lakbima.lk

දහ දෙනෙක් සදාකාලිකව නිදිකළ රියැදුරාගේ කෙටි නින්ද

දිනය පසුගිය 17 දාය. මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා එකහමාරක් පමණ ගත වී තිබුණි. මහියංගණය - බදුල්ල මාර්ගයේ ඉඳහිට ධාවනය වන වාහනයක හඬ හැරෙන්නට ප්‍රදේශයේ වූයේ ගුප්ත නිස්කලංක බවකි. ප්‍රදේශවාසී බොහෝ දෙනා නිදි දෙව්දුව තුරු‍ලේ සැතපෙමින් සිටියහ.


මේ නිස්කලංක බව බිඳෙන්නට ගතවූවේ නිමේෂයකි. ත්‍රිකුණාමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් හා මාර්ගයේ අනෙක් පසින් ධාවනය වූ වෑන් රථයක් අධික වේගයෙන් පැමිණ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී මුහුණට මුහුණලා ගැටුණි. අලුත් අවුරුදු සමය නිමා වෙමින් රතිඤ්ඤා හඬ තුරන්ව යමින් තිබූ මොහොතක මහා ශබ්දයක් නගමින් සිදුවූ මේ අනතුර නිදි සුව විඳි බොහෝ දෙනා අවදි කරන්නට සමත් විය.


ඉතා දරුණු ලෙස බස් රථයේ ගැටුණු වෑන් රිය මීටර් එකයි සෙන්ටිමීටර් 80ක් පමණ බස්රථය තුළට කිඳා බැස තිබුණි. අනතුරට හේතුව වූයේ වෑන් රථයේ රියැදුරාට නින්ද යාම බව අනුමාන කෙරිණි. ඔහුගේ විඩාව මරු කැඳවූයේ ඔහුට පමණක් නොව ඔහු පැදවූ වෑන් රථයේ ගමන් කළ දොළොස් දෙනාගෙන් දහ දෙනෙකුටම වීම මෙදා සිංහල අවුරුද්දේදී වූ දරුණුතම ඛිෙදවාචකය ලෙස සටහන් කළ හැකිය.


අනතුරින් මියගිය සියලු දෙනා එකම ගමේ ඥාති පවුල් තුනක සාමාජිකයෝය. ඔවුහු මඩකලපුවේ සිට ජාඇල පිහිටි ඥාති නිවසකට ගොස් එම නිවසේ දියණියකද කැටුව නුවර හා නුවරඑළියේ සංචාරයක නිරතව නැවත මඩකලපුව බලා පැමිණෙන අතරතුර මෙම අනතුර වී තිබේ.


 මියගිය ජෝෂප් රෙලින්ටන් ජෝප්ස් (56) හා ඔහුගේ බිරිඳ සිල්වියා ජෝප්ස් (50) මඩකලපුව පනිච්චිඅඩිහි පදිංචිකරුවෝ වෙති. මඩකලපුව ඩව්බාර් පෙදෙසේ පදිංචි ලිස්ටර් ඇලෙක්සැන්ඩර් (32), ඔහුගේ බිරිඳ නිසාලින් ඇලෙක්සැන්ඩර් (27) හා ඔවුන්ගේ සිව් හැවිරිදි නිවුන් දියණියන් වන හනාලි ඇලෙක්සැන්ඩර් හා පයිගා ඇලෙක්සැන්ඩර් මෙම ඛිෙදජනක අනතුරින් මරණයට පත්වූවෝ අතර වෙති. මඩකලපුව රත්නම් පාරේ පදිංචි යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් (48), ඔහුගේ බිරිඳ මරියා පැන්සියා හෙන්ඩ්‍රික් (42) හා ඔවුන්ගේ දස හැවිරිදි දියණිය සෙරබි හෙන්ඩ්‍රික්ද ඔවුන්ගේ 19 හැවිරිදි පුතු යුටි ප්‍රින්ස් හෙයිඩ් හෙන්ඩ්‍රික්ද අනතුරින් මිය ගියහ.

වාහනයේ රියැදුරු ලෙස කටයුතු කර ඇත්තේ 19 හැවිරිදි යුටි ප්‍රින්ස් හෙයිඩ් හෙන්ඩ්‍රික්ය. අනතුරින් බරපතළ තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කළ හෙන්ඩ්‍රික් පවු‍ලේ වැඩිමහල් දියණිය සෙගානි හෙන්ඩ්්‍රක් (13)ද ඔවුන්ගේ ජාඇල ඥාති නිවසේ දියණීයක වන 16 හැවිරිදි රෙසානි බර්ගසාල්ද වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ.
මේ පවුල් තුනෙන්ම ජීවතුන් අතර ඉතිරිව ඇත්තේ දෙදෙනෙකු පමණී. ඉනුදු අනතුරට ලක් නොවී බේරී ඇත්තේ චාරිකාවට එක් නොවූ, ජෝප්ස් යුවළගේ විසිහතර හැවිරිදි පුතු රික්ස්මන් පමණි. ඔහු සිදු වී ඇති ඛිෙදවාචකයෙන්  උපන් කම්පනයෙන් යුතුව අදහස් දැක්වූයේ මෙසේය.


“ජාඇල පුංචි අම්මලාගේ ගෙදරට යන්න අම්මලා මඩකලපුවෙන් පිටත් වුණේ 15 සඳුදා රෑ. ඒ ගිහින් ජාඇල පුංචිගේ දුවත් එක්ක නුවර ඇවිල්ල නුවර ඇවිදලා 16 දා නුවරඑළි ගියා. නුවරඑළියේ ඉඳලා ආපහු ගෙදර එද්දි තමයි හැප්පුණේ. මගේ අම්මයි, අක්කයි, අක්කගෙ මහත්තයායි, පුංචි දූලා දෙන්නයි ඔක්කොම නැතිවුණා. දූලා දෙන්නා නිවුන්නු. අපේ පවුලෙන් ඉතිරි වුණේ මං විතරයි.


මම 16 රෑ අම්මට කතා කළාම කිව්වේ අද නැත්නම් හෙට එනවා කියලයි. හරියට එන දවස කිව්වෙ නෑ. වෙච්ච දේ මට හිතා ගන්නවත් බෑ. පණිවුඩය ලැබෙද්දි වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි” රික්ස්මන් පවසන්නේ මහත් ශෝකයෙනි.


පිරිස ගමන් ගත් වෑන් රථය කුලී පදනම මත ලබාගත් එකකි.  එහි ගැටුණු බස් රථය ත්‍රිකුණාමලය සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබුණි. බස් රථයේ රියැදුරු පවසනුයේ තමා තේ බිමට බස් රථය නවත්වා නැවත ගමන් ආරම්භ කර ටික දුරක් යනවිට අධික වේගයෙන් වැරදි මංතීරුවේ එන වෑන් රථය දුටු බවත් බස් රථය හැකිතරම් මාර්ගයේ ඉවතට ගෙන අනතුර වළක්වා ගන්නට තැත් කළ මුත් වේගයෙන් පැමිණි වෑන් රථය බස් රථය තුළට කාවැදී අනතුරට පත්වූ බවත්ය.


අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බස් රථ රියැදුරු වෛද්‍යවරයකු හමුවට පමුණුවා මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්ෂ 2ක ශරීර ඇප මත නැවත සැප්තැම්බර් 5 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර මුදාහැර තිබේ. ඔහු බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මෙන්ම බස් රථයේ ගමන් ගත් බොහෝ දෙනා පසුවනුයේ දැඩි කම්පනයකිනි. බස් රථයේ ගමන් කළ කිහිප දෙනෙකුටද සුළු තුවාල වී ඇති අතර ඔවුහුද මහියංගණය රෝහ‍ලේ ප්‍රතිකාර ලබති.
‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පෙන්වා දෙන්නේ වෑන් රථය පැදවූ රියැදුරාගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.


“රියැදුරාට නින්ද යාම නිසා මේ අනතුර වී ඇති බව මේ වන විට පෙනී ගොස් තිබෙනවා. රාත්‍රී කාලයේ ගමනක් යද්දී රියැදුරා මතම විශ්වාසය නොතබා වාහනයේ ගමන් ගත් සෙසු අයත් පරික්ෂාකරීව සිටියා නම් මෙවැනි අනතුරක් වළක්වාගත හැකිව තිබුණා. නිදිමත හා වෙහෙස සමග රිය ධාවනයේ යෙදීමෙන් තමනුත් සෙසු ජීවිතත් අනතුරට පත්වන බව අවබෝධ කරගත යුතුයි” ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.


මියගිය පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මහියංගණය රෝහ‍ලේදී සිදුකෙරුණු අතර හදිසි මරණ පරීක්ෂකවරයා මරණ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් හසලක ප්‍රදේශයේ මරණ පරීක්ෂකවරයකු ගෙන්වා මරණ පරීක්ෂණ සිදුකර ඇති බව වාර්තා වෙයි. 


විනෝද චාරිකා යාම සඳහා වාහනයක් තෝරා ගැනීමේදී ආරක්ෂාව හා එහි ගුණාත්මක භාවය පිළිබඳ වඩාත් විමසිලිමත් වීම වැදගත් බව ‍පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ පෙන්වා දෙයි. ගත වූ දින පහ තුළදී සිදුවූ මාරක රිය අනතුරු 31කින් පුද්ගලයන් 42ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. උත්සව සමයේ විනෝදය ඛිෙදජනක ඉරණමක් වෙත පෙරළන මෙවැනි සිදුවීම් සරලව බැහැර නොකළ යුත්තේ ඉන් මියගිය පුද්ගලයන් ප්‍රමාණය, තුවාල ලැබූ පුද්ගලයන් ප්‍රමාණය මෙන්ම අසරණභාවයට පත්වන පවුල් ප්‍රමාණය සුළුපටු නොවන හෙයිනි. මත්පැන් පානය කොට රිය පැදවීමේ චෝදනාව මත ගතවූ අවුරුදු සමය තුළ පුද්ගලයන් 15,000කට අධික පිරිසකට එරෙහිව නඩු පවරා තිබේ.


අවුරුදු සමයේ පවු‍ලේ සාමාජිකයන්, නෑදෑ හිතවතුන් එක්ව සතුටින් විනෝදයෙන් ගතකිරීමට බොහෝ දෙනා ප්‍රිය වෙති. එහෙත් එසේ එක්වී පවත්වන සාදවලදී මත්පැන් පානය, අධික තෙහෙට්ටුව, නිදිමත සමග සුක්කානම අතට ගන්නා අය තේරුම්ගත යුත්තේ අන් සියලු සැපතට වඩා මිනිස් ජීවිතවල වටිනාකම වැඩි බවය.

ඡායාරූප - එම්. බණ්ඩාර

 මිහිරාන් කරුණාරත්න

----------------------------

මුදල් ගැනම හිතලා එක දිගටම රිය පදවන්න එපා

- මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ


හදිසි අනතුරු පිළිබඳ කතා කිරීමේදී අපි වැඩිපුරම අවධානය යොමුකරන්නේ මාර්ගයේදී සිදුවන හදිසි අනතුරු පිළිබඳව. ඒක වචනයේ අරුතින්ම ගත්තාම හදිසියේ සිදුවන සැලසුම් සහගත නොවන අනතුරක් ලෙසයි පැහැදිලි වෙන්නේ. අපේ රටේ ගත්තාම අවුරුද්දක මාස 12ක් ගෙවන විට 3000කට 3100කට ආසන්න ප්‍රමාණයක් මාර්ග අනතුරු හේතුවෙන් මිය යනවා. මේක එන්න එන්නම වැඩිවුණ මිසක් අඩු වුණේ නෑ. ඒත් අවුරුදු 12කට පසුව පසුගිය අවුරුද්දේ යම් සාපේක්ෂ අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ වගේම 2019 ජනවාරි 1දා සිට අප්‍රේල් 10දා දක්වා කාල පරාසය ගත්විට පෙර වසරට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩුවී තිබුණා. ඒත් අවාසනාවකට මේ මහියංගණයේ සිදුවීම නිසා ඒ තත්ත්වය කණපිට හැරුණා. මෙසේ මාර්ග අනතුරු වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳ අපි කාලාන්තරයක් තිස්සේ සමීක්ෂණය කළා. ‍

පොලීසියෙන් ලැබෙන දත්ත ජාතික රෝහලෙන් ලැබෙන තොරතුරු සහ වෙනත් මූලාශ්‍ර ඊට උපයෝගී කර ගත්තා. ඒ අනුව අපි මාර්ග අනතුරුවලට මූලික වන කාරණා ලෙස අධික වේගයෙන් රිය ධාවනය, අධික වේගයෙන් වැරදි ලෙස ඉස්සර කිරීමට යාම, මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය, ජංගම දුරකථනය භාවිත කරමින් රිය පැදවීමට යාම, අපරීක්ෂාකාරී ධාවනය මෙන්ම ධාවනය අතරතුර රියැදුරුට නින්ද යාමත් අපි හඳුනාගත්තා.


නින්ද යාම ස්වාභාවික කාරණයක්. ශරීරයට අවශ්‍ය නින්ද පැය 24ක කාලයක් ඇතුළත අවශ්‍ය පරිදි ලබා නොගැනීම ඊට මූලික හේතුවයි. ලෝකයේ බොහෝ රටවල රියැදුරකුට එක දිගට රිය ධාවනය කිරීමේ කාල සීමාව පැය 4කට සීමාකර තිබෙනවා. අපේ රටේත් ඉදිරියේදී මේ ආකාරයට සීමා ඇතිකිරීමට අපේක්ෂා කරනවා. එහෙත් එය ‍පොලීසියට හෝ යම් ආයතනයට නිගමනය කළ හැක්කක් නොවෙයි. අපි ඉදිරියේදී ‍පොදු ප්‍රවාහනය ආශ්‍රිතව පැය 4-6 වැනි සීමාවක් ඇති කරන්න අපේක්ෂා කරනවා.


බොහෝ රියැදුරන් මුදල් ගැන හිතලා දිගු ගමන්වල නිරත වෙනවා. ඒ හේතුවෙන් අනතුරට ලක්වන්නේ ඔහු විතරක් නෙමේ. ‍පොදු ප්‍රවාහනයක් නම් සෙසු ජීවිතවලටත් ඔහු වගකිව යුතු වෙනවා. අවිවේකී ගතියකින් හා සිතකින් යුතුව කටයුතු කිරීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩියි. ඒ වගේම සමහර රියැදුරන් දියවැඩියාව ආදී නොයෙකුත් රෝගවලින් පෙළෙනවා. එවිට ඔවුන් ගන්නා ඖෂධ හා තෙහෙට්ටුව එක්ව බලපෑම් කිරීමෙන්ද නින්ද යාම නිසා වන අනතුරුවලට ඉඩ තිබෙනවා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම අවම කිරීමට ගත හැකි පියවර පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා තවදුරටත්.

මෙහිදී තවත් කාරණයක් ලෙස අනතුරක් වූ අවස්ථාවකදී දෙපාර්ශ්වයටම තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මාර්ග අනතුරු අවම කරගැනීමේ අරමුණින් අනතුරු සිදුකිරීම වගේම අනතුරක් වළක්වා නොගැනීම කියන කාරණා දෙක යටතේම නීතිය බලාත්මක වෙනවා. එවිට තමන් උපරිම ආකාරයේ අනතුරක් සිදුනොවීමට වගබලා ගන්නැයි අපේක්ෂා කරනවා. මහියංගණය සිදුවීමේදීත් බස් රථයේ රියැදුරා උපරිම උත්සාහ දැරුවා නම් ඊට වඩා අනතුරේ හානිය අවම කරගැනීමට ඉඩ තිබෙන්නට ඇතැයි සිතිය හැකියි.

තනුජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.