lakbima.lk

අඳුරු ගුහාවක වූ දරුවන් දින දහයකට පසු සොයා ගැනේ

සංචාරකයින් විශාල වශයෙන් නැරඹීමට එන, තායිලන්තයේ වනගත ඉසව්වක පිහිටි ගුහා සංකීර්ණයක් නැරඹීමට ආ දරුවන් පිරිසක් සහ තරුණයෙකු දින දහයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ගුහා සංකීර්ණය ඇතුළේ සිර වී සිටීම පසුගිය දිනවල ලෝකය පුරා විශාල අවධානයක් දිනාගත් පුවතක් විය. මෙම දරුවන් 12 දෙනා පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් වූ අතර ඔවුන්  පාපන්දු පුහුණුවීම්වලින් පසු සිය පුහුණුකරුවාද සමග මෙම ගුහා සංකීර්ණය නැරඹීමට පැමිණ තිබුණේ පසුගිය 23 වෙනිදාය. දරුවන් අවුරුදු 11 ත් 16 ත් අතර වයස්වල පසුවූවන් විය. ඔවුන්ගේ පුහුණුකරු වයස අවුරුදු 25ක තරුණයෙකි.

වන මැද පිහිටි මෙම ගුහා සංකීර්ණය හැඳින්වෙන්නේ තාම් ලුවාන් යන නමිනි. කි.මී. 8 ක් පමණ ඇතුළට දිවෙන ප්‍රධාන ගුහාව හැරුණුකොට තවත් අතුරු ගුහා කිහිපයක් ඒ තුළ තිබෙන බව සඳහන් වේ. ගුහා සහිත ප්‍රදේශයෙහි මේ ගතවෙන්නේ මෝසම් වැසි කාලයයි.  23 වෙනි සෙනසුරාදා  දරුවන් සහ පුහුණුකරු ගුහා සංකීර්ණය තුළ සිටියදී ඔවුන්ට බිහිසුණු ඉරණමකට ගොදුරු වීමට සිදු වූයේ හදිසියේ ඇති වූ ජලගැල්මකින් ගුහාවේ බොහෝ ප්‍රදේශ යට වීමට පටන් ගැනීමත් සමගය. ප්‍රධාන ගුහාව මෙන්ම අතුරු ගුහාද මේ ආකාරයෙන් වතුරෙන් යට වූ අතර ඇතැම් තැන්වල මීටර 5 ක් (අඩි 16 ක්) තරම් උසට ජල මට්ටම නැග ඇති බව සඳහන් විය.

කෙසේ නමුත් මෙම කණ්ඩායම ගුහා සංකීර්ණය නැරඹීමට ආ බැව් කිසිවෙකු දැන සිටි බවක් නොපෙනේ. පුහුණුවීම් සඳහා ගිය දරුවන් පෙරළා නිවෙස් වෙන නොපැමිණීම නිසා කළබල වූ මව්පියන් ඇතුළු වැඩිහිටියන් ඒ ගැන අදාළ අංශ දැනුම්වත් කිරීමෙන් පසු ඔවුන් සෙවීමේ කටයුතු ආරම්භ විය. දරුවන්ගේ බයිසිකල් ගුහාවට ඇතුල් වන ස්ථානය අසළ නවතා තිබි හමු වූයේ එහිදීය. දරුවන් ගුහාව තුළට ගොස් ඇති බව දැන ගැනීමෙන් පසු ඔවුන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ විය. ගුහාව තුළ හුන් පිරිස වතුරට යට වී මිය ගියාද නැතහොත් යම් තැනක සිර වී නිරුපද්‍රිතව සිටිනවාද යන්න පිළිබඳවද ඒ වනවිට කිසිඳු හෝඩුවාවක් තිබුණේ නැත.

ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුමද සිතූ තරම් පහසු නොවන බව පෙනී ගියේ ගුහා සංකීර්ණයේ බොහෝ ඉසව් කලින් සඳහන් කළ ලෙසම ඉතා උසට ජලයෙන් යට වී තිබිම නිසාය. දරුවන් තවමත් ජීවත්ව සිටිනවාද යන්න සැක සහිත වුවත් ගුහා සංකීර්ණය පිළිබඳ අවබෝධයක් තිබූ අයගේ අදහස වූයේ ඔවුන් ගුහාව තුළ කිසියම් උස් තැනක සිරවී සිටින්නට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එසේ වුවද මෙම අඳුරු ගුහා සංකීර්ණය තුළ ඔවුන් සිටින්නේ කොතැනද යන්න නිශ්චිත වශයෙන් දැන ගැනීම මහත් අභියෝගාත්මක කටයුත්තක් විය. තායිලන්තයේ ගලවා ගැනීමේ කණ්ඩායම් දින කිහිපයක් දරුවන් සෙවීමේ කටයුතුවල නිරත වීමෙන් පසු පෙනී ගියේ ඔවුන්ට තනිව මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම අපහසු බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක විශේෂඥ කණ්ඩායම් මේ සඳහා සහභාගි කර ගැනීමට පියවර ගැනිණි. නාවුක හමුදා කණ්ඩායම්, විශේෂඥ කිමිදුම්කරුවන්, ගුහාවල ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ විශේෂඥයින් ඇතුළු 1000කට ආසන්න පිරිසක් මේ සඳහා සම්බන්ධ වූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ගුහා සංකීර්ණය තුළ පිරී තිබූ ජලය ඉවතට ‍පොම්ප කරමින්ද, ගුහාවට ඇතුළු විය හැකි වෙනත් විවරයන් තිබේදැයි  සොයමින්ද කළ මෙහෙයුම් දින ගණනක් තිස්සේ ඇදී ගිය අතර ඒ අසල කඳවුරු ලා සිටි දරුවන්ගේ මව්පියන් ඇතුළු පිරිස් හඬා වැලපෙමින් කාලය ගත කළේ සිය දරුවන් නැවත දැක ගැනීමට ලැබේවිද යන මහත් අවිනිශ්චිතතාවයෙන් සහ ආතතියෙන් යුතුවය. එක දිගටම ඇද හැලෙමින් තිබූ වර්ෂාවද ඔවුන්ගේ බලා‍පොරොත්තු බිය වද්දන කාරණයක් බවට පත්ව තිබිණි. දරුවන් ජීවතුන් අතර සිටිනවා නම් ඔවුන් ආහාර හිඟතාවකටද, ගුහාව තුළ ඔක්සිජන් හිඟ වීමෙන්  හුස්ම ගැනීමේ ගැටලුවකටද මුහුණ දී සිටීමට  ඉඩ තිබිණි.

කෙසේ හෝ වේවා දින දහයක දැවැන්ත සහ අති සංකීර්ණ, වෙහෙසකර මෙහෙයුමකින් අනතුරුව පසුගිය 02 වෙනිදා (සඳුදා) දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු  එක් ස්ථානයක නිරුපද්‍රිතව සිටින බව සොයා ගැනීමට කිමිදුම් කටුයුතුවල යෙදෙමින් සිටි බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් දෙදෙනෙකුට හැකි වූ අතර එය සියලුදෙනා තුළ අති මහත් සැනසිල්ලක් ඇති කළ සිදුවීමක් විය. ජයඝෝෂා, පී්‍රති ඝෝෂා සහ සැනසුම් සුසුම් පැතිර ගියේ දරුවන් මේ ආකාරයෙන් සොයා ගැනීමට හැකි වනු ඇතැයි යන විශ්වාසයක් ඒ වනවිට බොහෝ දෙනෙකු තුළ නොවූ හෙයිනි. දරුවන්  සහ පුහුණුකරු සිරවී සිටින සැටි පෙන්වන  කෙටි විඩියෝවක්ද කිමිදුම්කරුවන් විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබ තිබිණි. පිරිස  බොහෝ දුරට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පෙනී ගියේය. දැඩි අන්ධකාරය තුළ කාලය ගත කිරීම නිසා තමුන් දින කීයක් එහි සිරවී සිටියාද යන්න ගැන පවා ඔවුන්ට දැනුමක් නොමැති විය. ඒ ගැන ඔවුන් කිමිදුම්කරුවෙකුගෙන් විමසන අන්දමද වීඩියෝවෙහි සටහන්ව තිබේ.

ඔවුන් ගුහාවට ඇතුල් වූ දිනයේ කණ්ඩායමේ එක් අයෙකුගේ උපන් දිනයක් සැමරීම සඳහා ආහාර වාගයක් රැගෙන ගොස් තිබූ බව සඳහන් වන අතර කුසගින්න නිවා ගැනීමට එය බොහෝ දුරට ඉවහල් වන්නට ඇත. ගුහාවේ මෙම කොටසට වාතාශ්‍රය ලැබෙන යම් මාර්ගයක් ඇති බවද පෙනෙන්නට තිබේ. නමුත් ගැටලුව වන්නේ ඔවුන් සිටින උස් ස්ථානය ජලයෙන් ද, ගුහාවේ ඝණ බිත්තිවලින්ද සම්පූර්ණයෙන්ම වට වී තිබිමයි. ඔවුන් නිරුපද්‍රිතව සොයාගන්නට හැකි වුවද දැන් ගැටලුව වී ඇත්තේ මෙම පිරිස ගුහාවෙන් ඉවතට ගන්නේ කෙසේද යන්නයි. ඒ පිළිබඳව දැනට ලැබි ඇති තොරතුරුවලට අනුව පැවසෙන්නේ ඒ සඳහා සමහර විට මාස ගණනක් ගතවනු ඇති බවය. එයට එක් හේතුවක් නම් මෙම කාලය මෙම ඉසව්වට මෝසම් වැසි ලැබෙන කාලය වීම නිසා ගුහාව තුළ පිරී ඇති ජලය ඉක්මනින් බැස යාමට ඉඩක් නොමැති වීමයි. ඉදිරියේදී වර්ෂාව තවත් වැඩි වනු ඇති බවටද, ජල මට්ටම තවත් ඉහළ යා හැකි බවටද බිය පළවෙයි. උද්ගතව ඇති මෙම ගැටලුව ජය ගැනීමට නම් දරුවන්ටද ජලයෙහි කිමිදෙමින් පිහිනීමට සිදුවනු ඇති බව පැවසේ. නමුත් දරුවන් කිසිවෙකුට ඒ සඳහා අවශ්‍ය කිමිදුම්  පුහුණුව නැති බව පැවැසෙන අතර  අඳුරු ගුහාව තුළ එවැන්නක් කිරීමට උත්සාහ දැරීමද ඉතා අනතුරුදායක කටයුත්තක් වනු ඇතැයි යන්න විශේෂඥයින්ගේ අදහස වී තිබේ. ගුහාවෙහි මෙම ස්ථානයට ළඟා විය හැකි වෙනත් ක්‍රමයක්ද නොමැති බව මේ වනවිට අනාවරණය වී ඇත. මේ නිසා දැන් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විශාල අවිනිශ්චිතතාවක් හටගෙන තිබෙන බව පෙනී යයි. කෙසේ නමුත් දරුවන්ට කිමිදුම්කරුවන් හරහා ආහාර පාන ද, වෙනත් ‍පෝෂණ ද්‍රව්‍ය ද ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අතර කිමිදීමේ හැකියාව ඇති වෛද්‍යවරුන්  දරුවන් සිටින ස්ථානයට යවා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දිගටම සොයා බැලීමටද කටයුතු කරමින් සිටියි. දැන්  මුළු ලොවම දැඩි කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ ඉදිරියේදී මෙම දරුවන් සහ ඔවුන්ගේ පුහුණුකරු ගුහා සංකීර්ණයෙන් පිටතට ගැනීමේ කටයුතු කවර ආකාරයෙන් සිදුවනු ඇත්ද යන්න පිලිබඳවය.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.