මෙහෙ මේසන් වැඩ කරලා කොහොමවත් ගෙවන්න බැරි නිසයි මම එයාට යන්න දුන්නේ යැයි පවසමින් හඩන්නට විය. නිවාඩුවක් ලැබුණු ගමන් කතා කරනවා. ඔය විනාශය වෙන්න සුළු මොහොතකට කලිනුත් මට කතා කළා යැයි පවසමින් නිරන්තරවම දෙනෙතින් ගලන කදුළු පිස දැමුවේය.  
අද දවසේ  ගමන නතර කරල උයල පිහල බබාලට කවලා මහත්තයයි නෝනයි කෑවට පස්සේ  මමත් නාලා එහෙම දැන් තමයි දෙයියා කාලා ඉවර වුණේ. කතා කරන්න පමා වුණේ ඒකයි. මම කතා කරන කල් බලාන හිටියද? ඉස්සරහට එහෙම බලාන ඉන්න එපා කතා කරයි කියලා. අපි යන තැන්වල සිග්නල් නැහැ. කතා නොකළට කලබල වෙන්න එපා.” කියල එයා කිව්වා.
සන්ධ්‍යා කුමාරි සේවය කළ ක්වේට් රටේ නිවැසියන්ගේ දරුවන්ට ජූලි 27 වෙනි දින පාසල් නිවාඩු ලැබීමත් සමග දින 10ක විනෝද ගමනක් යාමට පිටත්ව ඇත්තේ එදිනම රාත‍්‍රියේය. පසු දින ගමන නතර කර දිවා ආහාර ගත් අතරතුර ඇය සැමියා සමගද දරුවන් සමගද දුරකථනයෙන්  බොහෝ වේලා සුහද කතාබහක යෙදෙමින් සිටි බව සරත් විජේරත්න පවසයි. ඇය මීට පෙර තුන් වතාවක්ම විදේශගතව ඇතත්  නිවස හදා ගැනීමේ සිහිනයද සැබෑ කර ගැනීමට බැරිවූ බව ඔහු පවසයි.
”එහෙම අඩුපාඩු තිබුණත් මේ වතාවෙ එයා යන එකට මගේ කැමැත්තක් තිබුණේම නැහැ. මම විරුද්ධ වෙලා අපේ මහ ගෙදරත් දින කිහිපයක් ගිහින් හිටියා. ඒ ඉන්න විටත් හොරෙන් එහෙ ගිහින් මගේ දුකසැප බලලා එනවා.” යැයි පැවැසූ ඔහු අවසානයේ  දුක් වි`දින්න ඇයි ආයෙත් යන්න හදන්නේ කියා ඇසූවිට ණයටික ගෙවිල අවසන් වුණාම එන්නම් යැයි ලොකු වගකීමකින් කතා කළ බවද පැවැසීය. ගෙදර සියලූ වගකීම් ඔළුවෙ තියාගෙන  පිරිමියෙක් වගේ එයා ජීවත් වුණේ. මට ඒකයි මේ දුක දරා ගන්න අමාරු.
සන්ධ්‍යා කුමාරිගේ වැඩිමහල් දියණිය දිනූෂා කුමාරි විජේරත්න පවසන්නේ මෙවැන්නකි.
මම බැ`දල වෙනම ජීවත්වෙනව කියල නැහැ, අම්මා නිතරම කතා කරල අහනවා මම හො`දට ඉන්නවාද කියලා මම එනකල්  දරුවො දෙන්නා හොදට බලා ගන්න කියලා තාත්තට කියනවා. ඔය නැතිවුණු දවසෙත් තත්තටත් මටත් මල්ලිටත් කතා කළා. අපේ නැති බැරිකම් නිසා අම්මා විදේශ රටක රැකියාවට ගියාට කිසිම දවසක අපි අමතක කළේ නැහැ. නැති වෙන්න පෙර දවසෙත් පැය 1තුනක් විතර තාත්තත් එක්ක කතා කළා. තාත්තගෙ ෆෝන් එකේ බැටරි  බැහැලා නතර වුණෙ නැත්නම් තවත් කතා කරනවා. මගේ දරුවා බලා ගත්තේ අම්මා තමා. අදටත් අම්මා මා ගැන හිතන්නෙත් පොඩි ළමයෙක් ගැන වගේ. එයාට අපෙන් තොර ජීවිතයක් නැහැ. අපි සතුටින් තියන්න තමා  ඔය හතර වෙනි වතාවටත් රට ගියේ. මේ වතාවෙ අවුරුද්දක් ඉදලා එන්නයි ගියේ අපේ ලොකු ණයක් තිබුණා. ගෙදර වහලෙ තෙමෙනවා. ඔය ගැටලූ දෙක විස`දුනා නම් ආයෙ රට යන්න  ඕන නැහැනෙ මේ අවසාන වතාවට යන්නේ කියලා තමා ගියෙ.”
අසල්වැසියන් සමගත් පවුලේ කා සමගත් හොද හිත දිනාගෙන සිටි ඇය තමා ආදරය කළ සියල්ල හැර දමා පසුගිය ඉරිදා 12 වෙනිදා මඩහපොලකන්දෙන් මළහිරු බැසගොස් අඩ අදුර ගලාගෙන එද්දී පැමිණි සිටි සැමගේ කදුඵ ගංගා මැද අවසන් ගමන් ගියාය.

කමලා අතරගල්ල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.