lakbima.lk

දරුවා පැහැරගන්වා සැමියාගෙන් ලක්ෂ 35ක කප්පමක් ගන්න හැදූ බිරිඳ

සිය සැමියාගෙන් රුපියල් ලක්‍ෂ තිස් පහක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා තම දරුවා වෙනත් පිරිසක් ලවා පැහැර ගැනීමට ලක්කළ කාන්තාවක් හා තවත් දෙදෙනකු වවුනියාව පුලියන්කුලම පොලිසිය විසින් 9 දා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

වවුනියාවේ නෙඩුන්කේනි පෙරියමඩු ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 8 ක් වයසැති ටී. තමිලවන් නමැති දරුවා පසුගිය 6 වැනි දා සවස කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රුපියල් ලක්‍ෂ 35 ක මුදලක් ඉල්ලා සිටින බවට දරුවාගේ මව විසින් පසුගිය 7 වැනිදා පුලියන්කුලම පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව පොලිසිය විසින් අදාළ කප්පම් මුදල් ඉල්ලූ බවට සැකකරන දුරකථන අංක ඔස්සේ සිදුකරන ලද පරීක්‍ෂණවලදී පැහැර ගැනුණු දරුවා වව්නියා ඕමන්ත ප‍්‍රදේශයේ පාසල් මාර්ගයක පිහිටි නිවසක සඟවා සිටියදී සොයා ගෙන තිබේ. එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව මවගෙන් ප‍්‍රශ්න කිරීම්වලදී ඇය බියට පත්වී කප්පම් ඉල්ලීම සඳහා කළ සැලසුම සම්බන්ධයෙන් පොලිසියට පාපොච්චාරණයක් කොට ඇත.

දරුවා පැහැර ගැනීමේ සැලසුම ක‍්‍රියාත්මක කළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදේශයක රැකියාවක් කරන අතර පවුල් ආරවුලක් මත ඔහු අදාළ කාන්තාවට කිසිම මුදලක් නො එවන නිසා සහ ඇය විශාල මුදලක් විවිධ ආයතන හා බැංකුවලින් ණයට ලබාගෙන සිටින නිසා මෙම සැලසුම ක‍්‍රියාත්මක කොට ඇති බවටද පොලිසිය අනාවරණයකරගෙන තිබේ.

අදාළ කප්පම් මුදල ලබා ගැනීම සඳහා ඇය සිය සහෝදරයකු හා වෙනත් ඥාතියෙකු යොදවා ගෙන ඇති අතර සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.