lakbima.lk

දැරිය ඩැහැ ගැනීමට සැරසුණු උකුස්සාට මවගෙන් ඉදල් පහරක්



හත් හැවිරිදි කුඩා දැරියක් නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී ඇය ගොදුරු කර ගැනීමට උත්සහ කළ උකුස්සෙකු හට ඉදලෙන් පහරදී දැරිය බේරා ගැනීමට ඇගේ මව ඊයේ (14) සමත් වී තිබුණි.
අනුරාධපුර ‍පොලිස් වසමේ වේළුවනගම සුචරිතගම ප්‍රදේශයේ පෙරේදා (13) දිනය පුර කුඩා දරුවන් කිහිපදෙනකු ගොදුරු කර ගැනීමට උත්සහ කළ සිළු බඹර උකුස්සා නමින් හඳුන්වන උකුස්සා ගම්වාසීහු උගුලක් යොදා අල්ලාගෙන අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ආරක්ෂිතව බාරදෙනු ලැබූහ.
ප්‍රහාරයට ලක් වූ හත් හැවිරිදි දෙව්මිනි අමායා දැරිය ඊයේ (14) උදෑසන 7.30ට පමණ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී ඉහළ අහසේ සිට පියාඹා පැමිණි උකුස්සාගේ ප්‍රහාරය එල්ල වී ඇති අතර දැරියගේ පිටට වැදුණු තියුණු නිය ප්‍රහාරයෙන් ඇය තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බාහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදී රෝහලෙන් පිටත් කර තිබුණි.
ප්‍රදේශයේ කුඩා දරුවන් පෙරේදා (13) දිනයේ සිට ගොදුරු කර ගැනීමට උකුස්සා විශාල උත්සාහයක නිරත වී තිබුණු අතර ඉහළ අහසේ සිට ඊයක වේගයෙන් පැමිණෙන උකුස්සා අවස්ථා හතරකදී කුඩා දරුවන් සිව්දෙනකු පසුපස එළවා ඔවුන් ගොදුරු කර ගැනීමට උත්සාහ කර ඇතත් දරුවන් නිවෙස් තුළට වැදී උකුසු ප්‍රහාරයෙන් බේරී තිබේ. ඊයේ (14) උදෑසන කුඩා දැරිය ගොදුරු කර ගැනීමට උත්සාහ කළ උකුස්සාට එම ඉලක්කය වැරදී යාමත් සමග සුචරිතගම ගම්වැසියන් පිරිසක් මෙම පක්ෂියා ආරක්ෂිතව අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඒ අනුව ගම්වාසී තරුණයන් පිරිසක් උකුස්සා ගැවසුණු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කර අමු මස් කැබලි කිහිපයක් දමා උගුලක් අටවා උකුස්සාව ඊට කොටුකර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී තිබුණි. එහි පැමිණි වනජීවී නිලධාරීන් මෙම උකුස්සා ඔරියන්ටල් හනී බුසාඩ් යන සත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සිළු බඹර උකුස්සෙකු බව පැවැසුවේය. මේ දිනවල පවතින වියළි කාලගුණය සමග ආහාර සොයා ජනාකීර්ණ ප්‍රදේශවලට පක්ෂියා පියාසර කර තිබෙන බවත් පක්ෂියා අභය භූමියකට මුදාහරින බවත් නිලධාරියෙකු පැවැසුවේය.
සිය දියණිය උකුස්සාගෙන් බේරාගත් මව එම බිය ජනක අත්දැකීම මෙසේ විස්තර කළාය. මම උදෑසන මිදුල අතු ගගා හිටියේ. දුව මිදු‍ලේ සෙල්ලම් කරමින් සිටියේ. එක්වරම විදුලි වේගයෙන් උකුස්සා දරුවා සිටි ස්ථානයට ඇවිල්ලා අත්තටු විහිදලා එයාව වහගෙන හොටය පුබ්බාගෙන හිසට කොටන්න සූදානම් වුණා. මම මිදුල අතුගගා හිටපු ඉදලෙන් කෑගගහ උකුස්සාට ගැහුවා. දරුවව වහගෙන හිටපු උකුස්සා එයාව අත ඇරලා පියඹලා ගියා.
උකුස්සාගේ නිය පාරට දුවගේ පිට කැපිලා වගේ තිබ්බා. අපි දරුවව අනුරාධපුර රෝහලට ගෙනිච්චා. නමුත් වෛද්‍යවරු කිව්වා බය වෙන්න දෙයක් නෑ. බෙහෙත් විදින්නත් අවශ්‍ය නෑ කියලා. හදිසියේ මම මිදු‍ලේ හිටියේ නැති වුණානම් දරුවව උකුස්සා උස්සගෙන යන්න ඉඩ තිබුණා. උකුස්සාගේ ප්‍රහාරයට ලක් වූ දෙව්මිනි අමායා දියණිය එම සිදුවීමත් සමග බියට පත්ව ඇත.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අදහස් පළකළ පක්ෂි ගවේෂකයෙකු සහ පරිසරවේදියෙකු වන පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය සුගත් විජේවර්ධන මහතා පවසනුයේ කුඩා දරුවන් පැහැරගෙන යනු ලබන උකුස්සන් අප රටෙහි ඇතැයි කීම හාස්‍යයට කරුණක් බවය.
මෙම උකුසු වර්ගයේ සතුන් කුඩා කුරුල්ලන් කටුස්සෝ වැනි සතුන් ආහාරයට ගන්නා අතර කිලෝග්‍රෑමයක බරක්වත් මෙවුනට උසවාගෙන යා නොහැකි අතර මෙය මෙම පක්ෂියා කළබල වී බියට පත්වී සිදුකළ පහරදීමක් බව මනාව පැහැදිලි වන්නේ යැයි පැවසු වෛද්‍ය විජේවර්ධන මහතා මාධ්‍ය මගින් මෙබදු දුර්මත සමාජය පුරා පැතිරීම මෙම සතුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් බව පැවසීය.

Comments  

0 #1 ukussa 2018-08-17 12:48
api oya ganunge idal paraval kanne naha api baya naha api ukusso
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.