lakbima.lk

බහිරවයන්ගේ ඡායාරූප ගත හැකි “ඩිජිටල් පාතාල අංජනම”

උපන්තේකට අසා නොමැති පාතාල අංජනමක් පිළිබඳව මට දැන ගන්නට ලැබුණේ මීට දෙසතියකට පමණ කලිනි. ඒ කුරුවිට ප්‍රදේශයේ මගේ හිතවතෙකු වන රණසිංහ මහතාගෙනි. ඔහු එම ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලි කරුවෙකි. මෙම පාතාල අංජනමේ විශේෂත්වයක් තිබේ. එනම් එය ‘ඩිජිටල්‘ පාතාල අංජනමක් වීමය. මෙය මේ වන විට කුරුවිට, එරත්න, පරකඩුව, ඇහැලියගොඩ ආදී ප්‍රදේශවල මැණික් ඉඩම් හිමියන් ප්‍රයෝජනයට ගන්නා බව පැවසෙයි.

මෙම ඩිජිටල් පාතාල අංජනම හඳුන්වා දී ඇත්තේ ඇහැලිගොඩ ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු විසිනි. ඉහත සඳහන් ප්‍රදේශවල මැණික් ඉඩම් හිමියන් දුරකතනයෙන් සම්බන්ධකර ගන්නා එම තරුණ පිරිස එම ප්‍රදේශ වල භූමියේ මැණික් ඇති බව එම පාතාල අංජනමෙන් සීයට සීයක් නිවරැදි ලෙස දැන ගත හැකි බව පවසති.

ඉන් පසුව ඒ කෙරෙහි උනන්දුවක් දක්වන ඉඩම් හිමියෝ එම තරුණයන්ට එකි පාතාල අංජනම බල ගන්වන ලෙස දන්වා සිටිති. එවිට එම තරුණ පිරිස සෙනසුරාදා හෝ බදාදා දිනයක රාත්‍රියේ එම ඉඩම් හිමියාගේ නිවසට පැමිණෙති. එසේ පැමිණෙන ඔවුහු මල් බුලත් පුටුවක් සකසා කිසියම් යාතුකර්මයකින් එම භූමියේ සිටින බහිරවයන්ට ආරාධනා කොට තමන් සතු ඩිජිටල් කැමරා වලින් ඒ භූමියේ විවිධ ස්ථාන ඡායාරූප ගත කරති.

ඉන් පසු එම ඡායාරූප ලැප්ටොප් පරිගණකයනට ඇතුල් කරන ඔවුන් ඒවායේ සටහන් වී ඇති අසමාන්‍ය රූ සටහන් ඉඩම් හිමියන්ට පෙන්වනුයේ ඒවා බහිරයන්ගේ රූප බව පවසමිනි. 

යම් භූමියක එලෙස බහිරවයන් සිටිනුයේ එහි භූගර්භයේ වටිනා සම්පත් ඇති නිසා බව ගෙහිමියන්ට දන්වන තරුණයෝ ඒ සඳහා නිසි ලෙස බහිරව පුජාවක් පවත්වන මෙන් ඉඩම් හිමියන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත් එම බහිරව පූජාව සිදු කළ යුත්තේ එම තරුණයන් විසින් හඳුන්වා දෙන ඇදුරන් විසින්මය. ඔවුන්ද ඉහත සඳහන් තරුණයන්ගේ වයසේම පසුවන අතර ඉන් පසු බදාදා හෝ සෙනසුරාදා රාත්‍රියක පැමිණෙන ඔවුහු එම බහිරව පුජාව සිදු කරති.

මෙම ඩිජිටල් පාතාල අංජනමෙන් භූමිය පරික්ෂා කිරීම පිණිස රුපියල් දසදහසක් පමණ මුදලක් වැය වන අතර එම බහිරව පූජාව සඳහා රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වැය කිරීමට සිදුවෙයි.

කෙසේ හෝ පසුගිය හත්වන සෙනසුරාදා (ඊයේ) රාත්‍රියේ රණසිංහ මහතාගේ නිවසට එම ඩිජිටල් පතාල අංජනම බල ගන්වන තරුණයන් පැමිණෙන බවට පොරොන්දු වී සිටි බැවින් මමද රහසින් එහි ගොස් සිටියෙමි. ඒ මෙම ඩිජිටල් පාතාල අංජනමේ ඇත්ත කතාව තේරුම් ගනු පිණිසය.

ඒ කෙසේ හෝ ඊයේ සවස් යාමය වන විටත් රණසිංහ මහතා ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි අතර රාත්‍රිය එළැඹීමට ඔන්න මෙන්න තියා තිබියදී එම කණ්ඩායමෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුණේ එම ඩිජිටල් පාතාල අංජනම බල ගන්වන තම ඥාතී සොයුරා අසනීපයෙන් පෙළෙන බැවින් යළි එහි පැමිණෙන දිනයක් කිව නොහැකි බවත්ය. ඒ අනුව එම ඩිජිටල් පාතාල අංජනමේ ‘හාස්කම්‘ විශ්ලේෂණය කිරීමේ හැකියාව මා හට අහිමි විණි.

ඔවුන් මෙසේ ඩිජිටල් පාතාල අංජනම ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරනුයේ සංයුක්ත කැමරා (Compact/ instamatic camara) බව පැහැදිලිය. මේවායේ ක්‍රියාකාරීත්වය කෙතරම් සරල ද යත් මේවා ජපානයේ දී බකචම්පෝ නමින් හැදින්වෙන බව ඡායරූප ශිල්පය පිළිබඳ කථිකාචාර්ය ප්‍රවීණ ඡායාරූප ශිල්පි ඉන්ද්‍රනාථ තේනුවර මහතා කියයි.

බක චමපෝ යන ජපන් වදනේ සිංහල තේරුම ඕනෑම මෝඩයකුට ඔබින යන්නය. කෙසේ හෝ මෙම ඩිජිටල් පාතල අංජනම බල ගන්වන තරුණයන් මල් බුලත් පුටුවක් තබා රාත්‍රියේ කරනු ලබන යාතු කර්මයකින් පසු ගනු ලබන ජායාරූප වල එලෙස විවිධ ආලෝක ලප සටහන් වීම අතිශයෙන් ස්වභාවිකය. ඒවා පරිගණක තිරයක් මතදී විස්තාරණය කිරීමේන් ඒවායේ විවිධ හැඩ තල ඇති අයුරක් ඊට අනුගත මානසිකත්වයක් ඇති අයගේ සිත තුළ මැවෙනු ඇත.

මෙම තරුණයන් බහිරව රූප ලෙස එම ඉඩම් හිමියන් හට ඉදිරිපත් කොට ඔවුන් බහිරව පූජා වෙත යොමු කරනුයේ එවන් තාක්ෂණික දුබලතා සහිත බාල කැමරා වලින් ගනු ලබන ඡායාරූප ය. කෙසේ හෝ එලෙස බහිරව පූජාවක් පැවැත්වීමෙන් එම භූමියේ මැණික් ඇති බවට තදබල විශ්වාසයකින් යුතුව එම කටයුත්ත කෙරෙහි දැඩි සේ යොමුවන විට  ඒ සඳහා යොදන කාලය ශ්‍රමය මුදල මත මැණික් ලැබීමේ යම් හැකියාවක් පවතී. එවිට එම ඉඩම් හිමියා සිතනුයේ එය එම බහිරව පුජාවේ අනුහසින් සිදුවන්නක් බවය.

ඒ කෙසේ හෝ එම ඩිජිටල් පාතාල අංජනම බල ගන්වන තරුණයාට හදිසි ‘අසනීපයක් වැළඳීමට‘ සැබෑ හේතුව එම කාර්ය සඳහා නිරීක්ෂකයෙකුගේ පැමිණීම පිළිබඳව කිනම් හෝ ඉවක් වැටීම නිසා විය නොහැකිද? මෙම කාර්යයෙහි මගේ මෙම අනුමානය ඉක්මවන සත්‍යයක් තිබේ නම් ඒ පිළිබඳ වැඩිදුර නිරීක්ෂණයක් සඳහා මා හට අවස්ථාවක් ලබා දෙන මෙන් එම තරුණයන් වෙතින් මම ඉතා කරුණිකව අයැද සිටිමි.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.