lakbima.lk

වාලම්පුරි ළඟ තබා ගැනීමෙන් ධන සම්පත් හිමිකරගත හැකිද?

රුපියල් කෝටියකට අලෙවි කිරිමට තිබූ  වාමාවෘත්ත වාලම්පුරියක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (02) දහවල් ත්‍රිකුණාමලය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 
ත්‍රිකුණාමලය ඕර්ස්හීල්  කෙසෙල් තුඩුව පාරේදි  මෙම වැටලිම සිදුකළ අතර  සැකකරුවන් පැමිණි  වැන් රථයද අත්අඩංගුවට  ගැනීමට හැකිවි තිබේ.
 
සැකකරුවන්  අතර   කාන්තාවකද සිටින අතර ඔවුන් කින්නියා මුතුර් හා ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෝ වෙති.
 
මෙය  “ටර්බිනෙල්ලා පයිරම්“  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන වාලම්පුරියක් බව මෙය පරික්ෂා කළ ධීවර පරික්ෂකයන්ගේ නිගමනය වි තිබේ. 1996 අංක 02 දරණ ධීවර හා ජලජ පනතෙන් මෙවැනි වාලම්පුරි සන්තකයේ තබාගැනිම,ප්‍රවාහනය කිරිම තහනම් බව පොලිසිය පැවසීය.
 
පොලිසිය වැටලිම් සිදුකරන අවස්ථාවේ මෙම වාලම්පුරිය මිලදි ගැනිමට ගැනුම් කරුවන් හයදෙනෙකු  පැමිණ ඇතැයි  කියති. 

වර්තමාන ජන සමාජයේ වාසනාවේ සංකේත වශයෙන් හැඳින්වෙන ද්‍රව්‍ය අතුරින් වාලම්පූරි වලට හිමි වනුයේ මුල් තැනකි. එනිසාම මෙම වාලම්පුරි වාසනාවේ සංකේතයක් ලෙස මාධ්‍යවලින් පවා නිතර හුවාදක්වනු අසන්නට දකින්නට ලැබේ. එහෙත් මේ වාලම්පුරි යනු මොනවාද? මිනිසුන් හට වාසනාව ළඟා කිරීමේ බලයක් මේවාට තිබේද? ඒ සම්බන්ධ විද්‍යාත්මක කරුණු අනාවරණය කර ගැනීම පිණිස අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාගරජීව විද්‍යාඥයකු වන මහාචාර්ය ඩබ්ලියු.එම්.ටී.බි. වන්නිනායක මහතාගෙන් ඒ පිළිබඳව විමසීමක් කළෙමු.

* මොනවාද මේ වාලම්පූරි කියන්නේ ?
මුහුදේ මිරිදියේ සහ ගොඩබිම ජීවත්වන බෙල්ලන් සියල්ලම ‍පොදුවේ  මොලස්කා වංශයට අයත් වෙනවා. මේ වංශයට අයත් සත්ව විශේෂ 70,000ක් පමණ ඇති බව සොයාගෙන තිබෙනවා. ඒ ජීවීන් අතරින් පෙති හෙවත් කපාට දෙකේ බෙල්ලන් Bivalvia නමිනුත් තනි කටුවේ බෙල්ලන් gastropoda නමිනුත් හැඳින්වෙනවා. මේ දෙවන වර්ගයේ බෙල්ලන්ගේ කටුව සාමාන්‍යයෙන් වමේ සිට දකුණට එසේත් නැතිනම් ඔර්ලෝසුවේ කටුව කැරකැවෙන පැත්තට කරකැවී තිබෙනු දක්නට පුලුවන්. නමුත් ඔය අතරේ කලාතුරකින් බෙල්ලකුගේ කටුව ඊට ප්‍රතිවිරුද්ධ අතට ඒ කියන්නේ දකුණේ සිට වමට කරකැවී තිබෙන බව පේනවා. අපගේ ජන සම්මතයට අනුව වාලම්පූරි නමින් හැඳින්වෙන්නේ මේ බෙල්ලන්ගේ කටු විශේෂයි.
* මේ වාලම්පුරි වාසනාවේ සංකේත වශයෙන් හැඳින්වෙන්නේ කොහොමද?
සුලබ දේවල් අතුරින් දුලබ දෙයක් හමු වූ විට එහි වටිනාකම වැඩිවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ හැරුණුකොට මේවායේ වෙන වටිනාකමක් නැහැ.
* නමුත් මේ සමහර වාලම්පුරි රුපියල් ලක්ෂ ගණන්වලට විකිණෙන බව දැනගන්නට තිබෙනවා
මිනිසුන්ගේ ගුප්ත විශ්වාස මත එලෙස ජන සමාජයේ වැඩි වටිනාකම් හිමිවන දේවල් තිබෙනවා. නමුත් ඔය වටිනාකම තිබෙන්නේ ලංකාව ඉන්දියාව වැනි පෙරදිග රටවල විතරයි. යුරෝපයේ හෝ ඇමෙරිකාවේ ඔය කියන දේවල්වලට කිසිම වටිනාකමක් නැහැ. කොටින්ම රන් රිදී මුතු මැණික් ආදියට තියන ජාත්‍යන්තර මුල්‍යමය තක්සේරුවක් මේවාට නැහැ. වෙන රටවලත් මෙවැනි වාසනාව පිළිබඳව ගුප්ත සංකේත තිබෙනවා. අපි දන්නේවත් නැති.
* නමුත් දකුණේ සිට වමට කරකැවුණු වාලම්පූරි දුර්ලභ බව ඔබ කීවා
අපේ සාගර කලාපයේ තත්ත්වය එහෙම වුණත් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා මුහුදු තීරයෙන් වාර්තාවන Busycon නම් බෙල්ලන් සියල්ලන්ගේම කටුව හැරී ඇත්තේ දකුණේ සිට වමටයි. ඒ කටු අතරින් දකුණේ සිට වමට කරකැවුණු බෙල්ලකු සොයාගත හැක්කේ ඉතා කලාතුරකින්. නමුත් වාලම්පූරි පිළිබඳ ගුප්ත විශ්වාස දරන ඉන්දියානුවන් ඒ බෙල්ලන්ගේ කටු තොග ගණන් ආනයනය කරනවා; අපේ රටේ වාලම්පුරි නමින් හැඳින්වෙන බෙලි කටු අතරේ ඒවාත් තිබිය හැකියි. අපේ රටේ වාලම්පුරි ජාවාරමට ඒවා  සම්බන්ධ වී තිබනෙු විය හැකියි.
* නමුත් කුඩා වාලම්පූරියකට වඩා ලොකු වාලම්පූරියක අගය වැඩි බවට ජන විශ්වාසයක් තිබෙනවා
සාමාන්‍යයෙන් මේ බෙල්ලකු එක්වරකට බිත්තර මිලියන පහේ සිට මිලියන පන්දහස දක්වා හෙළනවා. සොබා දහම මගින් ඒවා වැඩි කොටස විනාශ නොකළා නම් මුලු ලෝක වාසීන්ටම ජීවත්වීමට සිදුවන්නේ බෙලිකටු ගොඩක තමයි; නමුත් බෙල්ලන් වශයෙන් පැවැත්ම තහවුරු වන්නේ ඒ බිත්තර මිලියන ගණනකින් එකෙකුගේ පමණයි. මෙම බෙල්ලකුගේ මුළු ආයු කාලය අවුරුදු පහක් වන අතර, එවැන්නවුන්ගේ කටුව විශාලයි. මාස දෙකේ තුනේ බෙල්ලන්ගේ කටු ප්‍රමාණයෙන් කුඩයි. විසිතුරු භාණ්ඩ වශයෙන් ඒවා යොදා ගැනෙනවා.
* සැබෑ වාලම්පුරියක් කණෙහි තබා ගත්විට එතුළින් මුහුදේ ඝෝෂාවට සමාන ඝෝෂාවක් මතුවීම එහි හාස්කම් බලය හුවා දක්වන්නක් බව සමහරුන් කියනවා.
ඕනෑම දෙයක් බාහිර ශ්‍රවණේන්ද්‍රිය මත තබා තෙරපීමකට ලක් කළවිට කිසියම් හඬක් නිකුත්වීම ශ්‍රවණේන්ද්‍ර පද්ධතියේ පවතින ස්වභාවික තත්ත්වයක්. නැතහොත් ඒ වාලම්පුරියේ ඇති හාස්කමක් නිසා ඇතිවන්නක් නොවේ. කණ මතට වීදුරු තලයක් තබා තද කිරීමෙනුත් ඔය ආකාරයේම ශබ්දයක් නිකුත් වනු අසන්නට පුලුවන්.
* ඒ වගේම සැබෑ වාලම්පුරියක් ස්වභාවිකවම චලනය වන අවස්ථාවන් පිළිබඳවද අසන්නට ලැබෙනවා.
වාලම්පුරිය ස්වභාවිකවම නිර්මාණය වී තිබෙන්නේ කැල්සියම් කාබනේට්වලින්. ඒ කියන්නේ හුනුගල්වලින්. ඒ නිසා ඒ මතට නයිට්‍රික් අම්ලය, හයිඩේ‍රාෆ්ලෝරික් අම්ලය වැටුණුවිට එය ප්‍රතික්‍රියා කරන්න පුලුවන්. ඒක ඉතා සරල විද්‍යාත්මක සිද්ධාන්තයක් මත සිදුවන දෙයක්. ඒ වගේම යමකු මෙය සොලවන්නේය යන පූර්ව මානසික ඇනවුමට යටත්ව ඊට අත තබා ගතහොත් මනෝ චාලක ක්‍රියා (ideomotor effect) යන මනෝමය සිද්ධාන්තය මත වුණත් එය චලනය විය හැකියි. ඒක එය අල්ලාගෙන හිඳින තැනැත්තාගේ මානසික බලපෑමෙන් සිදුවන්නක් නිසා මේ සඳහා වාලම්පුරියක් වෙනුවට වෙනස් වස්තුවක් වුවත් යොදාගත හැකියි.
* ඒ අනුව වාලම්පුරි කියන්නේ කිසිම හාස්කමක් හෝ වටිනාකමක් නොමැති සත්ව කොටසක් පමණක් බවද ඔබේ නිගමනය
ඔය වටිනාකම් සහ හාස්කම් ඇත්තේ අන්ධ විශ්වාස දරන මිනිසුන්ගේ සිත්වල මිසක් ඔය කියන බෙලි කටුවල නොවන බව සාගර ජීව විද්‍යාඥයකු හැටියට මට සහතිකවම කියන්න පුලුවන්.

සාගර ජීව විද්‍යා මහාචාර්ය ඩබ්ලියු. එම්.ටී.බි. වන්නිනායක

දමයන්ති ගමගේ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.