lakbima.lk

නදීෂානිගේ ජීවිතය උදුම්බරා වෙනස් කළ හැටි

නදීෂානි හැන්ඩර්සන් නමැති තරුණියව මීට මාස දෙක තුනකට පෙර බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටියේ දක්ෂ ක්‍රීඩිකාවක විදිහට විතරයි. නමුත් තමන් ප්‍රධාන නිළිය ලෙස රඟපාන උදුම්බරා චිත්‍රපටය රිදී තිරයට ආවාට පස්සේ තමන්ගේ ජනප්‍රියත්වයත් දෙගුණ තෙගුණ වෙලා කියලයි නදීෂානි දැන් පවසන්නේ. මෙම සංවාදයට අපි ඇයව එක්කාසු කරගත්තේ උදුම්බරාට ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්න පමණක් නොවෙයි.

උදුම්බරා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ දවස්වල නදීෂානිගේ ජීවිතය ගවෛන්නේ මොන විදිහටද?

'උදුම්බරා' තිරගත වෙන්න පටන් ගත්තාට පස්සේ මගේ ජීවිතයත් හුඟක් වෙනස් වුණා කියලා කීවොත් හරි. දැන් මම වෙනදාට වඩා ටිකක් කාර්යබහුලයි. ඉස්සර මම මගේ පාඩුවේ අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු කරගෙන ගිය සාමාන්‍ය ගැහැනු ළමයෙක් විතරයි. මොකද අපේ කැම්පස් එකේ අයයි, ස්‍පෝර්ට්ස් ෆීල්ඩ් එකේ අයයි විතරයි මා ගැන දැනගෙන හිටියේ. ඒත් අද මග තොටට බැස්සත් වෙනදාට වඩා ලොකු වෙනසක් මට දැනෙනවා.

'උදුම්බරා' නිසා ඔබ එක රැයින් රටේ ජනප්‍රිය වුණා කියන එක නේද ඔබ ඔය නොකියා කියන්නේ?

ඒක ඇත්ත. මාව අඳුරන අය විතරක් ‍නෙවෙයි, මීට කලින් මම කවදාවත් දැකලා නැති අයත් පාරෙදි මුණ ගැහුණාම ළඟට ඇවිල්ලා මා එක්ක කතාබහ කරනවා. ෆේස්බුක් එකේ මගේ යාළුවන්ගෙනුත් හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි.

'උදුම්බරා' තිරගත වෙන්න පටන් ගත්තාට පස්සේ අලුත් චිත්‍රපටවලට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?

එක ආරාධනාවක් ලැබුණා. ඒත් ඒකෙ රඟපානවද කියලා තවම තීරණය කරලා නැහැ.

ඒ කියන්නේ ආයෙමත් රඟපානවද නැද්ද කියන එකත් තවම තීරණය කරලා නැද්ද?

අනේ එහෙම දෙයක් නැහැ. මම මගේ ජීවිතයේ මුල්තැන දෙන්නේ ක්‍රීඩාවට සහ අධ්‍යාපන කටයුතුවලට. මම මානව සම්පත් කළමනාකරණ උපාධියක් මේ වනවිට සම්පූර්ණ කරලයි තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දී මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ශිෂ්‍යාවක්. මානව සම්පත් කළමනාකරණ අංශයෙන් හොඳ රැකියාවක් සොයා ගන්න එක තමයි දැනට මගේ තියෙන ලොකුම බලා‍පොරොත්තුව. නමුත් 'උදුම්බරා'ට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට දැන් කලාව පැත්තෙනුත් ඉදිරියට යන්න ආසයි. හොඳ පිටපතක් තියෙන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒක බාර ගන්නවා.

ඔබේ පෙම්වතා ගැනත් හා හා පුරා කියලා 'රිද්ම' පාඨකයන්ට කියමු නේද?

මටත් පෙම්වතෙක් ඉන්නවා. හැබැයි දැන්මම නම් ඔහුගේ නම මාධ්‍යයට කියන්න මම කැමති නැහැ. එයා කලාවටවත්, ක්‍රීඩාවටවත් සම්බන්ධ කෙනෙක් ‍නෙවෙයි කියන එක විතරක් කියන්නම්. අවුරුදු තුනකට විතර කලින් තමයි අපේ සම්බන්ධය ඇති වුණේ. දැනටත් මගේ පවු‍ලේම කෙනෙක් වගේ. ඔහු තමයි මගේ හැමදෙයක්ම හොයලා බලලා මගේ සියලුම වැඩකටයුතුවලට ශක්තිය ලබා දෙන්නේ.

කිෂාන් කනංකෙ

ඡායාරූපය - ජානක කඳනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.