lakbima.lk

මාලඹේ සිට කොළඹට උඩින් එන සැහැල්ලු දුම්රිය

ගමන් මල්ල කර ලා ගත් මම මාලඹේ හන්දියට පැමිණියෙමි. පෙනෙන තෙක් මානයේ විසිරී ඇති වාහන මා නෙතට ගෙන ආවේ විඩාබර හැඟීමකි. රුපියල් කෝටි ගණන් ගෙවා මිලට ගත් වාහන ඉදිරියට යන්නේ පයින් යනවාටත් වඩා සෙමිනි. මොන තරම් සුව පහසුකම් තිබුණද මේ වාහන තුළ කොටුවී සිටින අයගේ මුහුණ පිරී ඇත්තේ දැඩි නොසන්සුන්කමකිනි.

මම ක්ෂණිකව අත් ඔරලෝසුව පිරික්සුවෙමි. වේලාව උදෑසන හත පසුවී විනාඩි පනහකි. තව විනාඩි හතළිහකින් මා කොටුව දුම්රිය ස්ථානයේ සිටිය යුතුය. ඒ බදුල්ල බලා යන ‍පොඩි මැණිකේ දුම්රියට ගොඩ වනු පිණිසය. මාලඹේ සිට කොටුවට යාමට විනාඩි හතළිහක් ඕනෑවටත් වැඩිය. එහෙයින් තේ කෝප්පයක් පානය කරනු රිසින් මම අසල වූ කඩයකට ගොඩ විමී.

මේ පියවි සිහිය විකල් වූ පුද්ගලයෙකුගේ සිතුවිල්ලක් යැයි ඔබට සිතෙන්නට බැරි නැත. ඒ, උදෑසන රථවාහන තදබදය වැඩිම අවස්ථාවක මාලඹේ සිට කොටුව දුම්රිය‍පොළට යෑමට අවම වශයෙන් පැය දෙකක්වත් වැය වන නිසාය. එහෙත් ඒ වර්තමාන තත්ත්වය ය. ඉහතින් විග්‍රහ කරන්නේ අදින් සය වසරකට පසු මාලඹේ සිට කොටුව දුම්රිය‍පොළට ගමන් කරන්නකු අත් විඳින සුව පහසු සිතුවිල්ලකි. සය වසරකට පසු මාලඹේ සිට කොළඹ කොටුවට යෑමට වැයවනුයේ උපරිම ලෙස විනාඩි 30කි. එහෙත් ඒ වර්තමානයේ අප දකින මාර්ග තදබදය පිරුණු මාර්ගයේ  නොව, කුලුනු මත ගුවනේ ඉදිවන සැහැල්ලු දුම්රිය මාර්ගය ඔස්සේ විදුලි දුම්රියෙනි.

විනාඩි 30ක් තුළ සැහැල්ලු විදුලි දුම්රියකින් මාලඹේ සිට කොටුවට යා හැකි වෙතැයි වර්තමානයේ උග්‍රම සුබ සිහින දකින්නකු පවා සිතන්නේ නැත. එහෙත් තව  පස් වසරකින් ස්ථිර ලෙසම සැහැල්ලු විදුලි දුම්රිය සිහිනය සැබෑ වන බව බස්නාහිර සංවර්ධන සහ මහ නගර  සංවර්ධන අමාත්‍යාංශයේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නාවික කොමදෝරු චමින්ද ආරියදාස පවසන්නේය.

සැහැල්ලු දුම්රිය කී සැණින් මෙරට දුම්රිය ලෝලීන්ගේ සිතේ ඇඳෙනුයේ කලකට පෙර උතුරු දුම්රිය මාර්ගයේ බරෙන් අඩු රේල් පීලි මත ධාවනය කරන ලද දුම්රිය විශේෂයකි. එහෙත් මාලඹේ සිට කොළඹ කොටුව බලා ඉදිවීමට යන සැහැල්ලු දුම්රිය මග ඊට ඉඳුරාම වෙනස්ය. මේ සැහැල්ලු දුම්රිය මුළුමනින්ම ක්‍රියාත්මක වනුයේ විදුලියෙනි. ඒ සඳහා ඉන්ධන භාවිත නොකරන අතර එහෙයින් කිසිදු දුම් පිටවීමක් නැත්තේය.

මේ විදුලි දුම්රිය ව්‍යාපෘති කලකට පෙර මෙරට ධාවනය වූ ටේ‍රාලි බස්, ට්‍රෑම් රථවලින්ද ඉඳුරාම වෙනස්ය. සැහැල්ලු දුම්රියට විදුලිබලය සපයනුයේ ටේ‍රාලි බස්වල මෙන් වහලයට සම්බන්ධ රැහැනකින් නොව ධාවන පීලිවලට සමාන්තරව එලා ඇති තුන් වැනි පීල්ලෙනි. (3rd rail) දුම්රිය මැදිරියෙන් එන සම්බන්ධකයක් අඛණ්ඩව පීල්ල ස්පර්ශ වන සේ ධාවනය වීම මගින් දුම්රියට විදුලිය සැපයේ.

මේ සැහැල්ලු දුම්රිය ගමන් අරඹන්නේ මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිනෙක් ආයතනය සමීපයෙනි. සැහැල්ලු දුම්රිය සඳහා ඉදි වෙන ද්විත්ව මාර්ගය, දුම්රිය නැවතුම් පමණක් නොවේ ප්‍රධාන අංගණය, නඩත්තු ඒකකය, පුහුණු මධ්‍යස්ථානය පවා අපි කුලුනු මත ඉදි කරන්නේ භූමිය අවම වශයෙන් භාවිත කරන්නට. අංගණය ඉදි කරන හෙක්ටයාර් 20ක වෙල ප්‍රදේශය ජල බැස්මට වැදගත්. ඒ නිසා අපි කුලුනු මත පමණක් ඉදිකිරීම් කරන්න තීරණය කරා. කොමදෝරු චමින්ද ආරියදාස අවධාරණය කරන්නේය.

අංගණයෙන් පිටවන දුම්රිය කෙළින්ම පැමිණෙනුයේ කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයටය. එහි සිට තලාහේන පසුකර කොස්වත්තට පැමිණෙන දුම්රිය එහි සිට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගයට මාරු වනුයේ සැලකිය යුතු වංගුවක් ගනිමිනි. පරිසර අධිකාරිය, විදේශ සේවා කාර්යාලය පසුකර එන සැහැල්ලු දුම්රිය පාලම් තුන ළඟින් හැරි බත්තරමුල්ල හන්දියෙන් පාර පනින්නේ අඩි තිහ හතළිහක් උසිනි. එතුවක් සැහැල්ලු දුම්රිය මග ගමන් කරනුයේ ප්‍රධාන මාර්ග ඔස්සේය. එහි සිට සුහුරුපාය පසුකර දියත උයනට උඩින් යන දුම්රිය දියවන්නාව හරහා ගොස් ම්ජ්ඛි ආයතනය සමීපයෙන් ප්‍රධාන පාරට පිවිසෙයි.

රාජගිරිය අභිනව ගුවන් පාලම ළඟදී සැහැල්ලු දුම්රිය මාර්ගය දෙකට බෙදෙයි. ගුවන් පාලමේ එක් පසකින් කොළඹ දෙසට යන දුම්රියත් අනික් පසින් කොළඹ සිට එන දුම්රියත් ගමන් කරයි. එලෙස දෙපසට බෙදී ගමන් කරන ද්විත්ව මාර්ගය වැලිකඩ ‍පොලීිසිය පසු කරද්දී යළි එකම මගකට පිවිසෙයි. එහි සිට ආයුර්වේද හන්දියෙන් කොටා පාරට පිවිසෙන සැහැල්ලු දුම්රිය කොටාපාර දුම්රිය ස්ථානය අසලදී බහුකාර්ය ප්‍රවාහන හුවමාරුවේ නතර වෙයි. එහි ඊළඟ නැවතුම බොරැල්‍ලේය. දුම්රිය බොරැල්ලෙන් ගමන් අරඹා වෝඩ් පෙදෙස හරහා ජාතික රෝහල පසුකර ඉබ්බන්වල හන්දියෙන් ඩාර්ලි පාර ඔස්සේ ගොස් ඩී.ආර්. විජයවර්ධන මාවතට පිවිසෙන්නේය. අනතුරුව මරදාන දුම්රිය අංගණය හරහා ට්‍රි‍පෝලි සංකීර්ණයටත් එහි සිට පාවෙන වෙළෙඳ සංකීර්ණය හරහා බැස්ටියන් මාවත ඔස්සේ කොටුව දුම්රිය ‍පොළටත් පැමිණෙයි. කි.මී. 15.7ක් දුර මේ ගමන්මගේදී දුම්රිය ස්ථාන 16ක පමණක් ඇය නතරවන්නීය. එක නැවතුමක නතර කර තබනා වේලාව තත්පර තිහක් පමණි. එය මේ වර්ගයේ දුම්රිය සඳහා පවතින ලෝක සම්මතයකි. මේ කාලය තුළ නැවතුම්වල සිටින මගීින්ට ගොඩ වීමටත් දුම්රියේ එන මගීන්ට බැස ගැනීමට හැකි පරිදි හැම දුම්රිය මැදිරියක්ම පුළුල් දොරවල් තුනකින් යුක්තය. එමෙන්ම සියලු දුම්රිය සහ වේදිකා එකම උසකින් පිහිටන බැවින් ආබාධ සහිත වූවන්ට පවා බාධා රහිතව දුම්රිය සේවය ලබාගත හැක. සාමාන්‍යයෙන් මෙම වර්ගයේ දුම්රිය පූර්ණ ස්වයංක්‍රියවද ධාවනය කළ හැක. එහෙත් ශ්‍රී ලංකාවේ යොදා ගන්නා දුම්රියේ රියැදුරුට අමතරව සහයකයෙකුද සේවය කරයි.

දැනට සැලසුම් කර ඇති සැහැල්ලු දුම්රිය විශේෂයේ එක මැදිරියක් මීටර් 18ක දිගින් යුක්තය. එක් දුම්රියක් සඳහා මැදිරි හතරක් එක් කරන අතර එක දුම්රියක මගීන් 806කට පහසුකම් සැපයේ. මෙහි දෙවන අදියරේ කරන වෙනස්කම් අනුව මැදිරි 6කින් යුත් දුම්රිය සේවයේ යොදවන අතර ඒ සමගම එක දුම්රියක මගින් 1204 දෙනෙකුට ගමන් පහසුව සැලසේ. සැහැල්ලු දුම්රියක වේගය පැයකට කිලෝමීටර් 80කි. එහෙත් මාර්ගයේ වංගු සහිත බව සහ දුම්රිය නැවතුම් සලකා බලා එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 35-40ත් අතර රඳවා ගැනීමට නියමිතය. 

මේ මාර්ගයේ දුම්රිය ධාවන අපි අලුයම 4.30ට අන්ත දෙකෙන්ම අරඹනවා. කාර්යබහුල ලෙස සැලකෙන උදෑසන 7-9ත් අතර හා සවස 4-7ත් අතර සෑම විනාඩි 3කටම වරක් දුම්රිය ධාවනය වීමට කටයුතු සලසා තිබෙනවා. ඒ වගේම තමයි මේ දුම්රිය පාලන කටයුතු Moving block කියන ක්‍රමයට කෙරෙනවා. ඒ අනුව මීටර් 100ක පමණ පරතරයක් සහිතව දුම්රිය දෙකකට ධාවනය කළ හැකියි. එකී පරතරය ස්වයංක්‍රියව පවත්වාගෙන යෑමට අවශ්‍ය දෘශ්‍ය සංවේදක මත සැකසුණු  පාලන ක්‍රමයක් මේ දුම්රියවලට තිබෙනවා.

කාර්යාල වේලාවන්හිදී මෙහි දුම්රිය 18ක් පමණ ධාවනය කිරීමට නියමිතය. 12ක් පමණ මාලඹේ බලා යෑමටත් ඉතිරි හය බත්තරමුල්ලෙන් හරවා ධාවනය කිරීමටත් සැලසුම් කර ඇත. ඊට හේතුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් බත්තරමුල්ල අවට පිහිටා තිබිම නිසා ඒ අවට ප්‍රදේශයට ඇති අධික මගී ඉල්ලුම නිසාය.

මෙම දුම්රිය මග ඉදිවන කොන්ක්‍රීට් වේදිකාවේ පළල මීටර් 8.4කි. දුම්රිය ‍පොළවල්වල මගීන් සඳහා පහසුකම් සහිත වෙනමම පර්යන්තයක් ඉදිවේ. එහි අවන්හල්, සාප්පු සංකීර්ණ වැනි ‍පොදු පහසුකම් ඇතුළත්ය. දුම්රිය‍පොළට ගොඩවීමට මෙන්ම එහි සිට වේදිකා වෙත ළඟාවීමටද පහසුකම් සහිත පියගැට පෙළ සහ විදුලි සෝපාන ඉදිකරනු ඇත. සියලු දුම්රිය මැදිරි වායුසමනය කළ ඒවා වන අතර  තිරස් අතට සවිකළ ආසනවලින් යුක්තය. (වර්තමාන බලවේග කට්ටලවල මෙන්) සෑම දුම්රියක්ම නිශ්චිත වේලාවට ධාවනය වන අතර දුම්රිය ස්ථානවලින් බසිනා මගීන්ට තම කාර්යාල වෙත යෑමට වෙනමම පදික වේදිකාද ගුවනේ ඉදිවනු ඇත. ඒ අනුව දුම්රිය මාර්ග දෙකට සමාන්තරව දෙපස ඉදිවන පදික වේදිකාවල සිට සියලුම ප්‍රධාන ආයතන වෙත අතුරු ප්‍රවේශ මාර්ග ඉදිවනු ඇත. ලිප්ටන් වටරවුම සමීපයේ ඉදිවන දුම්රිය නැවතුමේ සිට ජාතික රෝහලට, නයනාරෝග්‍ය ශාලාවට යනෙනා අයට යළි මාර්ගය හරහා යා යුතු නොවේ. ඔවුන් වෙනුවෙන් එකී ආයතන වෙත සෘජු ප්‍රවේශ මාර්ග ඉදිවනු ඇත. ඒ සියලු මාර්ග වහලය සහිතව සැකසූ ඒවාය.

මේ සැහැල්ලු දුම්රිය මග ඉදිකිරීමට වැයවෙන මුදල ඇ. ඩොලර් බිලියන 1.7කි. එය ජයිකා ආයතනය මගින් ණයක් ලෙස සැපයේ. එහෙත් මේ මුදල ගෙවීමට වසර 12ක සහන කාලයක් සහිතව වසර 40ක කාලයක් හිමිවේ. ඒ සඳහා වන ‍පොලී අනුපාතය 1කි. එමෙන්ම මේ ව්‍යාපෘතියට සම්බන්ධ නඩත්තු සැලසුම් සේවා සඳහා වන ඩොලර් මිලියන 100ක ණය මුදල සඳහා අය කරනා ‍පොලිය 0.01කි.

මෙවැනි දැවැන්ත ව්‍යාපෘති ලොව කොයි දෙස ක්‍රියාත්මක වුවද ඒවායේ වැය වූ මුදල් පියවා ගැනීමට වසර 40ක් පමණ ගතවේ. එහෙත් ශ්‍රී ලංකාවේ සැහැල්ලු දුම්රිය ක්‍රියාත්මක කිරීමේදී මූලික අවධානය යොමු කරනුයේ නඩත්තු වියදම් හා පවත්වාගෙන යෑමේ වියදම් පියවා ගැනීමටය. ඒ අනුව මාලඹේ සිට කොටුව දක්වා දුම්රිය ප්‍රවේශ පත්‍රය බස් ගාස්තුව මෙන් 2.3 ගුණයකි. එය දළ වශයෙන් රුපියල් 93ක් පමණ වෙයි. මේ මුදලට වායුසමීකරණ පහසුකම් සහිත මැදිරියක සුවපහසුව ඉඳගෙන ‍පොතක් පතක් කියවමින් ගමන් කිරීමට ඕනෑම කෙනෙකු එකඟ වෙනු ඇතැයි නාවික කොමදෝරු චමින්ද ආරියදාස පවසන්නේය. එමෙන්ම මෙහි ගාස්තු ගෙවීම සඳහා වෙනමම කාඩ්පතක් හඳුන්වා දෙන අතර එය බහුකාර්ය කාඩ්පතකි. ඉන් දුම්රිය, බස් ඒකාබද්ධ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අමතරව වෙළෙඳසල්වලින් බඩු මිලදී ගැනීමටද හැකිවනු ඇත.

ශ්‍රී ලංකාවේ මේ වනතුරු සැහැල්ලු දුම්රිය සඳහා පනතක් තිබි නැත. ඒ අඩුව සපුරාලමින් නව සැහැල්ලු දුම්රිය පනතක්ද කෙටුම්පත් කර ඇති අතර එය නීතිපති දෙපාර්මේන්තුවේ අවධානයට යොමු කර ඇත. ඒ අනුව ඉදිරියේදී සැහැල්ලු දුම්රිය සේවාව නියාමනය කිරීම උදෙසා කොමසාරිස්වරයෙකු පත් කරනු ඇත. මෙම ව්‍යුහය පාලනය කිරීම උදෙසා රජයට අනුබද්ධ ස්වාධීන සමාගමක් පිහිටුවීමට නියමිත අතර එහි ආදායම රජයට ලබා ගැනීමට නොහැකි ලෙසත් මෙහිම මතු දියුණුව උදෙසා ආයෝජනය කිරීමටත් ක්‍රමවේද සකසා ඇත.

ජයිකා ආයතනය මගින් මූල්‍ය ආධාර ලබාදෙන සියලු ව්‍යාපෘති මෙන්ම මේ ව්‍යාපෘතියෙන්ද මෙරටට වියහැකි පරිසර හානි පිළිබඳව අදහස් සහ විරෝධතා දැක්වීමට මහජනයාට ඉඩ ඇත. ඒ සඳහා දින 120ක කාලයක් දී ඇති අතර මේ ගෙවී යන්නේ එම කාලයයි.

එහෙත් සැහැල්ලු දුම්රිය භාවිතය නිසා පරිසරයට එක් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වාර්ෂිකව ටොන් 53,929කින් අඩුවන අතර එය ගස් මිලියන 1.86ක් සිටුවීමට සමානය. එමෙන්ම රථවාහන අනතුරුවලින් සිදුවන හානිවලට වැය වන මුදල වසර 2ක් තුළ රුපියල් මිලියන 520කින් අඩුවනු ඇත.

කෙසේ නමුත් මේ සැහැල්ලු දුම්රිය සේවාව ශ්‍රී ලංකා ජන ජීවිතයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේත් සුවිශේෂී වෙනසක් ඇති කරන බව නොඅනුමානය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.