lakbima.lk

ඒ වගේ දෙයක් දැක්කොත් මගේ මුළු ඇඟම පණ නැතිවෙනවා

අද මම හෙළි කරන මේ රහස පුංචි කා‍ලේ ඉඳන්ම මා තුළ තිබුණු භීතිකාවක්. ඒ තමයි රිය අනතුරක් දැකීමට ඇති අසාමාන්‍ය බිය. මිනිසුන් විතරක් ‍නෙවෙයි සතෙකුවත් රිය අනතුරකට ලක් වෙලා ‍ලේ විලක් මැද මැරිලා වැටිලා ඉන්නව දකින්න මට බැහැ. අහම්බෙන් හරි ඒ වගේ දෙයක් දැක්කොත් මගේ මුළු ඇඟම පණ නැතිවෙලා කකුල් දෙක වෙව්ලන්න පටන්ගන්නවා.
වාහනෙන් ගමනක් බිමනක් යද්දී ඕනෑම පුංචි ළමයෙක් කැමැති වාහනේ ජනේලය ළඟින් වාඩි වෙලා එළිය බලාගෙන යන්නනේ. මමත් එහෙමයි. හැබැයි පාර මැද සතෙක් මැරිලා ඉන්නවා දැක්කොත් මම කරන්නේ ඇස් දෙක පියාගන්න එකයි. සමහර වෙලාවට මේ හේතුව හින්දා මම අනිත් අයගේ විහිළුවට ලක් වෙන අවස්ථාත් තියෙනවා. ඒ කොහොමද දන්නවද? පාර මැද රෙදි ගුලියක් තියෙන අවස්ථාවලත් මම ඈතදීම ඇස් දෙක වහගන්නවා. ඒ වගේ වෙලාවට තමයි ඉතින් අනිත් අය මට විහිළු කරන්නේ.
“මගේ මේ භීතිකාව ඇහින් දකින අනතුරකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඒ වගේ සිදුවීමක් ගැන කවුරුහරි කතා කරනවා නම් ඒක අහගෙන ඉන්නත් බැහැ. මගේ යාළුවෝ ඔය හින්දම මාව අපහසුතාවයට පත් කරන්න හිතාගෙන මම ඉස්සරහ ඒ වගේ කතා නිතරම කියනවා.
“අද අපේ වාහනේට පූසෙක් යට වුණානේ. රෝදේ ගියේ ඔළුව උඩින්මයි..... ඊට පස්සේ......” ඔන්න ඔය විදියට එක්කෙනෙක් කතාව පටන්ගත්තම අනිත් අය ඒ සිද්ධිය ගැන හරස් ප්‍රශ්න අහනවා. “අනේ ඔය කතාව නවත්වන්නකෝ....” කියලා මම කෑගහනකොට ඒ අය කරන්නේ තව තව විස්තරාත්මකව ඒ සිද්ධිය ගැන කියන එකයි. ඒ වෙලාවට මම එතැනින් නැගිටලා යන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා.
පුංචි කා‍ලේ ඉඳන්ම තිබුණු මගේ මේ ගති ස්වභාවය අදටත් වෙනස් වෙලා නැහැ. අදටත් මට චිත්‍රපටයකවත් රිය අනතුරු, මිනීමැරීම් වගේ දර්ශන බලන්නත් බැහැ. රූපවාහිනී ප්‍රවෘත්තිවල රිය අනතුරක් ගැන කියැවුණොත් මම කරන්නේ එතැනින් නැගිටලා යන එකයි. මවයි දුවයි පාරේ ගමන් කරමින් සිටින වෙලාවක ඒ මව බසයකට යට වෙලා දුව ඒ අම්මගේ හිස අතින් අරගෙන කෑ ගසමින් පාරේ දිව ගිය පුවතක් ගැන දවසක් මට අහම්බනේ අසන්නට ලැබුණා. ඒ සිද්ධියට සම්බන්ධ අය කවුද, කොහේද ඉන්නේ කියන්න මම දන්නේ නැහැ. එහෙම සිදුවීමක් ගැන මට ආරංචි වුණා විතරයි. ඒත් ඒ ආරංචිය මගේ හිතට කොයි තරම් තදින් දැනුනද කියනවා නම් මම එදා කාමරේට ගිහින් පැය ගාණක් ඇඬුවා.
රෝහලකට ඇතුළු වුණාම ටේ‍රාලිවල තියාගෙන ලෙඩුන්ව ඒ මේ අත ගෙනියනවා දකිනකොටත් මට දරාගන්න අමාරුයි. ඒ හින්දම මගේ සමීපතම කෙනෙක් අනතුරක් වෙලා රෝහල්ගත කළත් මම එයාව බලන්න යන්නේ ටිකට් කපාගෙන ගෙදර ආවට පස්සෙයි. මගේ මේ දුර්වලකම නොදන්න අය මේ හේතුව හින්දා මාත් එක්ක අමනාප වූ අවස්ථාත් තියෙනවා.
තවමත් මට චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක රිය අනතුරක්, මිනී මැරීමක් ඇතුළත් දර්ශනයක රඟපාන්න නම් ලැබිලා නැහැ. ඒවගේ ජවනිකාවක් රඟපාන්න වුණොත් මම ඊට කොයි විදියට මුහුණ දෙයිද කියලා මට අදටත් හිතාගන්න බැහැ.

ආරියවංශ කුලතිලක ඡායාරූප - තුෂාර සංජීව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.