lakbima.lk

කේරලයේ කොටි සෙල්ලමක් නොවූ හීනටියන සත්තු පෙරහැර

කොටි සෙල්ලම යනු මේ දිනවල සමාජ කරලියේ රැව්පිළි රැව් දෙන මාතෘකාවකි. එමෙන්ම එම කොටි සෙල්ලම් කෙරෙහි බොහෝ දෙනෙක් නොරිසි වන බව ද පෙනෙයි. එහෙත් අප පලමුව කියන්නට යන්නේ එබඳු අයහපත් කොටි සෙල්ලමක් ගැන නොවේ. දැනටත් කේරලයේ රඟ දැක්වෙන අපුරු ජන ක්‍රීඩාවක් පිළිබඳවය. පුලික්කලි යනුවෙන් හැදිවෙන එම ක්‍රීඩාවේදී පිරිමින් තමන්ගේ ශරීර වල ඉතා විචිත්‍රවත් ලෙස කොටින්ගේ හෝ දිවියන්ගේ රූප සිත්තම් කර ගනිමින් රංගනයේ යෙදීම මෙහිදී සිදුවේ.

මෙලෙස මිනිසුන් සත්ව වෙස් ගෙන සිදුකරන ක්‍රීඩා ලොව බොහෝ ජන සංස්කෘතීන් තුළ තිබේ. අපට ආසන්නතම ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ සිදු කෙරෙන කච්චිගෝඩි එවැනි සත්ව ක්‍රීඩාවකි. මෙහිදී අශ්වයන්ගේ අනුරූ තුළට බැස ගන්නා ජන රංගන ශිල්පීහු අසරුවන්සේ පෙනී සිටිමින් රංගනයක යෙදෙති. මෙය රාජස්තානයේ සාම්ප්‍රදායික රණවිරු රංගනයකි. මෙලෙස සත්ව අනුරූ තුළ මිනිසුන් හිඳිමින් ඉදිරිපත් කෙරෙන විශිෂ්ටමතම කලා අංගයක් අප රටේද තිබේ. එහෙත් ඒ පිළිබඳ තවමත් අප සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.

මිනුවන්ගොඩ හීනටියන පොත්ගුල් විහාර පිරිවෙනේ වාර්ෂික පොසොන් පෙරහැර 77 වරටත් පසුගිය ජුනි 30 වන සෙනසුරාද මිනුවන්ගොඩ අවට වීදි සංචාරය කරන ලදී.  මෙසේ නිර්මාණය කරන ලද දැවැන්ත සත්ව සහ වෙනයම් අනුරූ සීයයකට ආසන්න ප්‍රමාණයක් ද මෙම පෙරහැරට එක්ව තිබීම විශේෂත්වයකි. එනිසාම බොහෝ දෙනෙකු හීනටිනයන පෙරහැර හඳුන්වනුයේ ‘සත්තු පෙරහැර‘ යනුවෙනි. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ මෙවන් ‘සත්තු‘ කොටසක් ලංකාවේ අන් කිසිදු විහාරස්ථාන, දේවාල, කෝවිල් හෝ දේවස්ථාන පෙරහැරක දක්නට නොලැබීමය.

1940 හෝ 1941 යන වසරකදී එවක හීනටියන පොත්ගුල් විහාර පිරුවන්පතිව වැඩ විසු පූජ්‍ය හීනටියන ධම්මඛන්ධ නාහිමියන්ගේ කාලයේ කුඩා මල් පෙරහැරක්ව තිබූ මෙම පෙරහැර ඉන් පසු එම පදවිය හෙබවූ පුජ්‍ය හීනටියන ධම්මාලෝක නාහිමියන්ගේ කාලයේ වඩාත් සංවිධානාත්මකව සිදු වූ බවත් මෙම පෙරහැරට මුල් වරට සතුන් එක්වන්නට වූයේ 1960 දශකයේ මුල් වකවානුවේ බවත් කියනු ලැබේ. එසේ වාර්ෂිකව මෙම පෙරහැරට සතා එකා දෙන්නා එකතු වී එය සිය ගණනක් දක්වා ඉහළ නැංවීම අපුරු සිද්ධියකි. මේ වන විට මෙම පෙරහැර සංවිධානය වනුයේ හීනටියන පොත්ගුල් පිරිවන්පති පූජ්‍ය හීනටියන නන්දතිස්ස නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්  විහාරාධිකාරී පූජ්‍ය හීනටියන ධම්මදස්සි හිමිපාණන් වෙතනි.

එමෙන්ම මුලදී තනි සතුන් මෙලෙස පෙරහැර සඳහා යොදා ගනු ලැබූවද සතුන් කණ්ඩායම් සහ බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් සිදුවීම්ද මෙලෙස අනුරූ ආකාරයෙන් මෙම පෙරහැරට එක්කොට තිබේ. මෙම අනුරූ මුලින් වේවැල් ආකෘතියකින් සකසා පසුව එය ගෝනි වලින් වසා කඩදාසි සහ පාප්ප ඇසුරෙන් නිමා කොට වර්ණ ගැන්වීම සිදුකරනු ලැබේ. මෙහිදී එම අනුරුව පෙරහැරෙහි රැගෙන යනු ලබන්නේ එය පාපැදියක් හෝ පාපැදි කිහිපක් මත රැඳවීමෙනි. එක්තරා අන්දම අපුරු කලාවක් වන මේ සඳහා තවම නිශ්චිත නමක්වත් නොමැත.

එහෙත් මෙම ප්‍රදේශයේ ජනතාව සම්බන්ධයෙන් කරනු ලබන මානව විද්‍යාත්මක විමර්ශන වලදී ඔවුහු මීට සියවස් කිහිපයකට පෙර දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා සහ කේරල ප්‍රදේශවලින් මෙරටට සංක්‍රමණය වූ ද්‍රවිඩ ජනතාවගෙන් පැවත එන්නවුන් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඒ සඳහා ඔවුන්ගේ පෙළපත් නම් වලින් ලබා ගත හැකි පිටුවහල සුළුපටු නැත. විශේෂයෙන් කෝට්ටේ සහ සීතාවක යුග වල ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් මෙරටට සංක්‍රමණය වූ සන්‍යාසීන් නමින් හැදින්වෙන ගිහි පූජකයන් මෙම පරපුරේ ආදී මුතුන් මින්තන් සේ සැළකිය හැක.

ද්‍රවිඩයන් තෙළිගු, දෙමළ, කන්නඩා, මලයාලම් ආදී භාෂාවන් භාවිතා කරන සමාජ සංස්කෘතික ධාරවකින් පැවැත එන්නවුන් වන අතර මොවුන් භාවිතා කළ තෙළිගු බස මොවුන් පැමිණි ආන්ද්‍රා දේශය මුල් කොට දේශීය ගැමියන් විසින් එවක හඳුන්වන ලද්දේ ‘අන්ඩරදෙමළ‘ යනුවෙනි. මෙහි අන්ඩර යනු ආන්ද්‍රා යන්න දේශීය ඌරුවට ව්‍යවහාර වීමක් සේ සැලකිය හැක. එහෙත් මෙම බස දෙමළ නොවන බව විශේෂයෙන් සැලකිය යුතුය. ඒ අනුව අප රටේ දේශීය සාම්ප්‍රදායික කලාවන්ට අයත් නොවූ මෙම සත්ව අනුරූ කලාව මෙම ගැමියන්ගේ පරපුරේ ආදිතමයන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ කිසියම් කලා මාධ්‍යයක විකාශනයක් බව පිළිගැනීමට අපට සිදු වේ.

මිනුවන්ගොඩ හීනටියන අවට මහගම, ගුරුගොඩ, මෝලගොඩැල්ල, නුගේගොඩවැල්ල, ධම්මාලෝක ගම, උඩවෙල, ගෝනමඩිත්ත ජනපදය ආදී ප්‍රදේශවල බොහෝ ගැමියන් තුළ මෙම සත්ව අනුරූ තැනීමේ කලාව පිළිබඳ මනා නිපුනත්වයක් තිබේ. මෙම ගම්මාන අතරින් පැරණිතම ගම්මානයක් වන ගුරුගොඩට ඒ නම ලැබී ඇත්තේ එහි අතීතයේ ආඬි ගුරුන් විසු නිසා බවට ජනවහරක් තිබේ.

මෙහි ආඬි යන්න ආන්ද්‍රා යන්න සිංහල වහරට සකස් වු වදනක් බව පැහැදිළිය. අතීතයේ එලෙස ආඬින් හෙවත් ඉන්දියාවේ පැමිණි ආන්ද්‍රා පුජකයන් නවාතැන් ගත් ස්ථානයක් අදත් හැඳින්වෙන්නේ ආඬි අම්බලම යනුවෙනි. එසේ අම්බලමකට රැස්වූ ආඬීන් යළි ඉන්දියාවට පිටත් වූවායැයි සිතීමට වඩා අප රටේ කාන්තාවන් විවාහ කරගෙන සිංහල බෞද්ධ ජන සමාජයට අවශෝෂණය වූ බව සිතීම වඩාත් යුක්ති සහගතය.

ඒ කෙසේ හෝ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයට පමණක් සීමාවූ මෙම සත්ව අනුරූ කලාව කලාවක් වශයෙන් ජාතික මට්ටමට ගෙන ඒමට මේ දක්වා කිසිවෙකත් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. එසේ නම් පලමුව කළ යුත්තේ මෙම කලාව නාමිකව හඳුන්වාගෙන ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ලියාපදිංචියක් ලබා ගැනීමය. එම වගකීම  හීනටිනය ප්‍රදේශයේ එම සත්ව අනුරූ කලාශිල්පීන් වෙතම පවරමින් මම නිහඬ වෙමි.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.