lakbima.lk

ඒ ගමන යනවාද නැද්ද කියලා මම තවම දෙගිඩියාවෙන් ඉන්නේ

මුහුණු ‍පොත හින්දා මටත් නොයෙක් විදියේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. හැබැයි මට ආපු ප්‍රශ්නවලට මම මුහුණ දුන්නේ අනෙක් අයට වඩා ටිකක් වෙනස් විදිහටයි.

මම සිරස සුපර් ස්ටාර් විනිසුරු මඩුල්ල නියෝජනය කරන්න ගිය අවස්ථාවේ මම ඊට සුදුසු නැහැ කියලා මට ප්‍රහාරයක් ෆේස්බුක් හරහා පැතිර ගියා. ඒ අතරතුරේ එම තරගයට ඉදිරිපත් වූ එක්තරා ගෑනු ළමයකුගේ ගායනය ගැන මා කළ ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම විකෘති කරලා ඊට වැරදි අර්ථ කථනයක් ලබාදීලා අන්තර්ජාලය පුරා පැතිර ගියා. ඒ විතරක් ‍නෙවෙයි ඔය කාරණය ෆේස් බුක් තුළින් අන්තර්ජාල ඕපාදූප වබේ අඩවි කරාත් පැතිර ගියා. මට මතක හැටියට ඒ විදියේ Gossip Site 30 ක පමණ මේ පුවත පළ වුණා.

මේ වගේ දේවල් මම ගණන් ගන්නේ නැති වුණාට දිගින් දිගටම මේවා සිද්ධ වෙද්දී ඒ ගැන ටිකක් හොයා බලන්න ඕනෑ කියලා මම හිතුවා. එහෙම හොයාගෙන යද්දී සිදුවීම් දෙකම නිර්මාණය කරලා තියෙන්නේ එකම පුද්ගලයෙක් බව මට තහවුරු වුණා. එයා ජනප්‍රිය චරිතවලට මඩ ගහලා මානසික වින්දනයක් ලබන විකෘති මානසික තත්ත්වයකින් යුතු අයෙක් විදිහට ප්‍රසිද්ධ කෙනෙක්. ඊට පස්සේ මම මොකක්ද දන්නවද කළේ. ඒ තමයි කිසිම දෙයක් නොකර ඉඳීම. ඊට හේතුව මේකයි. මම මේ පුද්ගලයා ගැන එකපාරටම හෙළි කළොත් රටම එයා ගැන දැනගන්නවා. ඊට පස්සේ ඒකෙන්ම එයා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. එයාගේ අරමුණ වෙලා තිබුණෙත් ඒකමයි. ඉතින් ඇයි මම මේ වගේ අය ජනප්‍රිය කරන්නේ කියලා හිතලයි මේ කාරණයේදී මම නිහඬ වුණේ.

ෆේස් බුක් නිසා තවත් අවස්ථාවක මීට වඩා බරපතළ දෙයක් මට සිද්ධ වුණා. එක දවසක් මගේ යාළුවෙක් කතා කරලා කිව්වා මම ෆේස් බුක් හරහා එයාට අසභ්‍ය පින්තූර එවලා තිබුණා කියලා. මම ඒ කතාව ඒතරම් ගණන් ගත්තේ නැහැ. ඒත් ටික දවසක් යද්දී මගේ යාළුවෝ කීපදෙනෙකුම ඒ චෝදනාව එල්ල කළාම මම ඒ ගැන හොයලා බැලුවා. බලනකොට එක්තරා පිරිමි ළමයෙක් මගේ නමින් ෆේස් බුක් ගිණුමක් හදාගෙන මගේ නියම ෆේස් බුක් එකේ ඉන්න මිතුරන්ට Friend Request යවලා. ඒ මමයි කියලා හිතාගෙන ඔවුන් ඒක ඒජජඥනබ කරලා. ඊට පස්සේ අර පුද්ගලයා ඒ අයට මේ විදිහේ අසභ්‍ය පින්තූර යවලා. හැබැයි ඒ වෙලාවෙත් මම කලබල වුණේ නැහැ. මොකද මම මේ පුද්ගලයාට එරෙහිව යමක් කළොත් එයා වෙනත් ගිණුමක් හදාගෙන ඔයට වඩා දරුණු දෙයක් වුණත් කරන්න බැරි නෑ කියන එක මම තේරුම් ගත්තා. ඒ හින්දා මේ බොරු ගිණුම් ගැන ‍පෝස්ට් එකක් හදලා මගේ යාළුවන් අතර Share කිරීම විතරයි මම කළේ.

මම මේ කියන්න යන අනික් සිදුවීම වුණේ නම් මෑතකදී. එදා අපේ ගෙදර හිටියේ අම්මා විතරයි. වයස 14ක 15ක විතර ළමයෙක් ඇවිත් අම්මට කිව්වලු එයා මගේ ෆේස් බුක් මිතුරෙක් කියලා. එහෙම කියලා ඒ ළමයා එයාගේ නංගිට ලොකු ප්‍රශ්නයක් කියලා මුදල් ආධාරයක් ඉල්ලුවාලු. අපේ අම්මත් හරිම කාරුණික කෙනෙක්. අම්මා එයාට සල්ලි දීලා. හැබැයි පස්සේ අපට ඒ ගැන අපූරු ආරංචියක් ලැබුණා. වටාපිටාවේ අය කියන විදිහට මේ ළමයා ඇවිත් තියෙන්නේ වැඩිහිටියෙක් එක්ක. ඒ වැඩිහිටි කෙනා පාරේ ඉද්දී තමයි මෙයා අපේ ගෙදරට ඇවිත් තියෙන්නේ. අපේ ගෙදරින් පිටවෙලා මේ ළමයා වටාපිටාවේ ගෙවල්වලටත් ගිහින්. මම එයාගේ යාළුවෙක් කියන කතාවයි අපේ ගෙදරින් එයාට මුදල් දීපු එකයි කියලා. එයා ඒ ගෙවල්වලිනුත් මුදල් ඉල්ලාගෙන. හැබැයි ඉතින් ඒ කියපු විදියේ කෙනෙක් නම් මගේ ෆේස් බුක් මිතුරන් අතර නැහැ. එයා කවුද කියන එක අදටත් මට ප්‍රශ්නයක්.

මීළඟ සිදුවීම මගේ ෆේස් බුක් ගිණුම හරහා සෘජුවම වෙච්ච දෙයක්.

වරක් විදේශ  රටක පදිංචි ශ්‍රී ලාංකිකයෙක් ෆේස් බුක් හරහා මට විවාහ යෝජනාවක් ගෙනාවා. එයා මගේ වයසට වඩා ගොඩාක් වැඩිමල් කෙනෙක්. මම ඔහුට ඒ ගැන කාරුණිකව පැහැදිලි කළත් අදටත් ඔහුගේ ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. මගේ පින්තූරයක ෆේස් බුක් එකට දැම්මොත් එයා ඒකට Comment එකක් දානවාමයි. වෙන කෙනෙකුට මෙහෙම දෙයක් වුණොත් කරන්නේ අදාළ ගිණුම Block කරන එකනේ. ඒත් එහෙම Block කළොත් වෙන ෆේස් බුක් ගිණුමක් හදාගෙන ඔහු තව මොනවා කරයිද දන්නේ නැහැනේ. ඒ හින්දා මම මගේ පාඩුවේ ඉන්නවා. මට තව ටික දවසකින් විදෙස් රටක පැවැත්වෙන උත්සවයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒත් මම ඒ ගමන යනවාද නොයනවාද කියලා තවමත් දෙගිඩියාවකින් ඉන්නේ. මොකද මේ මනුස්සයා ඉන්නෙත් ඒ රටේ.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.