lakbima.lk

අස්වානේ දෙවියන් නෙරපා දෙවොලට රිංගා ගත් සූනියම් දෙවියෝ

මේ දිනවල ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වන දේවාල අතරින් ගම්පහ දිස්ත්‍රිකයේ මිනුවන්ගොඩ සමීපයේ ඇති ගලේදේවාලයට හිමිවන්නේ මුල්තැනකි. බදාදා සෙනසුරාදා යන දින වල මෙය එකම හිස් ගොඩකි.  නමුදු මීට දශක කිහිපයකට පෙර වැඩි දෙනෙකුගේ අවධානයෙන් තොරව තිබූ වගුරු බිමක් ආශ්‍රිත පරිසරයක පිහිටි මෙම දේවොල සුද්ධ සූනියම් ගම්භාර දෙවියන් උදෙසා කැප කරන ලද්දක් බව පැවසෙයි.

නමුත් එහි ඉතිහාසය ඊට තරමක් වෙනස්ය. මීට දශක කිහිපයක් දක්වා මෙම දේවාලය පිහිටි ස්ථානය හදුන්වනු ලද්දේ වෑගොව්ව යනුවෙනි. වෑගොව්ව යන්නෙහි අදහස වැව් ඉස්මත්ත යන්නය. අතීතයේ මෙම වෑගොව්වේ සංහිඳක් තිබූ අතර එය ක්‍රමයෙන් ජන අවධානයෙන් තොරවූ බවක් පෙනේ. මෙම සංහිඳ අස්වානේ දෙවියන් මුල්කොට වැදුම් පිදුම් කරන ලද්දක් වන අතර අස්වානේ දෙවියන් යනු ක්‍රි.ව. පහලොස්වන සියවසත් දාසයවන සියවසත් අතර උඩුගම්පොළ උපරාජධානියේ රජකම් කළ සකළ කලා වල්ලභ රජතුමාය.

වැවක වේල්ල බිදී යාමෙන් රාජධානියට එල්ලවූ ගංවතුර උවදුරක් මුල් කොට උපදේශකයන්ගේ වැරදි උපදෙස් වලට රැවටී තම බිසව එම ගංවතුරටම බිලිකළ රජතුමා පසුව එම සිත්තැවුලෙන් එම බිදී ගිය වේල්ල හෙවත් වාන මතින් ජලයට පැන සියදිවි නසා ගත් බව ජනප්‍රවාදයන්හි සදහන්ය.

වාන බිදී ගිය නැතහොත් වාන අස්වූ ස්ථානය පසුව අස්වාන වශයෙන් හැදින්වුනු අතර එම ස්ථාන නාමයෙන් සකලවලා වල්ලභ රජතුමාද පසුව අස්වානේ දෙවියන් යනුවෙන් දේවත්වයට පත්ව ඇත. අස්වාන යනු මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ එක්තරා ස්ථානයකි. මාතම්මන යන්නෙහි අදහස විශාල කමත යන්නය.

සාහිත්‍ය මුලාශ්‍ර සහ ජනප්‍රවාද වලට අනුව සකලකලා වල්ලභ රජතුමා කෘෂිකර්මාන්තයෙහි සහ වාරිකර්මාන්තයෙහි ශූරයෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රමඛතම වෙල්යායක්ව තිබූ මුතුරාජවෙළ මුළුමනින් අස්වැද්දීමට එතුමන් සමත් වූ බව කියනු ලැබේ.

එමෙන්ම මිනුවන්ගොඩ ආශ්‍රිතව එතුමන් විසින් කරවන ලද වැව් කිහිපයක්ම තිබු අතර වර්තමානයේ ගලේ දේවාලය පිහිටි ස්ථානයද එවැනි වැවක් තිබූ ස්ථානයක් බව කියනු ලැබේ. දැනට වගුරු බිමක්ව පවතින එම ප්‍රදේශය සූක්ෂම ලෙස නිරීක්ෂණය කළ හොත් එය ජලමාර්ගික සබඳතායක් තිබූ වැවක් බව හදුනා ගැනීමට අපහසු නොවනු ඇත.

අතීතයේ රජතුමා එම වැව නිරීක්ෂණය කිරීම පිණිස අසු පිටින් එම ගල් තලාවට පැමිණ එහි විවේක සුවයෙන් පසුවූ බව ජනප්‍රවාදවලින් පැවසෙයි.

රජතුමා මියගොස් දේවත්වයට පත්වූ පසු අස්වානේ දෙවියන් නමින් එහි සංහිඳක් ඉදිවන ලද්දේ ඒ අනුවය. කෙසේ හෝ ගම්පහ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී ජීවත්වූ මහා කලාකරු මහගම සේකරයන් මෙම සකලකලා වල්ලභ චරිතය පිළිබද ගවේෂණය කිරීමට 1960 දශකයේ උනන්දු වී තිබේ. එහිදී ඔහු තම කළණ මිතුරෙකු වන අප රටෙහි මුල් පෙලේ නාට්‍ය නිශ්පාදකයෙකු වන දායානන්ද ගුණවර්ධනයන්ගේ  සහායද ලබා ගත් බව පැවසෙයි. ඒ කෙසේ හෝ  පසුව මහගම සේකරයන් අතින් ලියැවීමට නියමිතව තිබූ සකලකලා වල්ලභ චරිතය ‘සකලකලා වල්ලභ - 

උඩුගම්පොළ රජතුමා‘ නමින් 1960 මැද භාගයේදී ප්‍රකාශයට පත්ව ඇත. එය ගම්පහ සරසවි ප්‍රකාශනයකි. කෙසේ හෝ මෙම කෘතියේ පිටපතක් අද වන විට සොයා ගත් නොහැකි තත්වයක පවතින අතර ඒ පිළිබදව විමසූ මට එම පවුලේ ඥාතීන් සතුවද එහි පිටපතක් නොමැති බව දැනගත හැකි විය. කෙසේ හෝ කොළඹ රාජ්‍ය ලේඛණාගාරයේ මෙම කෘතියේ පිටපතක් සුරැකිව තිබේ.

ඉහත සදහන් මුලාශ්‍ර විමර්ශනය කොට සකලකලා වල්ලභ රජතුමන් පිළිබද තොරතුර විමසීමට මීට වසර 20කට පමණ පෙර මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයට ගිය මට එම ගල්තලාවට පිවිසීමට පවා නොහැකි විය. ඒ එම ප්‍රදේශය එවකට කටු අකුලින් වැසී තිබූ බැවිනි. නමුත් පසුකාලිනව එය ශූද්ධ සූනියම් ගම්භාර හෙවත් කබලෑවේ දෙවියන් සම්බන්ධ පුදබිමක් ලෙස යළි ස්ථාපනය වී තිබේ. මෙහිදී සූනියම් දෙවියන් සහ අස්වානේ දෙවිවරුන් අතර පවතින ප්‍රධානතම සමානාත්මතාවය නම් එම දෙවිවරු දෙදෙනාගේම වාහනය අශ්වයා වීමය.

කෙසේ හෝ අතීතයේ වෑගොව්ව නමින් හැදින්වුණු මෙම ස්ථානයෙන් අස්වානේ දෙවියන් ඉවත් කොට සූනියම් දෙවියන් වැඩම කොට ඇත්තේ කවර නම් හේතු සාධක මත දැයි මම නොදනිමි.

ඒ බොහෝ විට වර්තමාන සමාජයේ පවත්නා අධ්‍යාත්මික සාපිපාසාව මුල් කොට කවුරුත් නොදන්නා අස්වානේ දෙවිදුන්ට වඩා නූතන සමාජයේ අතිප්‍රසිද්ධ සූනියම් ගම්භාර දෙවියන් එහි වැඩම කරවීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකි බව එම දෙවොල පවත්වා ගෙන යන පිරිසට වැටහී තිබීම නිසා යැයි මට සිතේ.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.