lakbima.lk

පිළිකා රෝගීන් උදෙසා දොස්තර නෝනා ගෙන් සොදුරු රැගුම්

සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් කරාපිටිය රෝහලට යාබදව ගොඩනැගීමට යෝජිත ‘අතරමැදි නිවහන’ ලෙසින්  නම් කළ පිළිකා රෝහල ගොඩනැංවීමට ආධාර පිණිස “ඉඳුවර නූපුර” නර්තන දැහැන 2018 ජූලි 17 වන සෙනසුරාදා හවස 5.30ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී වේදිකාගත කිරීමට නියමිතය.
මෙම “අතරමැදි පිළිකා රෝහල” ගොඩනැංවීම  ශ්‍රී ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාවේ ව්‍යාපෘතියකි. මෙම රෝහල තැනීමේ අරමුණ වන්නේ දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගැනීමට නිර්දේශ වූ රෝගීන් විකිරණ ප්‍රතිකාර සඳහා නිර්දේශ වූ රෝගීන් සහ මානසික සුවතාවය අවශ්‍ය වන පිළිකා රෝගීන් සඳහා නේවාසිකව  හිදීමට නිවහනක් ලබාදීමයි.
පිළිකා රෝගීන් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල තුළ ප්‍රතිකාර කිරීමට ඇති පහසුකම් වල තවදුරටත් පවතින අඩුපාඩුකම් වලට විසඳුම් ලබා දෙමින් අසාධ්‍ය රෝගීන් දැනට පවතින රෝහල් පරිශ්‍රය තුළ ප්‍රතිකාර ලබද්දී බාහිර රෝගීන් ලෙස රෝහලට පැමිණීමට සිදුවන විකිරණ ප්‍රතිකාර සඳහා නිර්දේශ වූ රෝගීන් සහ දීර්ඝකාලීනව තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙනුවෙන් නැවතී ප්‍රතිකාර ලබාගැනීමට මෙම  ‘අතරමැදි නිවහන’ නිර්මාණය කරදීම ශ්‍රී ලංකා පිළිකා සංගමයේ අපේක්ෂාවය. අතරමැදි නිවහන් ලොව බොහෝ දියුණු රටවල ඉදිකොට තිබේ.
නර්තන විශාරද වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි කුමාරි මෙනෙවිය විසින් ඉදිරිපත් කරනු ලබන “ඉඳුවර නූපුර” නර්තන දැහැන ගාල්ල දිස්ත්‍රික් සිංහ සමාජය මගින් සංවිධානය කරනු ලැබේ.
ශාස්ත්‍රීය භරත නාට්‍යම් නර්තන අංග සහ නව නිර්මාණ නර්තන අංග වලින් සමන්විත වන මෙම නර්තන දැහැනේ ගායනයෙන් සහය වන්නේ, වෛද්‍ය චතුරංග ලක්මාල් ෆොන්සේකාය.
වෛද්‍ය උදුම්බරා 2012 වසරේදී රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධියත්,  එම වසරේදීම ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයෙන් භරත නාට්‍යම් නර්තනය පිළිබඳව විශාරද උපාධියත් ලබා ගනිමින් ප්‍රථම වතාවට වෛද්‍යවරියක්, නර්තන විශාරද වරියක් වීමේ සොඳුරු අත්දැකීමට හිමිකම් කීවාය. 2014 වසරේදී, ප්‍රවීණ නර්තනවේදිනී ආචාර්ය මිරැන්ඩා හේමලතාවන්ගේ සිසු දියණියක ලෙසින් සිය භරත නාට්‍යම් අරන්ගේත්‍රම් කළඑලි මංගල්‍යය පැවැත්වූවාය.
2013 වසරේදී ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් වෛද්‍යවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය ඉන් අනතුරුව රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ ළමා හදවත් රෝග ඒකකයේ සේවය කළාය. ළමා හදවත් රෝගී දරුවන් වෙනුවෙන් වූ අරමුදල සඳහා “නර්තන සෙව්වන්දි” නර්තන දැහැන ගෙන ආ ඇය මෙලෙසින් සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් “ඉඳුවර නූපුර” යායේ යළිත් විකසිත වන්නීය.
රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ නර්තන චිකිත්සා ඒකකයක් ආරම්භ කළ වෛද්‍ය උදුම්බරා, සිය නර්තන හැකියාවන් දැයේ දරුවන්ගේ සුවපත් බව වෙනුවෙන් දායක කිරීමට අපේක්ෂා කරන්නීය.
ඇය දැනට ඇල්පිටිය මූලික රෝහ‍ලේ නොමේරූ ළදරු ඒකකයේ වෛද්‍යවරියක් ලෙසින් කටයුතු කරයි.

නිර්මාණී ජයතුංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.